මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු – රහස් අහස් තලයට පවරා

ඇරූගේ අඩවියේ” හිමිකාර සූර අතීතාවර්ජනකාර, ස්වයංඅපදානකාර අරුණ පෙරේරාණන් තමන්ගේ බිඳී ගිය අතීත ප්‍රේමයක් පිළිබඳ ආවර්ජනය කෙරෙන, “අවුල් වන්නට පෙර” ලිපි මාලාවේ හැට වැන්න අවසන් කරන්නේ “අනිත් අරුණට මේ අරුණ කවදාවත් නොකියු ගීතය..” ලෙස “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය උපුටා දක්වමින් ය. 

යුගයක අපට ජීවය දුන් රන් ස්වරය ඔබගේ ය: විශාරද ගුණදාස කපුගේ

ඒ වූ කලී අරුණ පෙරේරාණන්ගේ උත්තම මානව ගුණයකි. සුනිල් ආර්. ගමගේ ලියූ, ගුණදාස කපුගේ තනු සකසා ගැයූ “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය දෘෂ්ටිවාදී ව නිෂේධනීය ය. අපගේ ප්‍රේමයට බඳුන් වූ ස්ත්‍රියක අපට අහිමි වූ විට නැත හොත් අප හැර ගිය විට මෙම ගීයේ පැවසෙන ආකාරයේ හැඟීම් ශික්‍ෂිත, ශිෂ්ටසම්පන්න දනමන උපදින්නේ නැත; හදින් උපන්නේ වුව ඒවා මනින් නිෂ්ප්‍රභ කර, ලත් තැන ලොප් කර දැමිය යුතු අසාධු හැඟීම් ය. මේවා උත්කර්ෂණයට ලක් කිරීම කලාවේ කාර්යභාරය නොවන්නේ ය. සුනිල් දක්ෂයෙකි. මම ඔහුගේ පසුකාලීන කුප්‍රකට ප්‍රශස්තියට නො රිසියෙම් වුව ඔහුගේ වෙනත් බොහෝ ගීවලට රිසියෙමි. “කවිය ඔබ – තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි – සිත දෙගිඩියාවෙන් තව ම නොලියු – කවිය ඔබ …”, “ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට – කොතැනක සිටියත් මා මළ දවසට – මගෙ ළඟ තනියට ඉනු මැනවි …”, “නුඹේ සිතට පුන් සඳ පායලා වගේ – සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ – එදා නැඟුණු ආදර කැක්කුමට මගේ – ජාති ජාති නුඹ මට වාසනා නඟෙ …” යනුවෙන් ලියූ ප්‍රේමණීය මනුෂ්‍යයෙකි සුනිල් ආර්. ගමගේ. එහෙත් “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි, පෙර දවසක මා පෙම් කරනා සඳ මෙහෙමත් කිව්වා, මෙහෙත් ගියා, මෙහෙමත් හිටියා, මෙහෙමත් කළා” ය යි ඇගේ පසුදින පෙම්වතා අමතා පවසන ආකාරයට ගුණදාස කපුගේගේ ඉස්තරම් ස්වරයෙන් හඬ නඟා ගායනා කරවීමෙන් ඉෂ්ට සිද්ධ වන සෙතක් නම් නැත. 

නමුත් මම මෙම ගීයට කැමැත්තෙමි. ඒ කැමැත්තට හේතුව මෙම ගීයේ අතිරමණීය වූ ද හදමන සනසන්නා වූ ද මාධුර්‍යයකින් හෙබි තනුව හා ගායනය ය. අතීතයේ දිනෙක මෙම ගීය අඩංගු හඬපටයක් මා අත තැබූ සංගීත විශාරද පැරණි සරසවි මිතුරෙක් මෙම ගීය කුටියේ අඳුරු තැනෙකට වී අසුන් ගෙන, තනි ව සිට රසවිදින්න ය යි පැවසුවේ ය. සත්‍ය ලෙස ම ‍එම නාද රටා සිත දැහැන්ගත කරවයි. මම යළිත් අරුණ පෙරේරා සැපයූ පුරුකින් ඒ මධුර ශබ්ද සරණිය රස විඳිමි. “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීයෙන් රසිකයාගේ ඥාන මණ්ඩලය සම්ප්‍රසාරණය වීම කෙසේ වෙතත් නිසැක ව ම ආනන්ද මණ්ඩලය නම් සම්ප්‍රසාරණය වේ.

‍”ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය මා විසින් බොහෝ විට සඳහන් කෙරෙන්නේ ප්‍රේමය වැනි සුසංවේදනීය අනුභූති බැඳි ප්‍රපංච පිළිබඳ කතිකාවල දී නො වේ. මෙම ගීය ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ බලය හැර යන ආණ්ඩුවලටත් බලයට අභිනවයෙන් පැමිණෙන ආණ්ඩුවලටත් ය. ඒ ‍බේරේ ගෙදර හෙවත් ලේක් හවුසිය සම්බන්ධයෙනි. බලය හැර යන ආණ්ඩු ලේක් හවුසිය සමඟ ඇඟෑලුම්කම් පෑමෙන් තමනට වැරදුණු තැන් පිළිබඳ සිතන්නට ද තමනට වැරදුණු තැන් ගැන අභිනව ආණ්ඩුවලට උපදෙස් දෙන්නට ද සුනිල් ආර්. ගමගේගේඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය ‍සිහි කර ගත හැකි ය. එමෙන් ම බලයට පත් වන ආණ්ඩු ලේක් හවුසිය සමඟ අන්තර් සම්බන්ධතා පැවැත් වීමේ දී සුනිල් ආර්. ගමගේගේඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” ගීය ‍සිහි කර ගැනීම ඔවුන්ගේ හිත සුව පිණිස ම වන්නේ ය.

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” වැනි ම දෘෂ්ටිවාදී ව නිෂේධනීය ගීයක් මගේ මතකයට නැඟේ. ගුවන්විදුලියේ රජරට සේවයේ ස්වර්ණමය යුගය ප්‍රභාවත් කළ විශිෂ්ටයකු වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයෝ එම ගීයේ රචකයාණෝ ය. එම ගීය ගුණදාස කපුගේ විසින් ම සත්සර මුසු කර ගායනා කෙරුණු “මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී …” ය.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

අපගේ ප්‍රේමයට ආරම්මණ වූ ස්ත්‍රියක පෙරළා අපට ප්‍රේමණීය ප්‍රතිචාරයක් ම නො පෑ විට මෙම ගීයේ පැවසෙන ආකාරයේ හැඟීම් ශික්‍ෂිත, ශිෂ්ටසම්පන්න දනමන උපදින්නේ නැත; හදින් උපන්නේ වුව ඒවා මනින් නිෂ්ප්‍රභ කර, ලත් තැන ලොප් කර දැමිය යුතු අසාධු හැඟීම් ය. මේවා උත්කර්ෂණයට ලක් කිරීම කලාවේ කාර්යභාරය නොවන්නේ ය. ස්වර්ණ ශ්‍රී අතිදක්ෂයෙකි. “ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා – ඒ සිහිනේ පුතු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා” ලෙස ඇරඹෙන රසික මන මන්ත්‍ර දැහැනකින් බැඳ ලන රසභාව සහ අර්ථභාව සපිරි ගීය ලියූ අතිශය මානවහිතවාදී නිර්මාණකරුවෙකි, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. එහෙත් “මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී, ඔබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී, කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී, ඒක නිසා මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී” ය යි අපගේ ප්‍රේමයට පෙරළා ප්‍රේමණීය ප්‍රතිචාරයක් ම නො පෑ ස්ත්‍රියක අමතා පැවසීම නම් නිෂේධනීය ය. එවන් අදහස් ගුණදාස කපුගේගේ ඉස්තරම් ස්වරයෙන් හඬ නඟා ගායනා කරවීමෙන් ඉෂ්ට සිද්ධ වන සෙතක් නම් නැත. 

කුස රජතුමා පබාවතියගේ පෙම පතා අපමණ දුක්ගැට වින්දේ ය.; ඇත්අස්හල වැද ශරීර පීඩා ලැබුවේ ය; සකල දඹදිව් තලයට මහරජ වන්නට නිසි වූ හෙතෙම මුළුතැන්ගෙයක සේවක වූයේ ය; විල් දිය බැස රකුසකු ය යි පබවතගෙන් ම අපහාස වින්දේ ය. එහෙත් “පලයං යන්න” ය යි පබ‍වතට පැවසූ බවක් මා නම් අසා, කියවා නැත. කව්සිළුමිණේ එම්. බී. ආරියපාල සංස්කරණය, කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සංස්කරණය, වැලිවිටියේ සොරත සංස්කරණය, මඞුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සංස්කරණය යනාදී සංස්කරණවල පමණක් නො ව බොහෝ සේ පෙළ සකස් කෙරී ඇති කුමාරතුංග සංස්කරණයේ ද එවැනි අදහස් තිබුණේ නැත. 

අරුණ පෙරේරාණෝ ශික්‍ෂිත, ශිෂ්ටසම්පන්න පුරුෂයකු බව තම ක්‍රියාවෙන් ම ස්ඵුට කර පෙන්වූවෝ තම පෙම්පත් යුවතිය නන් නය සහේතු කරණ කොට අන් පුරුෂයකු වෙත සරණ යන්නට වූ කල “ඔබ පෙම් කරනා ඔබේ කුමාරි …” වැනි ගීයක් නොගැයුවෝ ය. එය උත්තම මානව ගුණයක් බව පැවසීම කවර දොසක් ද? අරුණ පෙරේරාණන්ගේ සද්චර්යාව විසින් මගේ මතකයට ගෙන එන්නේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ අර්ථරසභාවපූර්ණ ගී පද වික්ටර් රත්නායකයන්ගේ අර්ථරසභාවෝත්පාදනීය හඬින් ගැයෙන ගීයකි. මානවදයාවෙන් පිරිපුන් අහිංසක මිනි‍සකු වූ ප්‍රේමකීර්ති කිසිවකුගේ සිත් නො බිඳ, තම සිත ම බිඳ ගෙන, දෙයත් බැඳ ගෙන, කලක් පෙම් කළ මුත් පසු ව වෙන් වන්නට වූ ස්ත්‍රියකට පැවසූයේ රහස් අහස් තලයට සඟවා වෙන් වන්නෙමි යනුවෙන් ය (එය ප්‍රේමකීර්තිගේ ම පෞද්ගලික අනුභූතියක් බව මින් අදහස් නො කෙරේ). අරුණ පෙරේරාණන්ගේ ශික්‍ෂිත ගුණයට ගෞරව පා එම ගීයේ පද මතු සඳහන් කරමින් මම නවතිමි.

සඳ කැන් වැසිලා
අඳුරේ එතිලා
ගනඳුරු රෑ
තනිකම නෑ
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි //

ජීවිතය ම සතු එක ම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ //
මේ ලොව මා සතු
ඈ සතු ඒ නෙතු
අසල්වාසියකු සොයනු පෙනේ

සඳ කැන් වැසිලා…

මා නැත අන් සතු සිත් බිඳලා
දෑත ම බැඳ ගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු 
රහස් අහස් තලයට පවරා

සඳ කැන් වැසිලා…

බන්‍ධුල කුදලාගම, 

සදම්ටනය. 

 
Advertisements

2 thoughts on “මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු – රහස් අහස් තලයට පවරා

  1. //මානවදයාවෙන් පිරිපුන් අහිංසක මිනි‍සකු වූ ප්‍රේමකීර්ති කිසිවකුගේ සිත් නො බිඳ, තම සිත ම බිඳ ගෙන, දෙයත් බැඳ ගෙන, කලක් පෙම් කළ මුත් පසු ව වෙන් වන්නට වූ ස්ත්‍රියකට පැවසූයේ රහස් අහස් තලයට සඟවා වෙන් වන්නෙමි යනුවෙන් ය//

    අහස් තලයෙන් මද නළ සමග මුසු වූ ඒ ගීය සඳ පායා ඇති සීතල රැයෙක ලිය ගොමුවක පත් සිලි සිලියෙන් සොලොවා නැවත අප සවනට ගීයක් ලෙසින් කොඳුරති…….

    Liked by 1 person

  2. සඳ කැන් වැසීලා….ආසම ගීතයක් වුනත්, මේ තරම් රහට ආපහු අහන්නේ මේ කියවීම් තුලින්. රස සහ දැණුම කියන්නේ, සංතෘප්තියකට පත් කරන්න පුලුවන් දේවල් නෙමේ කියලා මට හිතෙන්නේ. ඒකට හොඳ තල්ලුවක් දෙන එක ගන බන්ධුල ඇතුලු නඩේට රොම්බ තෑන්ක්ස්!!!!

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s