ඉන්දික පෙරේරාගේ “ෆිදෙල්” සමඟ අතීත මතක වෙත

ෆිදෙල්: විප්ලවීය මිනිසකුගේ අපදානය ඉන්දික පෙරේරාගේ වදන් සිත්තමක් ලෙස

අරූගේ අඩවිය” පවත්වාගෙන යන අරුණ පෙරේරාගේ සහෝදර ඉන්දික පෙරේරාගේ ග්‍රන්ථයක් එළිදැක්වීම දෙදහස් දහහත වර්ෂයේ ජනවාරි දහසය (2017-01-16) වැනි දින පස්වරු තුන යි තිහට (ප. ව. 3.30 ට) කොළඹ හතේ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වීමට නියමිත බව දැන ගන්නට ලැබිණි. ඉන්දික පෙරේරාමට හිතෙන හැටි” නමින් වියුණුවක් පවත්වා‍ ගෙන යන ලේඛකයෙකි. ඔහුගේ අභිනව ග්‍රන්ථය “ෆිදෙල්” නම් වේ. එය පසුගිය දා දිවිසැරිය නිම කළ අසහාය විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ චරිතය අලළා ඉන්දික විසින් ඇත්ත පත්‍රයට ලියවුණු ලිපි සමුච්චයක් ග්‍රන්ථාකාරයෙන් එළිදැක්වීමක් බව පැවසේ. මම ඉන්දිකගේ කාර්යසිද්ධියට සුභ පතමි. මතු පළ වන්නේ ග්‍රන්ථ එළිදැක්වීම පිළිබඳ අතීතාවර්ජනයකි. මෙය ග්‍රන්ථ එළිදැක්වීම පිළිබඳ ඛණ්ඩිත සහ අසම්පූර්ණ විකාසන ප්‍රවෘත්තියක් ලෙස ද සැලකිය හැකි ය. 

අපගේ පරම්පරාවේ ශාස්ත්‍රීය නැඹුරුවක් තිබූ බොහෝ තරුණතරුණියන්ගේ අනාගත බලාපොරොත්තු අතර පොතක් ලියා පළ කිරීමත් ‍චිත්‍රපටයක් අධ්‍යයක්ෂණය කිරීමත් ඉහළින් ම පැවතිණි. පොත් යැ යි සැලකුණේ කවි පොත් ය; නැති නම් කෙටිකතා පොත් ය. චිත්‍රපට යැ යි සැලකුණේ කළ හැකි පමණින් කෙටි චිත්‍රපට ය. මේ බලාපොරොත්තු දෙකෙන් එකක් හෝ අපි ඉෂ්ට සිද්ධ කර ගත්තෙමු. 

තරුණ ලේඛකයකුට තමාගේ ග්‍රන්ථයක් එළිදැක්වීම යනු වැදගත් අවස්ථාවකි. එළිදැක්වෙන ග්‍රන්ථය තමාගේ පළමු වැනි ග්‍රන්ථය නම් එම අවස්ථාවේ වැදගත්කම තව තවත් ඉහළ නැඟේ. ග්‍රන්ථයක් හෙවත් පොතක් ලියා, එය පළ කරවීම ලෙහෙසි-පහසු කාර්යයක් නො වේ. පොතක් ලිවීමට වඩා ප්‍රකාශකයකු සොයා ගැනීම අපහසු ය. නමක් ගොඩනඟා ගත් අයකුට එය ගැටලුවක් නො වුණ ද ආධුනිකයකුට නම් එය මහත් ගැටලුවකි. එකල ආධුනික ලේඛකයනට අතහිත දීමට අත්පිටපත් තරඟ පැවැත්විණි. එකල යැ යි කීවේ මෙකල එවැනි ව්‍යාපෘති තිබේ දැ යි මා නො දන්නා බැවිනි.  එවැනි අත්පිටපත් තරඟවලින් ජය ගන්නා ආධුනික ලේඛකයන්ගේ නිර්මාණ එම ව්‍යාපෘතිවල ප්‍රතිපාදනවලින් පළ කෙරිණි. 

ප්‍රකාශකයකු සොයා ගත්ත ද ඔවුන් සමඟ කටයුතු කිරීම ද මහ කරදරයකි. ප්‍රකාශකයකු නැති විට කර්තෘ ප්‍රකාශන ලෙස ග්‍රන්ථ එළිදැක්විණි. අතීතයේ මෙන් ම වර්තමානයේ ද තම වත්කම් උකසට තබා පොත් පළ කළ ලේඛකයෝ සිටිති. අතීතයේ නො වූ තවත් එක් ගැටලුවක් නම් නිවැරදි ව වර්ණ සංයෝජනය (අකුරු ඇමිණිම) කළ හැකි අයකු සොයා ගැනීම ය. ඉතා පැහැදිලි අතකුරින් ලියා දුන් පිටපතක් දෙස බලාවත් නිවැරදි ව පිටු හතරපහක අකුරු ඇමිණිය හැකි අය දුලබ ය. අද කාලයේ සෝදුපත් බලන්නන් නම් මොනවා බලන්නේ දැ යි මම නො දනිමි. මෙකී නො කී සියලු කරදර බාධක විසින් ඇතැම් අවස්ථාවල දී ඇතැම් ලේඛකයෝ ප්‍රකාශකයෝ බවට ද පත් කරනු ලබති. 

පරිගණක අක්ෂර සංයෝජනය ද පුද්ගල පරිගණක භාවිතය ද ප්‍රචලිත වූ පසු මගේ පොත්වල අකුරු බැඳීම කර ගනු ලැබුයේ මා විසින් ම ය. මා වෘත්තීය ලේඛකයකු නො වන නිසා ද මා වර්තමානයේ දී විශ්‍රාමිකයකු වන නිසා ද වර්තමානයේ දී මගේ ලේඛන මා විසින් එක් වර ම පරිගණකයේ ම සටහන් කෙරෙන නිසා ද මට මගේ ලේඛනවල අක්ෂර සංයෝජනය කර ගැනීම ගැටලුවක් නො වේ. එහෙත් කාර්යබහුල වෘත්තීය ලේඛකයකුට නම් හොඳ පුහුණුවක් ලද, අත්පිටපත බලා එහි ඇති දේ (තමාගේ හිතේ ඇති දේ නො ව) පරිගණක අක්ෂර සංයෝජනය කළ හැකි තැනැත්තකුගේ ද හොඳ සංස්කාරකයකුගේ ද සහය ලැබීම ඵලදායි ය. පොත් ප්‍රකාශනයේ පෙර කී කාර්යයන් මනා ව උනන්දුවකින් සොයා බලා කරවන ලද මට මුණ ගැසුණු මුද්‍රණාලාධිපතයන්/ප්‍රකාශකයන් වූයේ ගංගොඩවිල දීපානියේ බටදූවආරච්චි හිතවතාත් මාළිගාකන්දේ සමයවර්ධනයේ වීරමන් සහෝදරයනුත් ය (අනෙක් අය එසේ නො කරන්නට ඇති බවක් කිසි ලෙසකින් එම ප්‍රකාශයෙන් නො හැඟ වේ; මා මෙම සටහන ලියන්නේ මට මුණ ගැසුණු පුද්ගලයන් අලළා ය).

පළමු වැනි කාරය මිල දී ගැනීමේ දී කාර පිළිබඳ බොහෝ අය මනා ව ඉගෙන ගන්නා සේ ම පළමු පොත ලියා පළ කිරීමේ දී ද බොහෝ අය මනා ව පොත් පළ කිරීම (ග්‍රන්ථ ප්‍රකාශනය) පිළිබඳ ඉගෙන ගනිති. කර්තෘ ප්‍රකාශනයක් ලෙස තමන් ම ග්‍රන්ථ ප්‍රකාශනය කරන විට කළ යුතු කාර්ය රැසකි; එනිසා ම බොහෝ දේ ඉගෙන ගන්නට ද ලැබේ. 

පොත් පළ කෙරෙන දිග පළල පිළිබඳ සම්මත තිබිණි. එම සම්මත මානවලට වෙනස් වූ මානැති පොත් නිර්මාණය කරන්නට මුද්‍රණකරුවෝ එතරම් මනාප නො වූහ. පොත්වල දිග පළල පිළිබඳ නිර්භීත වෙනස්කම් කළ මෑත කාලීන ප්‍රකාශකයකු වූයේ විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක ඉනිමංකඩ ය. මගේ මතකයේ තරමට මා කිය වූ පළමු විදර්ශන පොත වූයේ විජේමාන්නගේ “කීඩෑවෝ ඇවිල්ලා” ය. එම පොත හුරුබුහුටි ව නිමවා තිබිණි.

පොතක ප්‍රමාණය සේ ම එහි පිටුවල තත්ත්වය පිළිබඳ ද තීරණ ගැනීම් තිබිණි. පිටුවල ගනකම තීරණය කෙරුණු මිනුමක් වූයේ GSM (Grams Per Square Meter) ය. වරක් මගේ කවි පොතක් පළ කරන්නට ගොස් GSM අගය 80 නො වී 70 වීම පිළිබඳ මම ප්‍රකාශකයකු සමඟ පැටලුණෙමි. පසු කාලීන ව මුද්‍රණ කඩදාසිවල ප්‍රමිතිය ඉහළ යාම නිසා ‍අනර්ඝ නිමාවෙන් යුත් පොත් පළ වන්නට විණ. සංහිඳ ප්‍රකාශන ආයතනයේ උපුල් තමා අත ගැසූ බොහෝ ක්ෂේත්‍රවල නව සම්මතයන් ඇති කරවීමේ නිසඟ සමත්කමක් තිබූ තැනැත්තෙකි. සුදු පැහැයට හුරු වැඩි බරක් ඇති පිටු වෙනුවට කහ පැහැයට හුරු අඩු බරක් ඇති එහෙත් ගනකම වැඩි මුද්‍රණ කඩදාසියකින් පොත් පළ කිරීම ප්‍රචලිත කර වූ අයකු වූයේ උපුල් ය. එම කඩදාසියේ මුද්‍රිත පිටු සහිත පොත් උසින් ද වැඩිය එහෙත් බර ඉතා අඩු ය. වර්තමානයේ බොහෝ පොත් මුද්‍රණය වන්නේ එම කඩදාසියෙනි. 

විවිධාකාර කංචුක නිර්මාණ : ශාර්ලට් බ්‍රොන්ටේගේ ජේන් අයර් නවකතාවේ විවිධ පෙන්ග්වින් ප්‍රකාශන

මුල් කාලයේ දී පොත්වල පිටකවරය වෛවර්ණිත වූයේ නැත. වර්ණ දෙක තුනකට වඩා වැඩියෙන් පිටකවරය සඳහා භාවිත වූයේ කලාතුරකින් ය. මුද්‍රණ ශිල්පයේ ද චිත්‍රක සැලසුම් ශිල්පයේ ද අභිවර්ධනය විසින් පොත් පිටකවර හෙවත් කංචුක නිර්මාණයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ලැබිණි. චිත්කාකර්ෂණීය නා නා වර්ණිත වූ, ඡායාරූප සමෝධානික වූ කංචුක වර්තමානයේ දී දැක ගත හැකි ය. අවදිලි සහ සුදිලි භේදයක් ද මුද්‍රණයට එක් වීමෙන් කංචුක ශෝභාව තවත් වැඩිණි. මා මගේ පොතක පිටකවරය ලෙස දිය ඇල්ලක ඡායාරූපයක් දර්ශන පරාස සීමාඡින්න නො කර යොදා ගැනීම පිළිබඳ මගේ ශාස්ත්‍රීය මිත්‍රයෙක් වසර කීපයක් යන තුරු ම මා විවේචනය කළේ ය. එම විවේචනයට තිත තැබුණේ මගේ කෙටිකතා එකතුවක පිටකවරය ලෙස මගේ මිතුරාගේ සුලලිත, සුකුමාර වත්‍රයේ ඡායාරූපයක් සීමාඡින්න කර යෙදීමෙන් පසු ව ය! 

පොතක් එළිදක්වන විට එය ලියාපදිංචි කර ගත යුතු ය. තමාගේ පොතට ISBN (International Standard Book Number) අංකයක් ලැබෙන්නේ එවිට ය. එපමණක් නො ව සුචිකරණ දත්ත අඩංගු කොටුව ලැබෙන්නේ ද එවිට ය. ඒ සියලු කටයුතු කෙරුණේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙනි. ඉන්දික පෙරේරාගේෆිදෙල්” නම් වූ අභිනව ග්‍රන්ථය එළිදැක්වෙන ශ්‍රවණාගාරය පිහිටියේ එම ආයතන පරිශ්‍රයේ ය. මා විසින් ඉංගිරිසි සහ සිංහල ද්විභාෂාවෙන් ම ලියවුණු ලිපි අඩංගු ග්‍රන්ථයක සුචිකරණ දත්ත කොටුව පිළිබඳ ගැටලුවක් පැන නැඟී වරක් මට එම ආයතනයට යන්නට සිදු විණ. අදාළ අංශය පිහිටා තිබුණේ ශ්‍රවණාගාරය අසල පිහිටි ගොඩනැඟිල්ලේ දෙවන හෝ තෙවන මහලේ ය. එම කාර්යය භාර තරුණ නිලධාරිනියක් කාර්යශූර ලෙස අදාළ ගැටලුව විසඳා එදින ම සුචිකරණ දත්ත සටහන මා අත තැබුවා ය; එමතු නො ව එහි පිටපතක් ද දින කීපයක් ගත වන්නට පෙර තැපෑලෙන් මට එව්වා ය. පොත් ලියාපදිංචිය වැදගත් ය. සම්මාන උලෙළවල දී පොතක් පළ වූ වර්ෂය පිළිබඳ ඇතැම් විට අර්බුද ඇති වන්නට හේතුවක් වූයේ ද පොත් ලියාපදිංචියේ වියවුල් ය. 

පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට ආසන්න ව පිහිටි රාජ්‍ය ලේඛනාගාරය ද පොත් පළ කරන්නන් විසින් දැන සිටිය යුතු ස්ථානයකි. ශ්‍රී ලංකාවේ පළ වන සෑම ග්‍රන්ථයක ම පිටපත් කීපයක් එහි සංරක්ෂණය කෙරේ. එම ආයතනය වෙත පොත් පිටපත් යැවීම මුද්‍රණාලයේ වගකීමකි. එම වගකීම කර්තෘ ප්‍රකාශකයන් විසින් තුමු ම දැරිය යුතු වන්නේ ඇතැම් ගැටලු වළක්වා ගැනීමට ය. දශක ගණනකට පසු හෝ යම් අයකු විසින් ලියවුණු පොතක් පිළිබඳ සොයා ගන්නට උදව් වන්නේ රාජ්‍ය ලේඛනාගාරය ය. එසේ වන්නේ නව පොතක පිටපත් එම ආයතනයට යවා තිබුණ හොත් පමණි. එම කාර්යය නිසි ලෙස සිදු නො වන බවට ද පසුගිය කාලයේ චෝදනා නැඟිණි.

කෙසේ හෝ අනේක ගැටලු මැඬ, පොතක් ලියා, පළ කළ පසු එය පාඨකයා වෙත ගෙන යන්නට ද දුෂ්කර වැඩ කොටසක් කිරීමට සිදු වේ. එකල නම් පුවත්පත්වලට ලිපියක් සකසා යවන ලදී. ඇතැම් විට කලා පුවත් පිටුවල නව පොත් පිළිබඳ එලෙස ලැබුණු දැන්වීම් පළ වේ. පත්තර කන්තෝරුවක සංස්කාරක මණ්ඩලය සමඟ දැන-හැඳුනුම්කමක් තිබුණ හොත් පොතේ පිටකවර ද සමඟ පොත පිළිබඳ කෙටි විස්තරයක් ගෙන ගොස් බාර දීමෙන් එම කාර්යය කර ගැනීම පහසු වන අවස්ථා ද තිබිණ.  ගුවන් විදුලියේ ද නව පොත් හඳුන්වාදෙන වැඩසටහන් තිබිණ. රූපවාහිනිය ප්‍රචලිත වූ පසු එහි කලා වැඩසටහන්වල ද නව ග්‍රන්ථ හඳුන්වාදීමේ අංග එක් ව තිබිණ. දැන හැඳුනුම්කම් මත ඇතැම් විටක කතුවරයා සමඟ කෙටි සාකච්ඡාවක් ද විකාශනය කර ගත හැකි විණ. 

උත්සවාකාරයෙන් ග්‍රන්ථ එළිදැක්වීම ප්‍රචලිත වූයේ බොහෝ මෑතක ය.  ග්‍රන්ථ එළිදැක්වීමට ම නිකුතුව, දොරට වැඩුම යන වදන් ද ව්‍යවහාර විණි. ඒ සඳහා මනහර වදනක් නිමවූවෝ ගුරුදේව ගම්ලත්හු ය. ඔවුන් විසින් නිර්මාණය කෙරුණු මනහර වදන “ජනගත කිරීම” ය. අභිනව ග්‍රන්ථ එළිදැක්වීම් හෙවත් පොත් ජනගත කිරීම් කර්තෘ විසින් ම හෝ ඔහුගේ හිතෛෂීන් විසින් ද ග්‍රන්ථ ප්‍රකාශකයන් විසින් ද සිදු කෙරේ. මෙම පොත් ජනගත කිරීම් උත්සව නො නිසි සංකල්පයක් නො වේ. 

පොත් ජනගත කිරීම සමඟ බැඳි ඇතැම් ක්‍රියාකාරකම් අධ්‍යාපනික ව ද සාමාජීය ව ද ආර්ථික ව ද ඵලදායි ය. කර්තෘ ප්‍රකාශනවල දී පොත පළ කරන්නට වැය වූ වියදමින් යම් පමණක් එදින අලෙවි වන පොත්වල ආදායමින් පියවා ගැනේ. ඊට අමතර ව ජාතික පුස්තකාල සේවාවෙන් ද යම් පොත් සංඛ්‍යාවක් දිරි දීමක් ලෙස මිල දී ගැනීම එකල සිදු විණ. එහෙත් එය පසු ව නැවතිණ. ඉතිරි පොත් අලෙවිය පණ යන වැඩකි! කෙසේ බෙදා හැරිය ද පොත් මිටි කීපයක් ඇඳ යට රුඳේ. කවි පොත් නම් කලක් ගොස් වේයන්ගේ රස ආහාර බවට පත් වේ. ප්‍රකාශකයකු සම්බන්ධ වී නම් බෙදා හැරීම පහසු ය. ‍පොතක් ජනගත කෙරෙන දිනයේ  දී අලෙවි වන සහ පුස්තකාල සේවාව විසින් මිල දී ගනු ලබන ‍පොත්වල ආදායමින් ඩෙනිම් කලිසමක් සහ ජංගම දුරකථනයක් මිල දී ගත් මගේ අතිජාත තරුණ මිත්‍රයකු මට සිහි වේ! හෙතෙම ද දැන් ලංකාවේ නැත. 

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය – කොළඹ 7

පොතක් ජනගත කෙරෙන ස්ථානය තිරණය කිරීම ද සැලකිය යුතු කාර්යයකි. පුස්තලකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය කොළඹ සරසවියට සම්බන්ධ විද්‍යාර්ථින්ගේ ප්‍රියතම ස්ථානයක් විණි. එම ශාලාව අතුරු සිදුරු නැති ව පිරවීම එතරම් අමාරු වූයේ නැත! මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරය ද නරක ම නැති ය. එහෙත් පදනම් ආයතන ශ්‍රවණාගාරය නම් ආධුනිකයකුගේ පොතක් ජනගත කිරීමට යොදා ගැනු‍ණේ කලාතුරකින් ය. මා අවසන් වරට එහි පැවති පොත් ජනගත කිරීමකට සහභාගී වූයේ බුද්ධදාස ගලප්පත්තිගේ පොතක් අරබයා ය. කලා ලෝකයේ පතළ නමක් තිබෙන බුද්ධි වෙනුවෙන් ඔහුගේ රසික සහෘදයෝ අතුරු සිදුරු නැති ව එදින එහි රැස් ව සිටියහ. එම පොතේ නම දැන් මට මතක නැත. බුද්ධි එම පොත සමර්පණය කළේ ශ්‍රියා රත්නකාර සිරිමතියට ය (ඇය සූර අර්ථශාස්ත්‍රඥ තිලක් රත්නකාරයන්ගේ ප්‍රිය භාර්යාව ය). කුමක් හෝ හේතුවක් නිසා ශ්‍රියා අක්කා පැමිණියේ නැත; ඇය වෙනුවෙන් රත්නකාර යුවළගේ දියණිය වූ සචී (ආරියරත්න ඇතුගල විවාහ වූයේ සචී සමඟ ය) එම පොත පිළිගත්තා ය. 

පොත් ජනගත කිරීමේ උලෙළ බොහෝ විට ආරාධිත විද්වතුන් දෙතුන් දෙනකුගේ අදහස් දැක්වීම්වලින් ඔපවත් වේ. පොතට අදාළ ක්ෂේත්‍රය පිළිබඳ පොදු දේශන බොහෝ විට සිදු වේ. ඇතැම් අවස්ථාවල අලුත ජනගත වන පොත පිළිබඳ ද කතාබහ කෙරේ. ආධුනිකයන්ගේ පොත් ජනගත කිරීම් යනු “දෙඤ්ඤං බැටේ”, “තෝ කඤ්ඤං” විචාර සඳහා නිසි තැන් නො වේ. ඒ කාලයේ නම් දේශන සඳහා පැමිණි දේශකයෝ ආධුනික ලේඛකයන් දිරි ගැන්වෙන ලෙස කතා කළහ. නිර්මාණාත්මක විවේචනයක් වුව ඉදිරිපත් කළේ ලේඛකයන් මන්දෝත්සාහි නො වන ලෙස ය. දැන් එන එවුන් “මේවා කවි ද?”, “මේවා විල්බර්ට් අඹතලාවගේ කවි” වැනි බකපණ්ඩිත කතා පවසන බව සැල යි. බොහෝ විට මෙවැනි අසභ්‍ය (සභාවට නො නිසි) උන්මත්තකයනට ආරාධනා කෙරෙන්නේ ප්‍රකාශකයන් විසිනි. පොත අලෙවි කර ගැනීමේ වෙළෙඳ ප්‍රවර්ධන උපක්‍රමයක් ලු!

දේශනවලට පසු ව කෙටි ප්‍රශ්න විමසුම් අවස්ථාවක් එළඹේ. මෙය බොහෝ කලක් තිස්සේ රසවත්, හරවත් හා සාමකාමී අඩහෝරාවක් හෝ හෝරාවක් හෝ විණ. ප්‍රශ්න වෙනුවට දීර්ඝ අදහස් දැක්වීම් සිදු කිරීම හැර වෙනත් වියවුලක් නො තිබිණි. මෙම අංගය දීර්ඝ ව ඇදී යන ඇතැම් විටක ශ්‍රවණාගාර පාලක ද සංවිධායක මණ්ඩලය වටා කැරකෙන්නට වන්නේ ය. ඉතා ප්‍රසන්න වූ රසබර, හරබර, සාමකාමී අංගයක් වූ මෙම අංගය වර්තමානයේ අප්‍රසන්න ම වූ රසසුන්, හරසුන්, කලහකාරී අංගයක් බවට විපරිවර්තනය වී ඇත. මෙය ඛේදනීය තත්ත්වයකි. 

තමන්ගේ මතවාද සමඟ එකඟ නො වන පොත් ජනගත කිරීම් සංවිධානාත්මක ව කඩාකප්පල් කර දැමීමේ (අල කිරීම” යනුවෙන් හැඳින් වෙන්නේ මෙය විය යුතු ය) ව්‍යාවෘත කල්ලි වර්තමානයේ අගනගරයේ බිහි ව ඇත. මොවුන් ප්‍රශ්න ඇසීම වෙනුවට කරන්නේ දේශකයන් ද ලේඛකයන් ද අපහසුවට පත් කිරීම ය; අදහස් දැක්වීම වෙනුවට කරන්නේ අවලාද නැඟීම ය. අදින් වසරකට හෝ දෙකකට හෝ පෙර සම්භාව්‍ය කාව්‍යබන්ධන රීතීන් මත පිහිටා කිවිඳියක විසින්  නිර්මාණය කෙරුණු, කර්තෘ ප්‍රකාශනයක් වූ අගනා කාව්‍ය සංග්‍රහයක් පෙර සඳහන් අසූදනකාරී හිංසාලුකයන්ගේ කල්ලියක් විසින් රෞරවකරණය කෙරිණි. මෙම කලහකාරී හිංසාලුකයන්ගේ අසූදනකාරී කල්ලි මතු ව පැමිණියේ පසුගිය දශකයකට ආසන්න කාලයේ දී ය. ඉන් පෙර අගනගරයේ සුප්‍රකට ශ්‍රවණාගාරවල දී නිබඳ ව දැක ගත හැකි වූ, ප්‍රේක්ෂක අදහස් දීර්ඝ ව දක්වන්නකු වූ පාණදුරේ ලාල් පෙරේරා වැනි රසකාමීන් කෙතරම් අගනේ දැ යි සිහි වන්නේ වර්තමාන විසූකදස්සන පිළිබඳ සැල වන විට ය.

වර්තමාන විසූදනකාරී කල්ලි විසින් වටහා ගනු ලැබිය යුතු වන්නේ තමන් අදහන මතවාද යනු කලාවේ හෝ වෙනත් ශ්‍රාස්ත්‍රීය ක්ෂේත්‍රයක හෝ නිර්මාණයක් ඇගයීමේ එක ම නිර්ණායකය නො වන බව ය. නූතනත්වයට පසු ව වැඩී පැමිණි සම්ප්‍රදායන් නූතනත්වයේ පරම්පරාවට අයත් අප විසින් නො සලකා හැරෙන්නේ නැත. එලෙස ම ඔබට එකඟ නැති අන්‍ය මතවාදයනට ද පැවැත්මට ඇති හිමිකමට ඔබ ද ගෞරව කිරීම යහපත් ය. 

පොතක් ජනගත කිරීමේ සභාවේ කටයුතු පෙර කී සියලු අංග සමඟ අවසන් වේ. ඉන් පසු එළඹෙන්නේ තේ පැන් සංග්‍රහය ය. ඉන්දිකගේ පොත ජනගත කෙරෙන ශ්‍රවණාගාරයේ නම් එම සංග්‍රහය සඳහා යාබඳ කුඩා ශාලාවක් තිබේ (හෝ තිබිණ). එහි නම් තේ පැන් ශ්‍රවණාගාර පරිපාලනයෙනි. තේ පැන් සංග්‍රහයේ දී තවත් මොනවා හෝ සරල ආහාරයක් දෙකක් ද පිළිගන්වනු ලැබේ. එම ආහා‍ර නම් සංවිධායක කමිටුවෙනි. මෙම අවස්ථාව රසබර හමුවකි. ඇතැම් විට ‍බොහෝ පැරණි මිතුරෝ යළි හමුවෙති; පැරණි මිතුරුකම් අලුත් වේ; අලුත් මිතුරුකම් ඇති වේ. ශාස්ත්‍රකලාකාමී සමුළුව විසිර යන්නේ ඉන් පසු ව ය. 

සමහර මිතුරෝ නම් කලකට පසු හමු වීම සමරනු වස් තේ පැන් නො වන වෙනත් පැන් සංග්‍රහ සඳහා ද ගෙදර යන ගමනේ දී අතරමඟ නවතිති. එදවස ඒවා නො නිල ය; පොතක් ජනගත කිරීමේ උත්සවයක අවශේෂ වූ පානෝත්සව ය. මෙදවස ඒවා නිල ය; ඇතැම් විට පානෝත්සවයක අවශේෂ වූ පොතක් ජනගත කිරීමක් දැ යි සිතෙන තරමට ඒවා මහෝත්සවකාරී ය. මම ඒවායේ වරදක් නො දකිමි. අකමැති අය සහභාගී නො වී සිටිය හැකි නිසා ය. 

පොත් ජනගත කිරීම් පිළිබඳ මගේ අතීත මතකයන්ගෙන් කීපයක් සටහන් කර තබන්නට මා මෙම ලිපිය ලියුවේ අරුණ පෙරේරාගේ සහෝදර ඉන්දික පෙරේරාගේෆිදෙල්” අපදානය ජනගත වීම අලළා ය. එම පොත් ජනගත කිරීම කවරාකාර දැ යි දකින්නට කොළඹ හතේ නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයට 2017-01-16 දින සවස 3.30 ට පැමිණෙන්නට නො හැකි තරම් දුරක මා ජීවත් වීම පිළිබඳ මම කනගාටු වෙමි. එහෙත් මගේ හෘදයංගම සුභාශිංසනය ඉන්දිකට හිමි‍ වේ. ඉන්දික වාමාංශිකයකු වේ නම් මම මගේ පැරණි වාම (සමසමාජ) උත්තමාචාරය ද පුදමි! සිද්ධිරස්තු!

සෑගිරියේ කීරාළ.

Advertisements

11 thoughts on “ඉන්දික පෙරේරාගේ “ෆිදෙල්” සමඟ අතීත මතක වෙත

  1. පොතක් ලිය පල කිරීමේ ආසාව මම ඉවත් කර ගතිමි. ඒ පිලිබදව බොහෝ දැ දැන් ගත්තේ මේ ලිපිය කියවීමෙන් පසුවය.

    Liked by 1 person

  2. මා සහ ප්‍රා ජේ මැතිතුමා අද මේ පොත ජනගත කිරීමේ උලෙලට සාබාගී වුනා!

    Like

  3. //////එලෙස ම ඔබට එකඟ නැති අන්‍ය මතවාදයනට ද පැවැත්මට ඇති හිමිකමට ඔබ ද ගෞරව කිරීම යහපත් ය. /////

    මේ අදහසට ගෞරව කරමින්, සෑගිරියේ කීරාළ ලියු මේ ලිපිය පොතක් පළකිරීමේ ආසාවෙන් සිටිනා නවකයෙකුට මහඟු පෙර කියවීමකි. මේ ලිපිය පුරාවට ඇති මේ අත්දැකීම් එලෙසින් ලියා තබන්නට අය නොමැතිවීම දුකකි. ඉන්දික තම පලමු වැඩෙන් පසු මෙහෙම සටහනක් තබා තිබුනි. මට එය කියවන්නට වුනෙත් අහම්බෙන්ය. මේ පාර නම් මිනිහා ටිකක් නිදහස් බව හිතෙන්නේ, මෙය “ප්‍රගති” ප්‍රකාශනයක් නිසාය.

    අසෝක බටදූවාඅරච්චි……දීපනි ප්‍රෙස් එක තිබුනේ දෙල්කඳ බස් හෝල්ට් එකට පිටුපස්සේය. මට ජීවිතයට අමතක කර නොහැකි බස් ස්ටෑන්ඩ් එකකි. හරක් නිදන්නේත් ඔය කිට්ටුවමය. නැත්නම් බස් හෝල්ට් එකේය. මහා මතකයක් ඇවිස්සේ. පුංචි කාලේ මම ඔය දීපානි එකේ අච්චු ගහන්වා වරු ගනන් බලාගෙන සිටියෙමි. මම දෙල්කඳ හංදිය ගැන ලිව්වා මදි යැයි සිතෙන්නේ මේ වෙලාවටය.

    බටදූවාරච්චිගේ ලොකු පුතා දීපාල් මට වඩා ටිකක් වැඩිමහල්ය. හෙන විනෝදකාමියාය. අපි කුඩා කල එකට සෙල්ලම් කරපු උන්ය. ගෙවල් තිබුනේ ගංගොඩවිල මීගහවත්තේය.

    සෑගිරියේ කීරාළට මෙවන් ලිපියක් ලිවීම පිලිබඳ මම තැන්ක් යු යයි කියමි.

    Like

      1. අනිත් එක අහන්න හිටියේ…විල්බට් අඹතලාවගේ කවි ගැන පොඩි අදසක් හෝ පෝස්ට් එකක් දානන්කෝ.

        Like

      2. ඉන්දික එවැනි සටහනක් ලිවීම පිළිබඳ මම සතුටු වෙමි. එම ලිපිය පිළිබඳ මා දැනුවත් කිරීම පිළිබඳ අරුණට මගේ කෘතඥතාව හිමි වේ. මම එම සටහන කියවීමි.

        විල්බර්ට් අඹතලාව පිළිබඳ සටහනක් ඉදිරියේ දී තබන්නම්. ඔහු දීර්ඝ කාලයක් පුරා කවි ලියූවෙකි. අඹතලාව ලියූ කවි ද සිංහල කවියේ එක් සම්ප්‍රදායකි. ඔහු ද ඇගයීමට ලක් විය යුතු කවියෙකි. සීගිරිය නරඹන්නට පැමිණි මිනිසුන් කුරුටු ගෑ පද පෙළ කවි ලෙස සලකන සමාජයක්, පාසැල්වල, සරසවිවල මේස මත, වැසිකිළි බිත්තිවල ලියවුණු පද පෙළ කවි ලෙස සලකන සමාජයක් අඹතලාව විසින් ලියවුණු, බස්වල ඇලවුණු පද පෙළ කවි ලෙස නො සැලකීම එතරම් තාර්කික නැත.

        සෑම යුගයක ම ප්‍රමුඛ සම්ප්‍රදායන් විසින් නො සලකා හරිනු ලබන මෙවැනි නිර්මාණකරුවෝ සිටිති. ලංකාවේ කලකට පෙර වැඩි ම නවකතා ගණනක් ලියූ නවකතාකරුවා වූයේ කුමාර කරුණාරත්න ය (මා කතා කරන්නේ තමන් ම නවකතා ලියූ අය පිළිබඳ මිස අන් අය ලවා මුදලට නවකතා ලියවා ගෙන ඒවා තම නමින් සති පතා පළ කර ගන්නා අය ගැන නො වේ). මා ගුණදාස අමරසේකරගේ මුල් යුගයේ (යුග සීමාව ගල් පිළිමය සහ බොල් පිළිමය ලෙස ගනිමු කෝ!) නිර්මාණ තරම් ම රුචියකින් කිය වූ ලේඛකයෙකි කුමාර කරුණාරත්න. ඔහු නිසි ඇගයීමකට ලක් වූයේ නැත. පාඨක හදෙහි රජයන ලද ජයලත් වුව ප්‍රමුඛ සම්ප්‍රදාය විසින් නො සලකා හැරිණි.

        සෑගිරියේ කීරාළ

        Like

      3. කීරාළට මචං කියන්නද, මොකක් කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි පහසුම වචනේ මචං.

        මේ වගේ දේවල් තව දිගට ලියන්න. කුමාර කරුණාරතනලා සිට සුජීව ප්‍රසන්න ආරච්චිලා වෙන් වෙන්ව අරං ලියපන් මචං. මට එහෙම ලියාගන්න තේරෙන්නේ නැහැ. උඹලා ලියපන්. මේවා වටිනවා ඉස්සරහ පරම්පරාවන්ට, උන් කියවනවානම් .

        Like

    1. ස්තුතියි අරුණ පෙරේරා ඔබගේ අදහස් දැක්වීමට. පොත් පළ කිරීමේ අතීත කතා රසවත්. මා නො ලියූ දෙයක් වූයේ පොත්වල පසුවදන් සහ පෙරවදන් ලියවා ගැනීම පිළිබඳ ය. මුල් කාලයේ දී සාදර අනුග්‍රහයක් ලෙස සිදු වූ පෙරවදන්/පසුවදන් ලිවීම පසු කලෙක ව්‍යාපාරයක් බවට පත් විණ. රුපියල් දෙතුන් දහසකට පෙරවදනක්/පසුවදනක් ලියා දෙන අය බිහි වූහ. මේ වැඩ කළ අය ද අපගේ ශාස්ත්‍රාලීය හිතවතුන් ම වීම කනගාටුවට කරුණකි. මම ද මගේ මිතුරෝ ද අපගේ පළමු පොතින් පසු පෙරවදන් සහ පසුවදන් ඉවත දැමුවෙමු. පොත ඇතුළේ අප ලියා ඇති දේ මෙය යැ යි පැවසෙන වාක්‍ය කීපයක් අපි ම ලියා ගත්තෙමු!

      අරුණ පෙරේරා බටදූවආරච්චි පිළිබඳ දැන සිටීම මට අපමණ සතුටකි. හොඳ අවබෝධයක් තිබූ මිනිසෙකි. ඔබ බටදූවආරච්චිගේ පුතණුවන් සමඟ කෙළිසෙල්ලම් කළ බව පවසන විට මට සිහි වූයේ වෙනත් දෙයකි! අන්තර්ජාලය යුග – යුග සම්බන්ධ කරන අයුරු අපූරු ය. බලා යන විට අරුණත් මගේ පැරණි අසල්වැසි‍යකු වී නො වැ. අරුණගේ අතිහිතවත් බන්‍ධුල ද බොහෝ කලක් වාසය කළේ එම ප්‍රදේශයේ ය. එකල එම ප්‍රදේශය ද එක්තරා කලාකාර-ශාන්ත්‍රවන්තයන්ගේ පුරයකි. අරුණ එම ප්‍රදේශයේ අතීත ස්වභාවය ලියා තැබුවොත් මනා ය. පරණ කැස්බෑව පාර අරුණට මතක ඇතැ යි සිතමි.

      සෑගිරියේ කීරාළ

      Like

      1. //////ඔබ බටදූවආරච්චිගේ පුතණුවන් සමඟ කෙළිසෙල්ලම් කළ බව පවසන විට මට සිහි වූයේ වෙනත් දෙයකි! /////

        අම්මපා කීරාළ මම මේ අහන්නේ…මම හෙන බාලයෙක්ද 😀
        මම හිතාගෙන ඉන්නේ මම ෆුල් වැඩිහිටියා කියලා 😀

        ඒක නෙමේ පෙරවදන්/පසුවදන් පෝස්ට් එකක්ම දාන්න.

        මේ මම, මට පුලුවන් විදිහට අවුලේ ලියපු පළමු සටහන.

        මගේ කතාවේ ඉතිරි කොටස්වල දෙල්කඳ තියෙයි. ඒ 1990 ගනන්. මට මතක 1967 වගේ ගංගොඩවිල මතකයට මම තාමත් ආදරෙයි. මට මතක මම අවුරුදු පහ වගේ කාලෙක ඉඳන්. දෙල්කඳ ගැන ආපහු වෙනමම ලියන්න ඕන.

        Like

  4. බොහෝ දේවල් ඉගෙන ගත්තා… කීරාලයන් කියන්නා සේ සංවාද වලට වැඩිය අද තියෙන්නේ බලු පොර.

    /*උන්මත්තකයනට ආරාධනා කෙරෙන්නේ ප්‍රකාශකයන් විසිනි. පොත අලෙවි කර ගැනීමේ වෙළෙඳ ප්‍රවර්ධන උපක්‍රමයක් ලු! */
    අද ඉතින් නැගලම යන කලාව ඇන්දීමේ කලාවනේ. ප්‍රවීණ්යන්, ආධුනිකයන් කියලා වෙනසක් නැතුව වැඩි දෙනෙක් කලා නිර්මාණයට වැඩිය තම කාලය, ශ්‍රමය වැය කරන්නේ ‘ඇන්දීමේ කලාව’ ප්‍රගුණ කරන්න.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s