සරසාලෝචනා – අග්‍රිම සර්‍ගය : හේන

හේන

සුප්‍රකට “මල්ලේ පොල්” වියුණුවේ හිමිකාර මා සන්සඛි සරසතුමන් හේන පිළිබඳ අනර්ඝ ලේඛනයක් පළ කර ඇත. එම ලේඛනය සරසතුමන්ගේ වාග්චාරුත්වය ද ලේඛන කෞශල්‍යය ද බහුශ්‍රැත-බහුපඨිතභාවය ද ස්ඵුට කරන අග්‍රලේඛනයකි. මා විසින් මෙහි ලියවෙන්නේ එම අග්‍රලේඛනයට ව්‍යාඛ්‍යා සහිත පරිපූරකයකි. මෙම ව්‍යාඛ්‍යාව කියවන්නට පෙර මගේ හෘදසංවාදී, හෘදවාසී, හෘදයංගී සරසතුමාගේ අග්‍රලේඛනය කියවීම නිසි ය. මෙම සටහන මම අපගේ සඛිභාවය සලකා සරසාලෝචනා: අග්‍රිම සර්‍ගය නමින් සරසතුමනට සමර්පණය කරමි. 

හේන යනු ගොඩ ගොවිතැනේ භෝගජනන ස්වර්ණභූමිය යි. ගම්මාන සීමාවේ කැළෑ බිම හෙළිපෙහෙළි කර, පුලුස්සා, පස පෙරළා, බිම සකසා බෝග වගා කෙරෙන්නේ හේනේ ය. එම ක්‍රියාව හේන් කෙටීම නමි. අවම ජල පෝෂණයකින් සරුවට වැඩෙන බෝග හේන් ගොවිතැනට නිසි ය. මෙම ආලෝචනයේ මුඛ්‍යාධ්‍යාශය හේන පිළිබඳ භාෂාත්මක ව විමර්ශනය කිරීම ය. වඩා සුවිශේෂී ව පවසන්නේ නම් හේන යන වචනය මූල වන සහ සබැඳෙන භාෂා ව්‍යවහාර විමර්ශනය ය. 

හේන යනුවෙන් සමකාලීන සිංහලයේ හැදින්වෙන්න සම්භාව්‍ය සිංහලයේ සේන (සේණ) ලෙස යෙදේ. හේන යන අරුත දීමට කෙත යන්න ද ඇතැම් තැනෙක ව්‍යවහාර වී ඇත.

දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් ලියවුණු සද්ධර්මරත්නාවලියේ උක් හේනක් පවත්වාගෙන ගිය සහෝදරයන් දෙදෙ‍නකු පිළිබඳ කතාවක් ජටිල තෙරුන් වහන්සේගේ වත යටතේ සඳහන් ය:

යට ගිය දවස බරණැස් නුවර කෙළෙඹියෝ දෙ බෑ කෙණෙක් මහත් කොට උක් සේනක් කැරවුහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනක් කැරවූහ. ඉක්බිත්තෙන් එක් දවසක් මලණුවෝ උක් සේනට ගොසින් උක් සේන බලා පියා බෑණන්ට උක් දණ්ඩක් හා තමන්ට උක් දණ්ඩක් හා කපා ගෙණ උක් පැන් පෙරී නො වැගිරෙන ලෙසට කපා පී මුණ ත් පත් වසා බැඳ ලා අල්වා ගත්හ.

සද්ධර්මරත්නාවලියේඅගසවු වත යටතේ ද හේන පිළිබඳ මෙසේ සඳහන් වේ:

හෙම්බා ‍මහණෙනි, මේ අප බුදු වූ කපට එකානු වන කප විපසසි නම් බුදු කෙණෙක් ලෝ පහළ වූ ය. එ කල මහාකාළ ය – චුළකාළ ය යි ප්රූසිද්ධ වූ දෙ බෑ කෙණෙක් මහා හැල් කෙතක් වැපිර වූ ය.

හැල් බඩ තළවා දන් දීමක් ගිය දවස වුයෙ ත් නැත. එන දවස වන දෙයකු ත් නො වෙයි. ගොයම් නො නසව කියා ලා මළණුවන් හැල් බඩ දන් දෙන්ට ම තර හෙයින් එ සේ වී නම් සේන බෙදා පියා මා සන්තක භාගයට අළෙවි නො කොට තොප සන්තක භාගයට කැමැත්තක් කරව යි කිවු ය.

මා සන්මිත්‍ර සරසතුමෝ නව දැලි හේන පිළිබඳ ද තම මාහැඟි ලේඛනයේ සඳහන් කරති. මා හද සනසනවන මධුර හඬක් ඇති ගායකයකු වන සෝමතිලික ජයමහ ලියා ගැයූ ගීය නන්ද කුමාර වත වරදවා වටහා ගැනීමක් බව කන්දේගමයන්ගේ මතයක් මත පිහිටා සරසතුමෝ පවසති. සෝමතිලකයන් කෙරෙහි මෙන් ම තිලක් කන්දේගමයන් කෙරෙහි ද කුදලාගමගේ සිතේ අප්‍රමාණ ගෞරවයක් තිබේ.  කන්දේගමයෝ අපේකම දන්නා විද්වතෙක් වෙති. එනිසා මම මෙම ලිපියේ දී සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් නව දැලි හේන පිළිබඳ උද්ධෘත නො දක්වමි. නව දැලි හේන පිළිබඳ ලියූ මගේ විග්‍රහය වෙනත් ලිපියක් ලෙස වෙනත් දිනයෙක පළ කරන්නෙමි.

හේන පිළිබඳ කතිකාවේ දී වැදගත් කාරණයක් වන්නේ හේනේ වගා කළ එක් සුවිශේෂී බෝගයක් ය. ඒ වූ කලී ඇල් (හැල්) වී ය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ඇල් වී සමඟ බැඳි ඇල් සහල්, ඇල්කෙත්, ඇල්ගෙවිලි ඈ නන් නය පදමුසු හමු වේ. දුටුගැමුණු මහ රජතුමාගේ පුතණුවන් උපන් දා සිට දො‍ළොස් වසක් ගත වන තෙක් මෙසිරිලක පුරා සී වසින්නා සේ ඇල් වී ලැබුණු බව ද එනයින් එකුමරු සාලිය නම් ලද බව ද සීහලවත්ථූපකරණය පවසද් දී එකුමරුන්ගේ පුණ්‍යබල මහි‍මයෙන් ධාන්‍යාගාර හැල් වීවලින් පිරුණු බව මහාවංස ටීකාව පවස යි. කවරක් ද මෙකී ඇල් වී? වී වගාව කුඹුරුවල කෙරෙන මඩ ගොවිතැනක් වන කල ඇල් වී, හේන පිළිබඳ කතිකාවකට මා විසින් ගෙන එනු ලැබුණේ ඇයි? පිළිතුර සරල ය: ඇල් වී යනු හේන්වල වගා කෙරුණු වී වර්ගයකි. එනයින් ඇල්හේන ව්‍යවහාරයට පැමිණියේ ය. 

අතීත ලංකාව පුරා ඇල්හේන් බොහෝ පැවති ලෙස ම වර්තමාන ලංකාව පුරා ද ඇල්හේන් පවතී. එහෙත් වර්තමාන ඇල්හේන්වල ඇල් වී නම් වගා නො‍ කෙරේ. මහරගම ඇල්හේන ද ගොතටුවේ ඇල්හේන ද පමණක් නො ව කොළඹ-නුවර මාර්ගයේ කඩවතට නුදුරු ව පිහිටි ඇල්හේන ද මිරිස්වත්තෙන් හැරී යන වතුරගමට නුදුරු ඇල්හේන ද නුවර කැටවලට නුදුරු ඇල්හේන ද ආදී වශයෙන් තවත් බොහෝ ඇල්හේන ශ්‍රී ලංකාව පුරා ඇත. 

ඇල්හේන සම්බන්ධ වූ මධුරමනෝහර ගීත කීපයක් ම තිබේ. සුනිල් සේනාධීර ලියූ, සිරිල් ටියුඩර් ප්‍රනාන්‍දු ගැයූ “ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ” ගීතය එම ගීත අතර ඇති හද බඳනා, මන බඳනා ගීයකි. එම ගීතයේ අවසානය මෙසේ ය: 

ඇල්කෙතකින් එන
දැරියකගේ හඬ 
දැන් දැන් මා හද නළවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසත ම පැතිරෙන්නේ
කවුරු ද ඇල්හේනේ
කවුරු ද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

මර්වින් සේනාරත්න

විශිෂ්ට ගීත රචකයකු වූ මර්වින් සේනාරත්න ලියූ (මාගම් පුරේ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ, තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙළි වැනි ගී ලියුවේ ද මර්වින් ය), දයාරත්න-අමරා යුවළ ගයන “මහ රෑ යාමේ මේ ඇල්හේනේ – තනියම සීපද කියනු අසා – වෙහෙස දරාගෙන පාර අසා ගෙන – ආවෙමි අඳුරෙ ම ඔබ ව සොයා” ගීය ද සිහි කළ යුතු ම ය. 

රෝහණ බැද්දගේ ලියා ගායනා කරන ගී මිණක් වන “කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ – මන බැන්දේ බින්දේ සුවපහසේ වාසේ ගම්මානේ” ගීයේ ද ඇල්හේන පිළිබඳ මෙසේ සඳහන් ය:

ඇල්හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
යයි දෝ නවෝදෙන් මැකීලා ගම්මානේ

අසමාන කෞශල්‍යයකින් හෙබි විශිෂ්ට ගණයේ ගායක‍යකු වූ හෙට්ටිආරච්චිගේ රෙජිනල්ඩ් ජෝතිපාල, ජී. එස්. බී. රාණි පෙරේරා (GSB – Gnai Sinari Benzajaya) සමඟ ගැයූ “ඇල්හේනේ පැල් රකිද් දී – කුඹුරේ ගොයම් කපද් දී – ඔබ කීව ගීතිකාවෝ – මට නැහැ ප්‍රියේ ඇසෙන්නේ” ගීය ද සඳහන් කළ මනා සම්භාවනීය ගීයකි. 

උපාලි ධනවලවිතාන

ඇල්හේන සමඟ ම මතකයට නැඟෙන අනෙක් හේන නම් කුරහන් හේන ය.  කුරහන් හේන සබැඳි ගීත ද්වයයක් මම තෝරා ගතිමි. අජන්තා රණසිංහ ලියූ අබේ සහ ත්‍යාගා ගායනා කළ අතිශය ප්‍රේමණීය ගීතයක් වන “රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ – මගෙ තනි නොතනියට නුඹවත් නැතිවානේ – හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ – මාසේ පෝය දා වාගෙ යි ගම්මානේ” ඉන් එකකි. අනෙක් ගීතය අග්‍රගණ්‍ය ‍සුගේයපදකාර උපාලි ධනවල විතානයන් ලියූ, නිරංජලා තම සදාකාලික යෞවන හඬින් ගයන “රන් කුරහන් හේන උඩින් සීපද හඬ ඇසෙන පැයේ – එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ” ය. 

කුරක්කන් හේන අලළා රසවත් කවි පන්තියක් ලියන ලද්දේ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයන් විසිනි. එහි හේන යෙදෙන කවිය මෙසේ ය:

මුල දි කැළේ හැටි බැලුවම කුමක් වැනි
පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
හේන කොටා ගිනි තිබ්බම කුමක් වැනි
බඳින දවසේ එළි කළ මගේ මුහුණ වැනි

හැත්තෑවේ දශකයේ ලාංකීය කාණ්ඩායම් සංගීතයේ සුපිරි සංගීතඥයා,  ගී පද රචකයා සහ ගායකයා වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් අනිල් සඳහා නිර්මාණය කළ “ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ” ගීතය ද හේන පිළිබඳ කතිකාවක දී අමතක කළ යුතු නැත:

හේනේ පැලේ පැල් රකිද් දි ඔබ සිහිවෙනවා 
පාළු තනිය නැති වී යනවා 
මට ලැබේ ද වෙන ගමකට යා ද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා

ක්ලැරන්ස් තමන් සඳහා ම නිර්මාණය කළ “සුදු මැණිකේ මගේ මැණිකේ – අලුයම හිරු එළිය වගේනේ – කැකුළු මල් අග පිපුනා – මගේ හදවත බැදුණා – තව මෙවන් දෙයක් නැතැ යි සිතෙන්නේ” ගීතය ඇල්හේන පිළිබඳ මෙසේ පවසයි:

ඇල්හේනේ පැල් රැකලා
කල් යන්නේ නිදි මරල //
සුදු මැණිකේ ගැන සිතලා
මම ඉන්නේ මග බලලා

ඇල්හේන්, කුරහන් හේන් අතරට එක් වන මුං හේන්, කිතුල් හේන් (කළුතර දිස්ත්‍රික්කයේ) ද ගල්හේන් (ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල) ද ඇත. ඒවා ද සරසතුමාගේ ලේඛනයට නිසි ය. ගල්හේන නිසා මට සිහි වූයේ මීට දශක දෙකකට පෙර ජීවන ගමන අවසන් කළ මගේ හිතවකු වූ ගල්හේන ය. එම පරම්පරාව ඉදිරියට ගෙන යන්නට ඔහුට ශූර පුතුන් තිදෙනකු ද සිටි බව මතක ය. හේන පුද්ගල නාම සමඟ සබැඳෙන කල මට සිහි වන තවත් පුද්ගලයකු වූයේ මා පොළොන්නරුවේ සේවය කළ සමයේ දැන සිටි පලිහේන ය. 

මගේ සන්මිත්‍ර සරසතුමන්ගේ ලිපිය විසින් අවධාරණය කෙරෙන හේන සම්බන්ධ එක් නමක් කරණ කොට මගේ සිත නව්‍ය කලා ශානරයක් වන නවකතාව (නව්‍ය ය යි කීව ද දැන් නවකතාව බොහෝ පැරණි ය!) වෙත යොමු වේ.

කැළෑව එළිපෙහෙළි කර හේනක් කෙටීම පිළිබඳ සඳහන් ප්‍රකට නවකතාවකි කළුඅච්චිගමගේ ජයතිලකයන්ගේ චරිත තුනක්. කැළෑව එළිපෙහෙළි කිරීමේ සිට හේනෙන් පලදාව ලබා, අවසන පුරන් වන්නට අතහැරෙන තෙක් හේන් පවතක් එම නවකකාව සමඟ බැඳේ. එහි එන ඉසාගේ චරිතය සමඟ හේන බැඳී පවතී. ඉසා හේන් කෙටුවේ ආණ්ඩුවට අයත් කැළේ ය. මෙලෙස ආණ්ඩුවේ කැළේ හේන් කෙටීම් පිළිබඳ සඳහන් තවත් නවකතා දෙකක් මට සිහි වේ. එකක් බොහෝ පැරණි නවකතාවක් වන පියදාස සිරිසේනයන් විසින් (සිරගත ව සිටිය දී) ලියවුණු අෂ්ට ලෝක ධර්ම චක්‍රය ය. අනෙක නම් සුමිත්‍රා රාහුබද්ධගේ පළමු වැනි (සහ මගේ විශ්වාසය අනුව නම් හොඳ ම) නවකතාව වූ බුමුතුරුණු ය. 

හෙන්පිටගෙදර ඤාණසීහ හිමි

සිංහල නවකතා ක්ෂේත්‍රයේ පළමු වැනි සංඝ සම්ප්‍රාප්තිය වූයේ “රෑපා” ය. රූපා ලියවුණේ සරසතුමා තම ලිපියේ ලා සඳහන් කළ පැවිදි උතුමකු විසිනි. වල්පොළ රාහුල හිමියන්ගේ විප්ලවීය කෘතියක් වූ “හික්‍ෂුවගේ උරුමය” ට ප්‍රතිචාර ලෙස “භික්‍ෂුවගේ උරුමය කුමක් ද?” නම් ප්‍රකාශනයක් ලියවුණේ ද පෙර කී ප්‍රව්‍රජ්‍ය උත්තමයන් විසිනි. උන් වහන්සේ අන් කවරකු හෝ නො ව බණ්ඩාරනායක සිරිමතුන්ගේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ පුරෝගාමියකු වූ හෙන්පිටගෙදර ඤාණසීහ හිමියෝ ය. 

හේන සමඟ නවකතාව වෙත පැමිණි මට සිහි වන්නේ හේන ඉංගිරිසියට ගිය සැටි ය. හේන යනු අස්වැද්දීම සේ ම සුවිශේෂී සංකල්පයකි. එනිසා ම ඉංගිරිසිහු අස්වැද්දීම ඇසුරින් asweddumise නම් වදන ඉංගිරියට ගත් සේ ම හේන ඇසුරින් chena නම් වදන ද ඉංගිරිසියට ගත්හ. 

ලෙනාර්ඩ් සහ වර්ජිනියා වුල්ෆ් යුවළ

හේන පිළිබඳ සඳහන් කළ සුප්‍රකට ම ඉංගිරිසි නවකතාකරුවා වූයේ ලෙනාර්ඩ් සිඩ්නි වුල්ෆ් ය. හෙතෙම තම The Village in the Jungle කෘතියේ හේන පිළිබඳ මෙසේ පවසයි 

Usually the village lived entirely by cultivating chenas. In August every man took a katty and went out into the jungle and cut down the undergrowth, over an acre or two. Then he returned home. In September he went out again and set fire to the dead under- growth, and at night the jungle would be lit up by points of fire scattered around the village for miles; for so sterile is the earth, that a chena, burnt and sown for one year, will yield no crop again for ten years. Thus the villagers must each year find fresh jungle to burn. In October the land is cleared of ash and rubbish, and when the rains fall in November the ground is sown broadcast with millet or kurakkan or maize, with pumpkins, chillies, and a few vegetables. In February the grain is reaped, and on it the village must live until the next February. No man will ever do any other work, nor will he leave the village in search of work. But even in a good year the grain from the chenas was scarcely sufficient for the villagers.

ගරු සරසතුමන් ද මා ද යම් සංවාදයකට එළඹි කල බොහෝ විට නතර වන්නේ පේරාදෙණියෙන් ය (මා ප්‍රිය මැණිකේගේ වදනින් පවසන්නේ නම් “සරසතුමාත් ඔබතුමාත් මොනවා කතා කරත් අන්තිමට අර මැක්කාගේ කතාව වගේ පේරාදෙණියට ගොසින්නේ නවතින්නේ”). සරසතුමනට සමර්පණය කෙරෙන මෙම සරසාලෝචනා ව්‍යාඛ්‍යාවට ද පේරාදෙණිය ඈඳා ගන්නට රිසියෙම් මම හේන පේරාදෙණියට සම්බන්ධ කර ගන්නා මඟක් පිළිබඳ සිතීමි. එසැණ මඟක් පෑදිණි. ඒ මෙසේ ය. 

ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය සහ කිරිඳිවැල අතර හේනේගම නම් ගම්පියසකි (මධ්‍යම පළාතේ ද දකුණු පළාතේ ද ‍තවත් හේනේගම් ඇත. හොරණ පොකුණුවිට හේනගමක් ද ඇත). මෙකී හේනේගම පිහිටි ප්‍රසිද්ධ පාසලකි හේනේගම (මධ්‍ය) මහා විද්‍යාලය. එම හෙනේගම (මධ්‍ය) මහා විද්‍යාලයෙන් වෛද්‍ය පීඨයකට තේරී පත් වූ පළමු වැනි ශිෂ්‍යයා වූයේ පසු කලෙක පේරාදෙණි වෛද්‍ය පීඨයෙන්  බිහි වූ අතිදක්ෂ වෛද්‍යවර‍යකු වූ ද  ඉතා ළා බාල වියේ දී ම (කුසලතා මත) වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ද කලාකාමියකු වූ ද අලගියවන්න මොහොට්ටි අප්පුහාමිලාගේ නිමල් කිත්සිරි සේනානායක ය. එසේ පැවසූ විට ඔහු නොහඳුනන අය ද ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර, දුර්ගාන්තය ඈ ටෙලිනාට්‍ය පිටපත් ලියූ නිමල් සේනානායක ය යි කියූ පමණින් ඔහු හඳුන ගනිති. 

මගේ සන්මිත්‍ර සරසතුමාගේ අගනා ලිපියට පාදක වූ හේන සමඟ බොහෝ දුර ගමනක් ගොස් අවසානයේ දී පේරාදෙණියට පැමිණ මම මෙම සරසාලෝචනා ව්‍යාඛ්‍යාව අවසන් කරමි. මාගේ මෙම වෑයම ගරු සරසතුමනට උපහාරයක් වේවා!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

16 thoughts on “සරසාලෝචනා – අග්‍රිම සර්‍ගය : හේන

  1. හේනට සම්බන්දයක් නැති මාමා කෙනෙක් හේනේමාමා වූයේ කෙසේදැයි පහදා දෙනු මැන.. ළිපිය පිළිබඳ බයිලා අවශ්‍ය නැත.. එය මල් හතක්මය…

    Liked by 1 person

    1. සබඳ මාතලන් මැතිඳුනි,

      හේනේ මාමා පිළිබඳ විමසූ විට නො වැ සිහි වූයේ. ගල්කිස්සේ හේන පාරේ පදිංචි ව සිටි මගේ ඥාති සහෝදරයා හේනේ අයියා ය. හේනේ අයියාගේ පුතණුවන් මුලින් ම පාසල් ගියේ හේන පාරේ හේන විද්‍යාලයට ය. ඒ කාලයේ හේන විද්‍යාලයේ උගත් ශිෂ්‍යයන් අතර පසු කලෙක ජනප්‍රිය, දක්‍ෂ නළුවකු වූ පාලිත සිල්වා ද සිටි බවට අපැහැදිලි මතකයක් මා සිත පවතී (මෙම කරුණේ නිරවද්‍යතාව පසු ව තහවුරු කර ගත යුතු ය. මක් නිසා ද ඒ කිට්ටුව සත්ථිස්සර (විද්‍යා) විද්‍යාලය ද තිබූ බැවිනි). එකී හේන විද්‍යාලය වත්මන එනමින් නො ව වෙනත් නමකින් හැඳින් වේ. එම වත්මන් නම දෙහිවල-ගල්කිස්ස ප්‍රදේශයේ සුපතළ නාමයකි.

      හේනේ මාමා පිළිබඳ බොහෝ දේ දන්නේ සරසතුමා ය!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. මාතලන් මැතිසඳ,

        ඉහත පාලිත සම්බන්ධ කරුණ මම මගේ ඥාති පුතණුවන් අමතා තහවුරු කර ගතිමි. ඔහු හා පාලිත එකල කනිෂ්ඨයේ දී එකට අධ්‍යාපනය ලබා ඇත. එකල එම විද්‍යාලය රබර් කැළැයක් ආශ්‍රිත ව පිහිටා තිබී ඇත. දශක හතරකට පසු අද, හේන පාරේ රබර් කැළයක් තිබූ බව හිතන්නටවත් හැකි ද? නුගේගොඩ, කළුබෝවිල, මහරගම පැතිත් එදවස අඳුර වැ‍ටෙන කල නරි හූ තියූ පැති තමා! අදි සිට තව දශක හතරපහකින් කවර නම් විපරියාසයක් වේවි ද?

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Like

  2. අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම සූරීනි,

    ඔබතින් උපහාර ලබන්නට මා පෙර පින් කර තිබෙනා හැඩයි!!

    පොලෝ ගැබේන් මතු වූවද අගනා නිල් කැටය මහ රැජින ගේ කිරීටය සරසන්නට සමත් වුනා සේ, ආලෝචනයක් නොව වියත් වියමනකට සුදුසු වූ ඔබේ ආලෝචනය නිසි තැන තැබීම ගැන මගේ සිත පිනා යයි!

    Liked by 1 person

  3. මා අසාවත් නැති ගීත කීපයක්ම ඇත. වනාන්තර විනාස කොට කෙරෙන හේන් වගාව කොතරම් දුරට හරිද? තවමත් ලංකාවේ හේන් වග කරනවද ?

    Liked by 1 person

    1. සබඳ The Read Us,

      ඔබ පවසන දෙය සත්‍යයකි. හේන් ගොවිතැන නිසා වන විනාශය පමණක් නො ව පසේ ගුණාත්මකභාවය විනාශ වීම ද සිදු වේ. හේන් ගොවිතැන යනු බොහෝ විට බහුබෝග ගොවිතැනකි. එමඟින් පසේ පෝෂණ සංඝටක ඉතා විශාල වශයෙන් කෙටි කලකින් ක්ෂය වේ. එක් වරක් හේනක් වගා කළ පසු වසර ගණනක් (වුල්ෆ්ට අනුව වසර 10 ක් පමණ) එබිමෙහි වගා නොකෙරෙන්නේ එනිසා ය. මේ බව 1911 දී වුල්ෆ් ඉතා හොඳින් තම The Village in the Jungle කෘතියේ ලා විග්‍රහ ක‍ළේ ය (පෙර උපුටනයේ සඳහන් ය).

      වුල්ෆ් එම විග්‍රහය කරන්නට ශතවර්ෂයකටත් පෙර, එනම් 1800 දී පමණ ජේම්ස් කෝර්ඩිනර් තම A Description of Ceylon කෘතියේ ලා ද හේන් ගොවිතැන පිළිබඳ මනා විස්තරයක් කළේ ය. හේන් වගාවන් දෙකක් අතර වසර ගණනක (කොර්ඩිනර්ට අනුව වසර 8 – 10 ක) පරතරයක් තැබීම පිළිබඳ ද හෙතෙම සඳහන් කළේ ය. එම කෘතියේ පළමු වෙළුමේ 392 සහ 393 පිටුවල කෙටි ඡේද හතරක් පුරා හේන පිළිබඳ විග්‍රහ වේ. කොර්ඩිනර් හේන සඳහා ව්‍යවහාර කරන වචනය chemass යන්න යි (මම පසු ව එම අදාළ කොටස් පිටපත් කර මෙහි පළ කරන්නෙමි).

      ඔබ විමසන දෙවන ප්‍රශ්නය වන “ලංකාවේ තවමත් හේන් වගාව කෙරෙන්නේ ද?” යන්නට පිළිතුර “ඔව්” ය යි සිතමි. එහෙත් මහා පරිමාණයෙන් නො විය යුතු ය. කුඹුරු ගොවිතැනට නොනිසි කාලවල හේන් ගොවිතැනට ප්‍රමුඛත්වයක් ලැබේ. මා වියළි කලාපයේ සේවය කළ සමයේ නම් හේන් වගාව සරුවට කෙරෙනු දැක ඇත. එහෙත් වර්තමානයේ නම් වැඩිපුර කැළෑවල ඇත්තේ වුල්ෆ් හෝ කෝර්ඩිනර් හෝ පැවසූ බෝග නො වේ! එමෙන් ම ඒවා සුමංගල විලාසිනියේ හෝ සිඛවළඳ විනිසේ හෝ සඳහන් බෝග ද නො වේ! වර්තමාන හේන්වල වගා කෙරෙන්නේ වේදනානාශක ල! මනෝරත්නගේ නාට්‍යයක ද ඒවා ගැන සඳහන් ය. වසන්ත දුක්ගන්නාරාළ ඒවා අලළා ගීයක් ද ලියා මහ කලබැගෑනියක් කර ගත් බව ආරංචි ය!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  4. උපාලි ධනවලවිතාන සහ ඔගස්ටස් විනයාගරත්නම් ගැන කතා නොවෙන තරම්.
    මම කැමතිම ගීයක් තමයි මාතලන් මතක් කරපු, ජෝති/ජීඑස්බී ගැයු..ගීතය. මට හොයාගන්න බැහැ, පදරචකයා සහ තනු නිර්මාපකයා.

    කතා කරන්න බොහෝ දේ හිතට එනවා. හේනක් ගිය දුර…..

    Liked by 1 person

    1. උපාලි ධනවලවිතාන සහ ඔගස්ටස් විනයාගරත්නම් යන දෙදෙනා ම අතිවිශිෂ්ට ගීත රචකයෝ ය. ඉදිරියේ දී ඔවුන් පිළිබඳ ලිවිය යුතු ය.

      අප ඇලුම් කළ ගායකගායිකා පරපුරක් ම ජනප්‍රිය කරවන්නට ඔගස්ටස් විනයාගරත්නම්ගේ ගී පද හේතු විණි. ඔගස්ටස් ලියූ ගීත අතරින් මා මෙහි සඳහන් කරන්නේ වර්තමානයේ නිතොර නොඇසෙන ගීතයකි. සරත් දසනායකගේ සංගීතයට මේ ගීය ගයන්නී ඇන්ජලින් ය:

      “මා එදා දෑසින් සනහා
      ඔබ දුන් කැල්මන් සිත රැඳුනා
      අද එනව යි ඔබ දිවුරා ගියා

      මන් දැන් ඉන්නේ ආශා ගීතේ කොඳුරා
      රන් වන් රන් රේඛා මැද සිහිනේ සඟවා
      වාසනා මල් නෙළා”

      උපාලි ද එසේ ම ය. විජය අප හැර ගිය පසු “රූස්ස ගහ ළඟ” නමින් ගීත හතරක් පමණ ඇතුළත් වූ විශේෂ කැසට් පටයක් නිකුත් වුණු බව හිතවත් අරුණට මතක ඇති. එම කැසට් පටයේ ආරම්භයේ දී විජය පිළිබඳ සංවේගජනක හැඳින්වීමක් කෙරෙයි. “විජය කුමාරණතුංග සුමිතුරාණෙනි …… ඔබ අප හැර නො ගිය බව පවසමි” ආකාර වදන් පෙළක් එම හැඳින්වීමේ මුසු ව තිබිණි. එම වදන් පැවසෙන හඬ උපාලිගේ විය යුතු ය. මේ මෙහොතේ එම කරුණ තහවුරු කර ගැනීමට අදාළ හඩ පටය සොයා ගැනීමට නොහැකි විණි. පසු ව යම් වෙනසක් වුව හොත් මෙහි නිවැරදි කරන්නෙමි. මා සතු ව එම කැසට් පටයක් තිබිණි. එය මගේ ලංකාවේ නිවසේ කොහේ හෝ තිබිය යුතු ය. මම උපාලිගේ වදන් පෙළ ද සමඟ එම ගීතය පසු කලෙක පරිගණකයට ගත්තෙමි. එම දත්ත ගබඩාව මා සතු ව මෙහි තිබේ. එය සොයා The Public Sphere Channel හි පළ කරන්නට යැවිය යුතු ය (අප ලියන කරුණුවල නිරවද්‍යභාවය ඉතා වැදගත් ය. සංශය ඇති තැන්වල මා එබව විශේෂ කර පවසන්නේ එනිසා ය. එය ශාස්ත්‍රීය චර්යාවකි. අප ලියන දෙයින් අන්‍යයන් යම් දෙයක් ඉගෙන ගන්නා නිසා ලිවීම වගකීම් සහගත කාර්යයකි. වරදක් සිදු වූ විට එය නිවැරදි කරන්නට මැළි නො විය යුත්තේ, ලැජ්ජා නො විය යුත්තේ එනිසා ය. අදහස් – opinions පළ කිරීමේ දී නිදහස තිබේ. කරුණු – facts නම් නිවැරදි විය යුතු ය).

      විජය අප හැර ගිය විට පෙර කී වදන් පැවසූ උපාලි, විජයගේ වියෝවෙන් වැඩි කලක් යන්නට පෙර අප හැර ගියේ ය. ඒ වන විට උපාලි සමසතළිස් වියටවත් එළඹ නොසිටියේ ය. දෛවය හරි පුදුම යි අරුණ.

      උපාලි ලියූ මිණිමුතු වන් ගීත නිධානයෙන් මා මෙම කෙටි සංවාදයට ගෙනෙන ගීතය සමහර විට උපාලි මුලින් ම ශ්‍රීමතීට කියන්නට ඇත; පසු ව ක්ලැරන්ස් ශීලාට කියන්නට ද ඇත. එතැන් සිට පරම්පරා ගණනක් මෙම පද තම ප්‍රේමණීය ලලනාවට කියන්නට ඇත. අරුණත් එසේ කියා ඇති බව මම සිතමි.

      “මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
      නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
      දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
      ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා”

      ධර්මසිරි ගමගේත් ඉතාමත් දක්ෂ ගීත රචකයෙකි. ධර්මසිරි ගමගේ පිළිබඳ නම් බොහෝ දේ ලිය වී, පළ වී ඇත. ඔහු බොහෝ නවකයනට අතහිත දුන් පුද්ගලයෙකි. මම ඊයේ ඔහු ලියූ, දේවානන්ද වෛද්‍යසේකර සහ ඉන්ද්‍රාණි පෙරේරා ගැයූ “පවන් සුසුම් දැලින් වෙළී – ශෘංගාර රාවේ නො සංගා” ගීයට යළි සවන් දුන්නෙමි. අතිමනරම් නො වේ ද? රවී සහ මානෙල් මෙම ගීයට අදාළ දර්ශනයේ රඟ පෑහ. එම විඩියෝ ව යූටියුබ්හි ඇත.

      “පවන් සුසුම් දැලින් වෙළී
      ශෘංගාර රාවේ නො සංගා
      නුවන් කොනින් සුපෙම් හැඟුම්
      නින්නාද නැං වූ තරංගා
      කුසුම් ළඳුන් බිඟුන් මුවින්
      අනුරාග ගී රාව නංවා
      ප්‍රසන්න වැව් තීරේ නැඟේ
      සංයෝග පෙම් ගී තරංගා”

      (මෙම ගීතවල පැරණි ම හඩ/විඩියෝ සබැඳි එක් කිරීම මම එම කාර්යයේ නිපුණ අරුණට පවරමි! තවත් දවසක මිග්නෝන් රත්නම් පිළිබඳ කතා කරන්නටමතක තබා ගනු මැනවි.)

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. ගායනය – දේවානන්ද වෛද්‍යසේකර, ඉන්ද්‍රාණි පෙරේරා
        සංගීතය – ඩබ්.ඩී. අමරදේව
        ගී පද – ධර්මසිරි ගමගේ
        තරංගා චිත්‍රපටියෙන්

        Like

      2. ඉන්ද්‍රාණි පෙරේරා මොන තරම් දක්ෂ ගායිකාවක්ද සහ දේවානන්ද, නාරද වගේ අය ගැන ලියන්න කියලා මම හදවතින්ම හෝ බොක්කෙන්ම ඉල්ලා සිටිනවා. තව අය බොහෝමයි. යන ගමන් මතක් කරමු.

        Like

      3. අරුණ පෙරේරාණෙනි,

        ඉන්ද්‍රාණි හොඳ ම ගියිකාවකි. කණ්ඩායම් සංගීතය ප්‍රචලිත වන්නට වූ කල ඇය ආවශ්‍යයික ම ගායිකාවකි. හැත්තෑව දශකය යනු මහ පුදුම කාලයකි. එම කාලයේ කලාවේ සෑම ක්ෂේත්‍රයක ම මහා පිබිදීමක් ඇති විණි.

        “නෙත් යුග රන් තරු යුවළ තම යි
        තොල් පෙති නා දලුවලට සම යි
        මගෙ හද ඔබෙ සුව යහන තම යි
        ඔබ සොයනා කළු කෙල්ල මම යි
        ඔබ සොයනා කළු කෙල්ල මම යි”

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Like

    1. Dear Pra Jay,

      Full many a thank for your interesting question. It is an interesting question in deed and it deserves a proper explanation. Therefore, I have already written an article regarding your question and forwarded it to The Public Sphere. It will be published soon. I invite you to read the following summary until the article proper is published. The following summary of my explanation is based on my modest knowledge in linguistics, which I am glad to share with you and the others in my readership.

      1. Definition

      The definition of chena as detailed in the Merriam-Webster Dictionary i.e. “an area of virgin or secondary timberland in a tropical region cleared and cultivated for only a few years and then abandoned” is not wrong at all. In fact, it provides us the basic understanding of what is being done at chena. However, as we would expect in a dictionary, it is a general description in a lexical context. I have discussed more specific accounts from the colonial era literature in the article proper.

      2. Etymology

      I presume that Pra Jay was probably querying about the fidelity of the etymology of the word chena (i.e. Information about the origin of the word chena as well as from which language the word chena was loaned or adapted into English) as mentioned in Merriam-Webster Dictionary. Etymology in any language is a subject of disputes. There are many different thoughts, sometimes developing into different schools of thoughts, regarding the etymology of even the well documented words loaned or adapted into English from Greek, Latin, French etc.

      We shall raise two questions regarding the etymology of the word chena based on the facts detailed in the article proper (which will be published here soon):

      1. Is the English word chena related etymologically to the Sinhala word hena?

      2. Is the English word chena related etymologically to the Sanskrit word cīna (and its derivatives viz. cīnaka and cīṇaka) or the Hindi word cenā?

      We shall arrive at a conclusion that it should be the Sinhala word hena that cognates well with the English word chena as long as the meaning is concerned, on the basis of rationality. It will be a very distant arrival to acknowledge the Sanskrit words cīna, cīnaka and cīṇaka to cognate with chena, as they have only one fitting meaning i.e. fennel (මහදුරු) to claim any sort of relevance. The Hindi word cenā is not much different to the Sanskrit words either, as it has only one fitting meaning i.e. common millet (වල් මිනේරි) to claim any sort of relevance.

      However, in etymologically oriented diachronic analysis of linguistic matters, the rationality itself is not the sole virtue. The rationality per se may be a temptation. Etymology relies more on historical discourse and evolution, so that a word with a totally unrelated root could sometimes give origin to a new word with a new meaning. Thus, it is important to research into the earliest mentioning of a particular word, which is subjected to analysis.

      I have done it to a certain extent in my article proper regarding your question. My opinion is that the chena is etymologically more related to hena than any other Sanskrit or Hindi words depicted in The Merriam-Webster Dictionary. That is my opinion and I am not the only person who entertains such an opinion. At the same time, I acknowledge the existence of different thoughts by a few others. They are entitled to their opinion as much I am entitled to mine.

      Please go through my article proper when it is published here. I will let you know when it is published, via my sincere friend, the Rt. Hon. Sarasa! Thank you very much for asking a very thoughtful and interesting question.

      Bandula Kudalagama,
      Southampton.

      Like

  5. Dear Dr. Kudalagama,

    Thank you very much for the detailed and analytical reply. I agree with you that the English word Chena is more likely to have been derived from Sinhala Hena than Hindi Cena. But, isn’t it also likely that our assumption is based primarily on writings of colonial era Ceylon ?
    I, for one, have not read much about what Europeans have written about India of that era, with the notable exception of Corbett. However, I have read a fair bit of colonial writings on our country and Chena/Hena feature quite frequently in them. You, on the other hand, would have read much more. But, is there a chance, albeit remote, that your assumption is based on your better knowledge of “Ceylon writing” compared to “Indian writing”? What are the chances that English Chena originally came from Indian Cena? Is (or was during British times) the term Cena as widely used in India as our Hena is/was in SL?

    Also, is our Chena derived from the Sanskrit root or a later adaptation from Hindi Cena? What is the Tamil word? There are quite a few Sinhala rural/agricultural words with Tamil origins I believe.

    Once again I thank you for letting me indulge in one of my favourite pastimes – amateur analysis of etymology.

    P.S. Since you are quite learned on the subject can I ask something I have been waiting to ask someone like you?
    Do you think our word for father, “Thaththa”, came from Indo-European roots (Latin, Sanskrit etc.)? I read in the glossary (which runs to nearly 100 pages!) of one of Colleen McCullough novels that “Tata” was an affectionate term for father among Romans. I Also, the Spanish word for ‘Dad” is “Tata”. With the Latin roots of Spanish It obviously came from Latin.

    So, where did we get it from? Indo-European (Aryan) roots (Latin/Sanskrit) or later from the Portuguese? Although, Portuguese and Spanish languages are fairly close and Portugal came under Spanish rule/influence/kings during 16th century, I can’t find out whether Portuguese word for Dad too was Tata.
    So, can I interest you in the research of “Thaththa” ?

    Like

    1. Dear Pra Jay,

      Thank you so much for your kind words. It is a pleasure to meet someone who is interested in these not-so-demanding topics!

      I do agree with your proposition that we need extensive research into other languages before claiming etymological rights for certain words, a task dealt in the realm of comparative linguistics. Most of the things you asked about chena are in my article proper, which has been already published. You may go through it when you have some free time.

      Let me bring your attention to a few salient points regarding the word තාත්තා (tāttā). The etymology of tāttā is related to the Dravidian Family, which is a very smaller family of languages than the Indo-European family. The relevant Proto-Dravidian root, which is shared by many Dravidian languages such as Tamil, Telugu, Malayalam etc. is tāt- (තාත්-). Now, let us see how the Proto-Dravidian root tāt- is used to derive the words in several Dravidian languages:

      Tamil – tāt- (තාත්-) > tāttā (තාත්තා) > tâtā (තාතා) > tantai (~තන්තෛ)
      Telugu – tāt- (තාත්-) > tâta (තාත) > taṃḍri (~තංඩ්‍රි)
      Malayalam – tāt- (තාත්-) > tātan (තාතන්) > taṃḍa (~තංඩ)

      Remember that Sinhala is not a Dravidian language but an Indo-European language. The Indo-European family consists of many sub-families such as Indo-Aryan (Sanskrit, Pāli, Sinhala, Hindi, Bengali, Gujarati etc.), Germanic (English, German, Dutch etc.), Hellenic (Greek), Italic (Latin, Romance – including Spanish, Portuguese) etc.

      Let me show you how the relevant words for father are derived in the Indo-European languages that you have mentioned in your question:

      The relevant Proto-Indo-European root, which is shared by Indo-Aryan, Germanic and Italic subfamilies is pətēr-. It changes its form slightly as it enters each subfamily viz. Indo-Aryan: pi- (පි-), Germanic: fadḗr- (~~ෆදිර්-) and Italic: pater (~පාතර්-).

      Indo-Aryan – pətēr > pi- (පි-)
      1. Sanskrit – pi- (පි-) > pitṛ (පිතෘ)
      2. Pāli- pi- (පි-) > pitar/pitā (පිතර්/පිතා) – tā is stressed and r is shortened
      3. Sinhala – pi- (පි-) > piyā (පියා)
      4. Hindi – pi- (පි-) > pitā (පිතා)
      5. Bengali – pi- (පි-) > pita (~පිත) – ta is stressed more than ta (ත) but less than tā (තා)
      6. Gujarati – pi- (පි-) > pita (~පිත) – ta is stressed more than ta (ත) but less than tā (තා)

      Germanic – pətēr > fadḗr-
      1. English – fadḗr- > father (~ෆාද) – fa very stressed and r is almost silent (RP)
      2. German – fadḗr- > Vater (~ෆාටර්) – Va stressed and r shortened
      3. Dutch – fadḗr- > vader (~ෆාදර්) – va stressed and r lengthened

      Italic – pətēr > pater- (~පාතර්-)
      1. Latin – pater- > pater (~පාතර්) – pa and te stressed and r is lengthened
      2. Spanish – pater- > padre (~පද්‍රි) – dre stressed and pa shortened
      3. Portuguese – pater- > pai (~පායි) – pa is stressed more than pa (ප) but less than pā (පා)

      Some linguists believe that the Indo-European root pətēr changed to the pā- (පා-) in addition to pi- (පි-) as it found its place in the Indo-Aryan languages particularly Sanskrit.

      The origin of the words Dada, Papa, Dad and Pa are considered universal as they are the earliest bi-syllable and mono-syllable words that a child starts to voice in the development of speech (apart from ma and mama). One or more of those words can be found in Latin, French, Greek as well for the same meanings.

      We should also remember that different languages belonging to different families can share some words as they are used in common communities; for an instance the word tāta (තාත), which belongs to the Dravidian family is also used in the Indo-Ayran language Pāli for the same meaning (Pāli-English Dictionary by Rhys Davids).

      I hope this discussion will resolve some of the obscurities in Pra Jay’s mind regarding the etymology of certain words related to father. If that is the case, I shall be pleased.

      Bandula Kudalagama,
      Southampton.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s