SAITM ගැටලුව යනු අධිකරණයකින් විසඳිය යුතු, විසදිය හැකි ගැටලුවක් නො වේ.

“SAITM ආලෝපනය කරනු” යැ යි පවසන පිරිස “පෞද්ගලික දේපළ ආලෝපනය කරනු” යැ යි ද පවසත් ද?

පසුගිය සමයේ සිංහල වියුණු ලොව ප්‍රමුඛ මාතෘකාව බවට පත් ව සිටියේ සිංහල සිනමාවේ ස්වර්ණ තාරකාව වූ ස්වර්ණා මල්ලවආරච්චි ය. ඇය පිළිබඳ ලියවුණු බොහෝ වියුණු සටහන් මම කියවීමි. ස්වර්ණා පිළිබඳ ප්‍රමුඛ කතිකාව අවසන් වූ පසු ඇය පිළිබඳ සටහනක් තබන්න යැ යි පොදුජන ක්ෂේත්‍ර සංස්කාරක මණ්ඩලය ඉල්ලීමක් කර තිබිණි. පොදුජන ක්ෂේත්‍රයේ පළ වන ලිපි බොහෝමයකට පාදක වන්නේ වියුණු ලොව තත්කාලීන මාතෘකා බව එහි පාඨකයෝ දනිති. මා මගේ ලිපියට පාදක කර ගත්තේ සිංහල වියුණු ලොව ප්‍රමුඛ හා පුරෝගාමී වියුණුකරුවා වන මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ සහ අව්‍යාජ විචාරකයකු ලෙස මට හැඟෙන C-U-L-T වියුණුව ලියන චින්තන ධර්මදාස යන අය ස්වර්ණා මල්ලවආරච්චි පිළිබඳ ලියූ අගනා වියුණුසටහන් ය.” 

ඉහත සඳහන් වූයේ මා ලියමින් සිටි ලිපියක ආරම්භක ඡේදය ය. එහෙත් මෙම ලිපිය ස්වර්ණා පිළිබඳ නො වේ. මෙම ලිපිය ලියනු ලබන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කිසියම් කාලීන සිදුවීමක් පිළිබඳ ය. ස්වර්ණා සර්වකාලීන නිසා ඇය පිළිබඳ ඕනෑ ම දවසක ලිවිය හැකි ය. එනිසා ස්වර්ණා පිළිබඳ ලිපිය පසු ව පළ කරන්නෙමි. මෙම ලිපිය ලියන්නට හේතු වූයේ ද ‍ඉහත සඳහන් වූ වියුණුකරුවන් දෙදෙනාගේ ම වියුණු සටහන් ය. එය අහඹුවක් බව විශේෂ කර පවසමි. ඉහත උපුටනය සඳහන් කළේ ද එබව පවසන්නට ම ය. 

ටිල්වින් සහෝදරයා සාවධාන ව 

ලංකාවේ උසස් අධ්‍යාපනය රාජ්‍ය අංශය විසින් ම සංවිධානය කර පවත්වා ගත යුතු බව පෞරාණික අදහසකි. ඒ සඳහා ඉදිරිපත් වන තර්ක-විතර්ක ද පෞරාණික ය. ඒවා විටින් විට රමණීය විය හැකි ය. එහෙත් ඒවා නො ව පැරණිය නම් නො වන්නේ ය. ලංකාවේ උසස් අධ්‍යාපනය වර්තමානය වන විට රාජ්‍ය අංශයේ ඒකාධිකාරයෙන් මිදී පෞද්ගලික අංශයේ ග්‍රහණයට නතු ව ඇති බව පවතින යථාර්ථය ය. අවම සුදුසුකම් ලද සැමට උසස් අධ්‍යාපන අවස්ථා සපයා දීමට රාජ්‍ය අංශයට පමණක් හැකි නම් ගැටලුවක් නැත. එහෙත් එසේ කරන්නට නො හැකි වී තිබේ. “අනාගතයේ යම් දවසක මාර්ක්ස්වාදය මත පදනම් වූ සමාජවාදී රාජ්‍යයක දී උසස් අධ්‍යාපනය සඳහා සැමට සමාන අවස්ථා සලසා දෙන්නෙමු” වැනි අනාගතවාදී ප්‍රකාශනවලින් අපට ප්‍රයෝජනයක් නැත. ඒ අනාගත සාරසමාජය පෙනෙන තෙක් මානයක නොමැත. අපගේ හිතාදර ධීරානන්ද ගුණහේරත් සහෝදරයා තමන්ගේ භාෂා විස්කමින් ඔපවත් කර නිතොර පවසන ඒ අනාගත සාරසමාජය ප්‍රාදුර්භූත වූ සමයක අපි පෞද්ගලික අංශය මුලිනුපුටා දමා, පෞද්ගලික දේපළ ආලෝපනය කර, ඒ ඒ වෘත්තීන්ගේ ඛ්‍යාම ප්‍රභා මණ්ඩල සුරුකෙන  පන්ති රහිත සමාජයක සාමයෙන් සතුටින් ජීවත් වෙමු. එම අසිරිමත් දවස එළඹෙන තුරු පරම්පරා කීපයක් අප බලා සිටිය යුතු ද? එම අසිරිමත් දවස එළඹෙන තෙක් අප දැනට පවතින ක්‍රමය තුළ රාජ්‍ය අංශය ද පෞද්ගලික අංශය ද සමෝධානය කර අධ්‍යාපනය සඳහා අවස්ථා වැඩි කර දීම ප්‍රතිගාමීත්වයක් ද? මා මෙකී කරුණු පිළිබඳ මින් පෙර දීර්ඝ ව සාකච්ඡා කර ඇත. 

ලංකාවේ අනෙකුත් සෑම විෂයකට ම අදාළ ව පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා නිර්මාණය වී තිබිය දී වෛද්‍ය විද්‍යාව පමණක් එසේ නො විය යුතු යැ යි පැවසීම තාර්කික නැත. වෛද්‍ය විද්‍යාව මනුෂ්‍ය ජීවිත පිළිබඳ වැදගත් විෂයක් නිසා එය රාජ්‍ය අංශය විසින් ම පවත්වා ගත යුතු යැ යි කීම ආදි කල්පික තර්කයකි. ඉංජිනේරුවකු විසින් නිර්මාණය කෙරෙන ඉදිකිරීමක් මනුෂ්‍ය ජීවිතයට බලපාන්නේ නැති ද? ගුරුවරයකුගේ ඉගැන්වීම මනුෂ්‍ය ජීවිතයට බලපාන්නේ නැති ද? වෛද්‍ය විද්‍යාව සේ ම අනෙකුත් විෂයයන් ද මනුෂ්‍ය ජීවිතය පිළිබඳ වැදගත් විෂය වේ. චින්තා මේ පිළිබඳ වැදගත් අදහස් කීපයක් තම ලිපියේ දක්වා ඇත. එම ලිපිය කියවා බැලීමට මම මගේ පාඨකයනට යෝජනා කරමි. 

වෛද්‍ය අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් කළ අතීත අරගලයක මතක සටහනක්

SAITM (South Asian Institute of Technology and Medicine) යනු වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය මැදිහත් වීමේ එක ම අවස්ථාව නො වේ. එම ආයතනයට පෙර ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය කීප වතාවක් මැදිහත් ව ඇත. එංගලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය මැදිහත් වීම ආරම්භ වුණු යුගයට ආසන්න කාලයේ දී ලංකාවේ ද ඒ සදහා උනන්දුවක් ඇති විණි. රාගම පිහිට වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එවැන්නකි. එහි උගත් අවසාන වසරේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ එවකට ඉල්ලීම පිළිබඳ ගැටලු පැවතිය ද එම ගැටලුවලට විසඳුමක් ලෙස අප විසින් එම වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගනු ලැබීම නො කළ යුතු ව තිබිණි. එම රජයට පවරා ගැනීමේ අදූරදර්ශී ක්‍රියාව නිසා ලංකාවේ පෞද්ගලික අංශය මූලික වූ වෛද්‍ය අධ්‍යාපනය ක්‍රමයෙන් වර්ධනය වීමට තිබූ අවස්ථාව මඟ හැරිණි. අප වර්තමානයේ කරමින් සිටින්නේ මීට දශක තුනහතරකට පෙර කළ යුතු ව තිබූ දේ ය. එදා එම අදූරදර්ශි තීරණය නො ගත්තේ නම් වර්තමානය වන විට උසස් ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යායතනයක් අප සතු වන්නට බොහෝ සේ ඉඩ තිබිණි. 

කවර අධ්‍යාපන ආයතනයක වුව ආරම්භයේ දී ලුහුඬුකම් රැසකි. එම ලුහුඬුකම් අවම වී උසස් ප්‍රමිතියක් ඇති වන්නට යම් කාලයක් ගත වේ. රෝමය එක් දිනකින් තැනුණේ නැත. 1870 දී LMS ඩිප්ලොමාව ප්‍රදානය කෙරෙන වෛද්‍ය විද්‍යාලයක් ලෙස ඇරඹි කොළඹ වෛද්‍ය විද්‍යාලය වර්තමානයේ පවතින උසස් තත්ත්වයට පත් වූයේ එක් දිනකින් නො වේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලෙස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ SAITM ඇරඹෙන කල පමණක් නො ව රාජ්‍ය වෛද්‍ය පීඨ ලෙස ම ජයවර්ධනපුර සහ කරාපිටිය ඇරඹෙන කල ද ඇතමෙක් එම වෛද්‍ය අධ්‍යාපන ආයතනවල ලුහුඬුකම් පවසමින් ප්‍රමිතිය ප්‍රශ්න කළහ. එහෙත් දශක ගණනක් ගත වී වර්තමානයේ දී එම පීඨ පිළිබඳ එවැනි ප්‍රශ්න නො නැඟේ. සමහරකු එලෙස ප්‍රශ්න නඟතත් කිසිවෙක් ඒවා වැදගත් ‍ප්‍රශ්න ලෙස නො සලකති. එයට හේතුව එම පිඨ පසුගිය කාලයේ ලබා ඇති වර්ධනය ය.

වෛද්‍ය සභාව විසින් SAITM අනුමත නො කරනු ලැබීමෙන් නිදහස් අධ්‍යාපනය සුරැකේ ද?

SAITM පිළිබඳ ගැටලු පවතී. ඒ බව අප පිළිගත යුතු ය. එහෙත් එම ගැටලුවලට විසඳුම එම ආයතනය වසා දැමීම හෝ රජයට පවරා ගැනීම හෝ නො වේ. එම ආයතනයේ ප්‍රමිතිය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය සහය සහ යාමනය ආරම්භයේ දී රජයේ මැදිගත් වීමෙන් සැපයිය යුතු ය. එහි උගනින දරුවනට සායනික පුහුණුව ලැබීමට පහසුකම් සැපයීමට විරුද්ධ වීම සාධාරණ නැත. සායනික පුහුණුව වෛද්‍ය පාඨමාලාවක අත්‍යවශ්‍ය අංගයකි. රජය සහ SAITM විරෝධි කණ්ඩායම් කළ යුතු ව ඇත්තේ එම ආයතනයට අනුබද්ධ සායනික පුහුණු රෝහලේ ඇඳන් ගණන පිළිබඳ තර්ක-විතර්ක කරමින් කාලය අපතේ යැවීම නො වේ. රාජ්‍ය වෛද්‍ය පීඨවල ශිෂ්‍යශිෂ්‍යාවනට බාධාවක් නො වන සේ SAITM ශිෂ්‍යශිෂ්‍යාවනට ද රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ සායනික පුහුණුව සඳහා අවස්ථාව සලසා දීම ය. SAITM වසා දැමීම අරමුණු කර ගත් විට එවැනි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු නො වේ. විදේශ ශිෂ්‍යශිෂ්‍යාවන් ලංකාවට පැමිණ කෙටි කාලීන ව මෙරට ප්‍රධාන රෝහල්වල සායනික පුහුණුව ලබන විට ද විදේශ සරසවිවල උගනින,  තමන්ගේ හිතවතුන්ගේ දරුවන් නිවාඩුවට ලංකාවට පැමිණ රජයේ රෝහල්වල සායනික පුහුණුවක් ලබන විට ද SAITM විරෝධීහු ඉතා සංයමයකින් කටයුතු කරති. ERPM (පෙර කල Act 16 විභාගය) අපේක්ෂකයනට මෙරට විශේෂඥ වෛද්‍යවරු සේවා කාලයෙන් පසු ව උගන්වන විට එයට විරෝධය පාන ඇතැම් SAITM විරෝධීන් පෙර පැවසූ විදේශ සරසවි ශිෂ්‍යයනට මහත් උවමනාවෙන් උගන්වනු අයුරු ද තම කනිෂ්ඨ වෛද්‍යවරුනට එම කාර්යභාරය පවරන අයුරු ද දැක ගත හැකි ය! 

SAITM නිසි රාජ්‍ය යාමනයකින් යුක්ත ව වැඩි දියුණු කිරීමෙන් ඉන්දියාවට, බංගලිදේශයට, චීනයට, රුසියාවට හෝ පැරණි සෝවියට් දේශයෙන් බිඳී ගිය නැඟෙනහිර යුරෝපා රටවලට හෝ ගොස්, අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන වෛද්‍ය උපාධිධාරීනට වඩා කාර්යක්ෂම සහ නිපුණ ලෙස මෙරට සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරන්නට හැකි වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් බිහි කර ගත හැකි ය. හඳට රොකට් යැවු රටවලින් වුව අපේ දරුවන් ලබා එන වෛද්‍ය අධ්‍යාපනයේ තරම දන්නේ එම වෛද්‍ය උපාධිධාරීන් සමඟ වැඩ කළ සහ කරන, එම උපාධිධාරීන් පුහුණු කළ සහ කරන අය මිස ෆේස්බුක්හි හෝ වියුණුවල හෝ කටින් බතල කොළ සිට වන ගොබ්බයන් නො වන බව ද පැවසිය යුතු ය. කයිවාරුකාර ගොබ්බයනට වඩා ඉන්දියාවට, බංගලිදේශයට, චීනයට, රුසියාවට හෝ පැරණි සෝවියට් දේශයෙන් බිඳී ගිය නැඟෙනහිර යුරෝපා රටවලට හෝ ගොස්, අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන වෛද්‍ය උපාධිධාරීන් නිහතමානී බව නම් පැවසිය යුතු ම ය. ඔවුනට යමක් ඉගෙන ගැනීමට විශාල උවමනාවක් තිබේ. අප එවැනි දරුවන්ගේ ලුහුඬුකම් නැති කර ගැනීමට සහය විය යුත්තේ මෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඵලදායි දායකත්වයක් දැක්වීමට ඔවුනට ආකල්ප සහ කුසලතා වශයෙන් විභවතාවන් ඇති නිසා ය. ලංකාවේ රාජ්‍ය වෛද්‍ය පීඨවලින් පවා වෛද්‍ය වෘත්තියට සුදුසු ආකල්ප සහ කුසලතා නැති වෛද්‍යවරුන් බිහි වන බව අප පිළිගත යුතු ය. 

ඇතැම් ප්‍රශ්නවලට විසඳුම අධිකරණ තීන්දු නො වේ.

SAITM ආරම්භ වූයේ අද-ඊයේ නො වේ. එය ආරම්භ වූයේ හොර රහසේ ද නො වේ. එම ආයතනයේ වෛද්‍ය පාඨමාලාව හදාරා නිම කළ ශිෂ්‍යශිෂ්‍යාවන් වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අයදුම් කරන තෙක් නිදා සිට SAITM විරෝධීහු අවදි වී සිටිති. කොතලාවල ආරක්ෂක පීඨයට වෛද්‍ය උපාධි ප්‍රදානය කිරීමේ වරය හිමි වන විට නිද්‍රෝපගත වූවෝ යළි කිසි ම දිනක අවදි නො වූහ. නජිත් ඉන්දික වරක් එලෙස නිද්‍රෝපගත වූවන් අවදි කරවන්නට ප්‍රසිද්ධ සංවාදයක දී අප්‍රමාණ වෙහෙසක් දරනු මම දුටුවෙමි. කිසිවෙක් අවදි නො වූහ. අවදි කළ හැකි වන්නේ සත්‍ය ලෙස නිදිවැදියවුන් ය. ‍බොරුවට නිදා සිටිනවුන් අවදි කළ නො හැකි ය. SAITM වෛද්‍ය උපාධිධාරීනට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හිමි විය යුතු බව පසුගිය දිනක අභියාචනාධිකරණය විසින් නිගමනය කරනු ලැබිණ. ශිෂ්ට සමාජයක් වශයෙන් අප අධිකරණ තීන්දුවට ගෞරව කරමු. එනිසා එම අධිකරණ තීන්දුව විචාරණය කිරීම මෙම ලිපියේ අරමුණක් නො වන බව අවධාරණය කරමි. එම අධිකරණ තීන්දුව අන්තර්ජාලයේ පළ ව ඇත. පිටු 42 කින් සමන්විත එම තීන්දුව අධ්‍යයනය කිරීම SAITM අර්බුදය පිළිබඳ උනන්දු පාඨකයනට නිසි ය. කොතලාවල ආරක්ෂක පීඨය පිළිබඳ ව්‍යාජ නින්දකට වැටුණු අයට ද ශෙරිෆ් වාර්තාව නො සලකා හැරි අයට ද මෙම අධිකරණ තීන්දුවෙන් කන පොපියන්නට කනේපහරක් එල්ල වී ඇත. ශෙරිෆ් වාර්තාව අධ්‍යයනය කරන්නැ යි නෙවිල් ඩී. පෙරේරා පුන පුනා ආයාචනය කරන විට නෙවිල්ට සෝපහාස කළ අයකුගේ මුහුණ දැන් මුකුලිත වී ඇති අයුරු මට මැවී පෙනේ!

මෙම SAITM ගැටලුව අධිකරණ තීන්දුවකින් විසඳා ගත යුතු, විසඳා ගත හැකි ගැටලුවක් නො වේ. මෙම ගැටලුව විසඳා ගත යුතු වන්නේ ද විසඳා ගත හැකි වන්නේ ද ප්‍රතිපත්තිමය තීන්දුවලිනි. ප්‍රතිපත්තිමය තීරණ අධිකරණය විසින් ගනු ලැබීම ශෝචනීය තත්ත්වයකි.  අධිකරණ තීන්දුවක් මත පමණක් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කර වීමෙන් SAITM ගැටලුව නො විසඳේ. මෙම දරුවන් ඉදිරියේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක සහ භාවිතමය බොහෝ දේ ඉගෙන ගත යුතු ය. එය ඔවුනට තනි ව කළ නො හැකි ය. ඒ සදහා සහය දීම දැනට වෛද්‍ය වෘත්තියේ යෙදෙන ජ්‍යෙෂ්ඨයන්ගේ යුතුකමකි, වගකීමකි. එනිසා මෙම දෙපිරිස අතර සාකාච්ඡාමය, සම්මන්ත්‍රණමය එකඟතාවක් පැවතිය යුතු ම ය. අධිකරණ තීන්දුව ඒ සඳහා උපකාර නො වන්නේ පමණක් නො ව බාධාවක් ද වන්නේ ය. මෙම අධිකරණ තීන්දුව විසින් සයිටම්වාදීහු උද්දාමයට පත් කරනු ලැබූහ. ඔවුන් මෙම නෛතික වරය නිසා සම්මුතිවාදී විසදුමකින් අනාගතය සුරක්ෂිත කර ගැනීම පිළිබඳ විශ්වාසය බිඳ දමා ගෙන ඇති බව ඇතැම් අදහස් දැක්වීම්වලින් පෙනේ. එය සාධනීය ප්‍රවණතාවක් නො වේ. මෙම අධිකරණ තීන්දුව විසින් සයිටම් විරෝධීන්ගේ විරෝධය තවත් වැඩි කරවනු ලබන බව ද පෙනේ. එය ද සාධනීය ප්‍රවණතාවක් නො වේ. ඉදිරියේ දී දීපව්‍යාප්ත දැඩි ක්‍රියාමාර්ග කරා යොමු වන බව වෛද්‍ය වෘත්තීය සමිතියක් පවසා ඇත. ඔය කියනා ක්‍රියාමාර්ග පිළිබඳ අපි හොඳින් දනිමු. එවැනි ක්‍රියාමාර්ගවලින් නව ජීවයක් ලබා අසූව දශකයේ අතීත ඛේදාන්තයන් පුනර්කරණය කිරීමට බලා සිටින පිරිසක් ද සිටිති. ඔවුන් වටහා ගත යුතු ‍වන්නේ අතීතය පුනර්කරණය වන විට පළමු ව එය ඛේදාන්තයක් වන බවත් දෙවනු ව එය විගඩමක් වන බවත් ය. එසේ පැවසුවේ ද ඒ අයගේ ම ශාස්තෘවරයා ය. ලංකාවේ ඉදිරියේ දී සිදු විය හැකි එවන් මාහැඟි විගඩම්වල ලේඛනයක් අපගේ හිතාදර මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මනබඳනා භාෂාවකින් ලියා තිබිණි. එම ලේඛනය කියවා බැලීමට මම මගේ පාඨකයනට යෝජනා කරමි. 

කවරකු බලයට පැමිණිය ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ගැටලුව නො සලකා සිටිය නො හැකි ය.

SAITM අර්බුදය යනු එම ආයතනය පිළිබඳ අර්බුදයක් පමණක් නො වේ. එය ලංකාවේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් බවට පත් කරවීමේ සමකාලීන අරගලයේ එක් අවස්ථාවක් ද වේ. මහා කතිකාව වන්නේ නිදහස් අධ්‍යාපනය යන්න අරුත් ගැන්වෙන ආකාරය සහ එය ප්‍රායෝගික ව යොදා ගන්නා ආකාරය ය. නිදහස් අධ්‍යාපනය යනු නොමිලයේ අධ්‍යාපනය ලබා දීම නො ව අධ්‍යාපනය වඩාත් පුළුල් ව සෑම දෙනකුට ම ලැබෙන සේ අධ්‍යාපනයට ඇති අවස්ථා වැඩි කිරීම ය; එම සද්කාර්යයට එරෙහි බාධකවලින් අධ්‍යාපනය නිදහස් කිරීම ය. එම අරමුණ සාක්ෂාක් කර ගන්නට රාජ්‍ය අංශය පමණක් නො ව පෞද්ගලික අංශය ද අත්‍යවශ්‍ය ය. අපට තෝරා ගැනීමට සිදු ව ඇත්තේ අධ්‍යාපනය යනු රාජ්‍ය අංශය විසින් ම සපයා දිය යුත්තක් ද නැත හොත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙන් ම සපයා දිය යුත්තක් ද යන්න ය. මෙය රටක ප්‍රතිපත්තිමය තීරණයකි. සයිටම් විරෝධීන් මේ මොහොතේ දී බලයේ සිටින ආණ්ඩුවට එරෙහි ව උද්ඝෝෂණය කරන නිසා ආණ්ඩු බලය ලබා ගැනීමට බලා සිටින කණ්ඩායම් සයිටම් විරෝධීන් සමඟ අත්වැල් බැඳ ගැනීම අදූරදර්ශී ක්‍රියාවකි. මක් නිසා ද කවර පක්ෂයක් අනාගතයේ දී බලයට පත් වුව ද මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතු නිසාත් බලයට පත් වන කවර පක්ෂයකට වුව ද පෞද්ගලික අංශය නො සලකා කටයුතු කළ නො හැකි නිසාත් ය (කෙදිනකවත් බලයට පත් නො වන ආනාගතවාදී පක්ෂවලට මෙම ප්‍රශ්නයට වාස්තවික ව මුහුණ දීමට සිදු නො වේ. එනිසා ඔවුනට ඕනෑ ම දෙයක් පැවසිය හැකි ය). 

මා පෙනී සිටින්නේ පෞද්ගලික අංශය සහභාගී කර ගෙන අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට ය. SAITM යනු එහි එක් අවස්ථාවක් පමණි. මා SAITM නිසි යාමනයක් සහිත ව පවත්වා ගෙන යා යුතු බව විශ්වාස කරන්නේ එනිසා ය. ලුහුඬුකම්වලට ප්‍රතිකර්ම කිරීමට ඔවුනට සහය දීම අපගේ යුතුකම පමණක් නො ව වගකීම ද වේ. SAITM හි උගනින්නේ ද අපේ රටේ දරුවන් ම ය. SAITM හි උගත් තිළිණි දිසානායක දියණිය පවසන මෙම කතාවට ද අප සංවේදී විය යුතු නො වේ ද? 

මා මගේ පෙර ලිපියක් අවසන් කළ ඡේදයකින් ම මෙම ලිපිය ද අවසන් කරමි: 

උසස් අධ්‍යාපනය නිදහස් විය හැකි ය. එහෙත් එය කෙදිනකවත් නොමිලේ ලැබුණේ නැත. කන්නන්ගරයන්ගේ නිදහස්  අධ්‍යාපනය යනු නොමිලේ ලැබුණු දෙයක් නො වේ. අප නොමිලේ ලැබුණේ යැයි සිතන බොහෝ දේ සඳහා අපගේ අනෙකා ගෙවීම කර ඇත. ඔබ ද මා ද බාලාංශයේ සිට ආචාර්ය උපාධිය දක්වා ලැබූ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ වැඩ කරන ජනතාව අඩුපාඩු නැති ව ගෙවා ඇත. අප ඉගෙන ගෙන ඒ වෙනුවෙන් රටට සේවය කළා යැ යි පවසා ලිස්සා යන්නට අපට නො හැකි ය. අපට ඉගෙන ගන්නට වියදම් කළ වැඩ කරන ජනතාව ම අප ඉගෙන ගෙන කළ ඊනියා සේවයට ද මාසික ව ලක්ෂ ගණනින් ගෙවා ඇත. තව දුරටත් මෙම ක්‍රමය ඉදිරියට යා යුතු නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු සේ ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ද ගාස්තු අය කරන ක්‍රමයක් ඇති කළ යුතු ය. රජය කළ යුත්තේ නිශ්චිත කාලයක් තුළ නැවත ගෙවන පදනම මත උසස් අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබා දීම වැනි කාර්ය ය. එසේ වූ කල ලිප්ටන් වටරවුමේත් වෝර්ඩ් පෙදෙසේත් පිස්සු කෙළිමින් වසර ගණනක් සරසවිවලට වී උපාධිය සම්පූර්ණ නො කරන දරුවන් තමන් කළ යුතු සැබෑ කාර්යය කුමක් ද යන්න සිතා බලනු ඇත.

අවම සුදුසුකම් සපුරා ඇති සියල්ලනට ම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලැබේවා!“ 

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s