කාව්‍යයක් නිසා සිත්තම් කලාව පිළිබඳ කතිකාවක්

අමිත් භාර් (Amit Bhar) ස්ත්‍රී ලාලිත්‍යය සිත්තම් කළ ආකාර කීපයක්

මා හිතවත් මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුන් අතිසංකීර්ණ භාෂාවකින් අතිසම්භාව්‍ය කාව්‍ය බන්‍ධනයක් පාඨකයනට සම්ප්‍රදානය කර ඇත. සාමාන්‍යයෙන් මාතලන් මැතිඳුන් ලියන්නේ පඬියන් හා උගතුන් සඳහා නො ව බුද්ධිමත් මිනිසුන් සඳහා ම පමණක් බව ප්‍රකාශිත ය. එහෙත් මෙවර නම් මාතලන් මැතිඳුන් පඬියන් හා උගතුන් සඳහා ම කවියක් ලියා ඇති බව හැඟේ! 

මා හිතවත් මාතලන්  මැතිඳුන් මෙම කාව්‍ය බන්‍ධනය කවර නම් භූතාත්මයකින් ආවේශ වී ලියූවක් ද? මාතලන් මැතිඳුන් භූත කර්ණමුණ්ඩයක් බැඳ ගෙන භූතයා තම කනට පවසන වදන් වියුණු සටහනක් ලෙස ලියා පළ කළේ ද යන සංශය ද මසිත නැඟේ. එහෙත් මා ප්‍රිය මාතලන් මැතිඳුන්ගේ අභිනව කාව්‍යය තනි භූතයකුගේ බලපෑමෙන් ලියුණු එකක් විය නොහැකි ය. හේගලියානු, මාර්ක්සියානු, ෆ්‍රොයිඩියානු, ක්ලයිනියානු, ලැකානියානු, අල්තූසරියානු ඈ අන්තර්ජාතික දාර්ශනික භූතයන් පමණක් නො ව නියුටෝනියානු, මනුරතනියානු, වාසලමුදලිආරච්චියානු ඈ ජාතික දාර්ශනික භූතයන් ද මා හිතවත් මාතලන් මැතිඳුනට බැල්ම හෙළා ඇති සෙයකි!

පූර්වෝක්ත ඡේද ද්වයය මා ලියුවේ වියුණු ලොව මගේ හිතවතකු වන මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුනට කළ කවටකමක් ලෙස ය. මාතලන් මැතිඳු‍න්ගේ කවිය මා සිත් ගනී. එම කවිය ලිවීමේ දී හෙතෙම උත්ප්‍රාසය නම් කාව්‍ය ශික්‍ෂාව මත පිහිටා ඇති බව මගේ අදහස ය. සංයුක්ත ව පැවසිය යුතු අදහසක් අතිශය වියුක්ත ව පැවසීම නිසා ඇති විය හැකි වියවුල මෙම කාව්‍යයෙන් ප්‍රකාශ වන බව මගේ අදහස ය. එම වියවුල වාග්බාහුල්‍යය (verbosity) හෝ වඩාත් නිවැරදි ව වාග්ප්‍රවාහිකාව (logorrhoea) හෝ ලෙස හැඳින්විය හැකි ය. මා හිතවත් මාතලන් මැතිඳුන් වාග්ප්‍රවාහිකාව ඇති ලේඛකයකු නො වන බව අපි නිසැක ව දනිමු. එහෙත් මෙම කාව්‍ය රචනයේ දී මාතලන් මැතිඳුන් සම්ප්‍රජන්‍ය ව (deliberately) වාග්ප්‍රවාහිකාව ප්‍රකට කර ඇත. එසේ කර ඇත්තේ වාග්ප්‍රවාහිකාවේ විසුළුසහගත වියවුල සුවිශද කර අවධාරණය කරවීමට ය. එම කාව්‍ය ප්‍රයෝගය යම් ආකාරයක සොක්‍රටික උත්ප්‍රාසයකි (a form of Socratic irony). මා හිතවත් මාතලන් මැතිඳුන්ගේ කාව්‍ය ප්‍රයෝගය ඵලදායි වී ඇති බව එම කාව්‍යය අරබයා පළ ව ඇති ආලෝචන රාශිය හඬනඟා පවසයි. මගේ පරම්පරාවට වඩාත් සමීප අරුණ පෙරේරාණන් ද වාජීකරණයක් ලද කලක සේ ආලෝචන මාලාවක් පළ කර තිබෙනු මම දුටුවෙමි! 

මාතලන් මැතිඳුන් එම කවියට සම්බන්‍ධ කර තිබෙන සිතුවම මනරම් ය. එම සිතුවම ඇඳි සිත්තරා අමිත් භාර් (Amit Bhar) ය. ඔහු සම්ප්‍රදාය වශයෙන් සලකන කල අර්ධ-තාත්විකවාදියෙකි. ඔහුගේ සම්ප්‍රදායේ සහ පරම්පරාවේ බොහෝ සිත්තරුන් තෙල් සායම් මත පදනම් වුවත් අමිත් භාර් මූලික ව පදනම් වූයේ දිය සායම් මත ය. 

රාජ රවී වර්මා වැනි විශිෂ්ට පූර්ව-බෙංගාලි ගුරුකුල සිත්තරුනට වස්තු වූයේ සංස්කෘත සාහිත්‍යය සහ දේව පුරාවෘත්ත ය. තාගෝර්වරු සහ නන්දලාල් බෝස් වැනි ශාන්ති නිකේතන් ආශ්‍රිත ව වැඩුණු සිත්තරුන් නිර්මාණාවේශය ලැබුවේ එවකට වර්ධනය වෙමින් පැවති ඉන්දීය ස්වරාජ් ව්‍යාපාරයෙන් ය. 

අමිත් භාර් (Amit Bhar)

එනමුත් පශ්චාත්-යටත්විජිත ඉන්දීය සිතුවම් කලාව ඉන්දීය-යුරෝපීය සම්ප්‍රදායන්ගේ ඒකාත්ම ප්‍රකාශනයකි. යුරෝපයේත් ඇමෙරිකාවේත් කලා වෙළඳපොළ තුළ ඉන්දීය චිත්‍ර ශිල්පියා ස්ථානගත වන්නේ ඉන්දීය දේශීය සෞන්දර්යය ද පෞරාණික දේව පුරාවෘත්ත ද සමකාලීන ජන ජීවිතය ද යුරෝපීය නූතනත්ව/පශ්චාත්-නූතනත්ව සම්ප්‍රදායන් සමඟ ප්‍රතිනිර්මාණය කිරීමෙන් ය. අමිත් හාර් එම කාර්යයේ ජීවමාන සුරුවෙකි. ඔහු මවන මානව රූප තාත්විකත්වයෙන් අනූන ය; ඉතා සියුම් මානව ප්‍රකාශනයන් වුව මනා ව ප්‍රකට කරවයි. පුනරුද සමයේ ඉතාලියානු තාත්වික‍ සම්ප්‍රදායක මානව රූප ප්‍රංශ අධිතාත්වික පසුබිමක පිහිටුවා අමිත් භාර් සිදු කරන ආශ්චර්යයන් දෑසින් දැක, මනසින් විඳ ගැනීම කලාකාමීන්ගේ සන්තුෂ්ටියට ම හේතු වේ.  

අතිවිශිෂ්ට ආලේඛ්‍ය චිත්‍ර ශිල්පී සිසාර් සැන්ටොර් (Cesar Santos)

මාතලන් මැතිඳුන්ගේ උත්ප්‍රාසජනක කාව්‍ය බන්‍ධනය සමඟ පළ වූ සිත්තම ගංගා නදිය ආශ්‍රිත ව ආගමික වතාවත් සඳහා සැරසෙන ස්ත්‍රියක නිරූපිත ය. අමිත් භාර් එම ගංගා පූජාව අලළා සබැඳි සිත්තම් පෙළක් ම ඇඳ ඇත. ස්ත්‍රී රූපය එහි ලාලිත්‍යය නොනැසෙන ලෙස සිත්තම් කිරීමට ඔහු විශිෂ්ට නිපුණතාවක් පෙන්වයි. මානව රූපය සිත්තම් කිරීම ඉතා ගැඹුරු දීර්ඝ අධ්‍යයනයකින් පසු අත්පත් කර ගත හැකි කුසලතාවකි. අතිවිශිෂ්ට ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු වන සිසාර් සැන්ටොස් (Cesar Santos) මානව රූපය සිත්තම් කිරීමේ තම අසමසම කුසලතාව ප්‍රගුණ කර ගැනීමට කළ කැප කිරීම පිළිබඳ විමසීමෙන් ම පෙර කී මානව රූප සිත්තම් කිරීමේ බැරෑරුම්කම වටහා ගත හැකි ය (සිසාර් සැන්ටොස්ගේ සිත්තම් ඔබට ඔහුගේ නිල වෙබ් අඩවියේ දී දැක බලා ගන්නට හැකි ය. එහි පළ ව ඇත්තේ විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප නො ව ආලේඛ්‍ය සිතුවම් ම බව සලකන්න. ඔබ ඒවා ආලේඛ්‍ය සිතුවම් නො ව ඡායාරූප ම බව සිතුව හොත් මම පුදුම නො වෙමි!). 

විශාලන්ද්‍ර ධාකුර් (Vishalandra Dakur)

මාතලන් මැතිදඳුන්ගේ සිත්ගත් අමිත් භාර්ගේ සිතුවම අධ්‍යයනය කරන්නකුට එහි ප්‍රධාන මානව රූපය සහ පසුබිම අතර යම් පර්යාවලෝකනීය අසංගතභාවයක් ඇති බව ද ප්‍රධාන මානව රූපය අඳුරු පැහැ සිරස් තීරුවක පතිත කරවීමෙන් ත්‍රිව්‍රාලෝක කර ඇති බව ද වටහා ගත හැකි ය. එම ලක්‍ෂණ අමිත් භාර්ගේ වෙනත් බොහෝ සිතුව‍ම්වල ද දැක ගත හැකි ය. අමිත් භාර් තම සිතුවම් මඟින් රසිකයා යථාර්ථයේ සිට මායාව දක්වා රැගෙන යන්නේ ය. විමසිලිමත් දෑසට යථාර්ථය මායාව වෙත එ‍ළඹෙන සංක්‍රාන්ති කලාපය හඳුනා ගැනීම අපහසු කාර්යයක් නොවන්නේ ය. අමිත් භාර් තම සමකාලීන තාත්විකවාදී සිත්තරකු වන විශාලන්ද්‍ර දාකුර්ගෙන් (Vishalandra Dakur) වෙනස් වන්නේ එකී යථාර්ථ-මායා දෙමුහුම නිසා ය. ඉන්දීය ජන ජීවිතය සිතුවම් කළ විශිෂ්ට ජීවමාන සිත්තරකු ලෙස මා ඉතා අගය කරන විශාලන්ද්‍ර දාකුර්ස්ත්‍රී රූපය සිත්තම් කිරීමේ නිපුණයෙකි. ඔහු ද ගංගා පූජාව අලළා සිතුවම් ඇඳ ඇත. 

ප්‍රසන්න වීරක්කොඩි

මා හිතවත් මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුන්ගේ කවියක් නිසා සිත්තමක් පිළිබඳ ලියුවුණු මෙම ලිපිය අවසන් කරන්න පෙර සමකාලීන ලාංකික තරුණ සිත්තරකු පිළිබඳ ද සඳහන් කරන්නට රිසියෙමි. කැලණි විහාරයේ සිත්තම් අඳිමින් සිටි මාදම්පේ සෝලියස් මෙන්ඩිස් කිසියම් මතභේදයක් නිසා එම කාර්යය අතරමඟ දී නවතා දමා ගිය දින නැවතුණු ඵෙතිහාසික තේමා සිත්තම් කලාව ඉදිරියට ගෙන යන්නට තරම් ප්‍රතිභාවක් ප්‍රකට කරන ප්‍රසන්න වීරක්කොඩි (Prasanna Weerakkody) එම දක්‍ෂ සිත්තරා ය. ඔහුගේ මනරම් සිත්තම් ඔහුගේ නිල වෙබ් අඩවියේ දී ඔබට රසවින්දනය කළ හැකි ය. ප්‍රසන්න වීරක්කොඩි අතිදක්‍ෂයකු බව පැවසිය යුතු ම ය. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

10 thoughts on “කාව්‍යයක් නිසා සිත්තම් කලාව පිළිබඳ කතිකාවක්

  1. කෙතරම් ප්‍රීතීයෙක්ද.. මෙම සටහන කියවීමෙන් මා එළඹි භාවයන් සම කළ හැක්කේ, අමිත් බාර් හා ප්‍රසන්න වීරක්කොඩි යන සිත්තර මුනිවරුන් මා ගෙනයන ඒ උතුම් වූ භාවයන්ටම පමෙනි..

    ඔබට බොහෝ තුති මා හිතවත් කුදලාගමයානනි…

    එවන් මුනිවරුන් හමුවේ මා වැනි උන් දූවිලී අංශුවක් තරම් නොවටිනා උන් බව පසක් වීමම සිත නිවන්නේමැයි…

    Liked by 1 person

    1. මා හිතවත් මාතලන් මැතිඳුනි,

      අවසන් වැකිය අසත්‍ය ය; නොනිසි ය. නොනිසි බස් නො ‍පවසනු මැනවි. අපි ඔබ‍ගේ අගය දන්න‍මෝ නිබඳ ව, නිලොබ ව ඔබ ගුණ සිහි කරන්නෙමු. මාතලන්හු නොවක් බස් ඇත්තාහු ය; නොපනත් කම් නැත්තාහු ය; පවසන බසට කිරිය ඇත්තාහු ය; කරන කිරියට බස ඇත්තාහු ය. එගුණ උත්තම ගුණ නො වන බව කවරහු නම් පවසත් ද?

      මාතලන්ගේ සාමාන්‍ය ව්‍යවහාරික බස පාඨක රුචිකර ය; සන්දර්භානුකූල ය. සිංහලය ද ශුද්ධ සිංහලය ද නිසි තැන ‍අදීන ව වහරන්නට හෙතෙම ‍රුසි ය. මම නිබඳ ව මාතලන්ගේ ලිපි කියවන නිසා එබව නිසැක ව පවසමි.

      ‍එවැනි වටිනාකම් දැක දැන ඇති අපට නම් මාතලන් අගනා ය. මගේ සන්මිත්‍ර සරසතුමා ද එබව පිළිගන්නා බව මම දනිමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

    1. මා සන්මිත්‍ර ගරු සරසතුමනි,

      ඔබතුමා වැනි ලක්‍ෂසංඛ්‍යාත පාඨක ප්‍රජාවක හිමිකරුවකු මෙහි පැමිණීම ම ඔබගේ නිහතමානීත්වය පවසයි.

      ඔබතුමා ලිබරල්වාදය පිළිබඳ ලියූ ලිපිය මම අභිරුචියෙන් කියවීමි. එපිළිබඳ ආලෝචනයක් ලියමින් සිටිමි. මතු පළ වන්නට නියමිත ය.

      මෙම ලිපිය මාතලන් මැතිඳුන්ගේ අවධානයට යොමු කරවීම පිළිබඳ ඔබට මගේ ස්තුතිය!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  2. අතිගරු බන්ධු්ල කුදලාගමයෙනි,

    මා බෙහෙවින්ම ප්රිියකරන සිත්තම් විෂය අරභයා ඔබතුමන් ලියූ වියමන මසිත පහන් කල බැව් පවසනු මනා ය.
    සා රස තුමාගේ අඩවියෙහි ඔබතුමන් විසින් තබන ලද ආලෝචනයන්, සරස තුමාගේමැයි අනුමාන කර, මවිසින් යෙදූ ආලෝචනයන් නිසා ඔබට සිත්තැවුලැක් වී නම් බෙහෙවින්ම දුක් වෙමි.

    කමාවනු මැනවි.

    Liked by 1 person

    1. ගරු සිරිපාල හෙට්ටිආරච්චි මැතිඳුනි,

      සරස වන මා තව ආත්ම භාව සිය දහස් ගනනක් පුනරුත්පත්තිය ලැබූවද අති ගරු කලානිධි බන්‍ධුල කුදලාගම ශූරීන් ගේ සුරතින් බිහිවන මෙවන් වියමනක් ලියාගැනීමට බැරි බව තේරුම් ගැනීම පිලිබඳව ඔබට මගේ ගෞරවාචාරය.

      Like

    2. ගරු සිරිපාල හෙට්ටිආරච්චි මැතිඳුනි,

      මගේ සිතේ කිසිදු අමනාපයක් ඔබ පිළිබඳ නැත. ඔබතුමා මෙහි පැමිණ, මෙම ලිපිය කියවීම පිළිබඳ මගේ ස්තුතිය පිළිගනු මැනවි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  3. දයලෙක්තික වස්තුවක් මේතරම් අපූරු පාඩමක් උගන්වපු එක මරු. අමීත් භාර්ලා ගැන ඇහුවෙත් මේ ලිපියෙන්.

    Liked by 1 person

    1. මා ප්‍රිය අරුණ පෙරේරා‍ණනි,

      ඔබතුමා ඔබරෝයි හෝටලයේ ඉහළ සිට අවට ප්‍රදේශය නරඹා ඇති බව මම විශ්වාස කරමි. එසේ නම් ඒ අතීතය සිහි කර ගන්නට සුදානම් වනු මැනවි. මම මුලින් ම එම ප්‍රදේශය දුටු කල (පොළොවේ සිට) ඔබරෝයි හෝටලයක් තිබුණේ නැත. මා අවසන් වරට එම ප්‍රදේශය (පොළොවේ සිට) දකින විට ද ඔබරෝයි හෝටලයක් තිබුණේ නැත. දශක හතරකට මඳක් වැඩි කාලයක දී ලංකා ඔබරෝයි නම් හෝටලයක් ඔබතුමාගේ ජීවිතයට බැඳි ඇති ආකාරය මම නිබඳ ව අරූගේ අඩවියේ දී කියවමි. ඔබතුමාගේ ජූලි කලබලවලට පසු ආලෝචනයක් ලෙස සටහනක් තබමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s