කොළොම්තොට නැත මහලු වී – අවන්හල නැත පැරණි වී : අරුණ පෙරේරාණන් සමඟ හෝටල පිළිබඳ කතිකාව

Grand Oriental Hotel – Colombo

මතු පළ වන්නේ කොළඹ නගරයේ සංචාරක හෝටල කීපයක් පිළිබඳ අතීතාවර්ජනීය සටහනකි. මම හෝටල පිළිබඳ විශේෂඥයෙක් නො වෙමි. එහෙත් මගේ ළබැදි අරුණ පෙරේරාණෝ හෝටල පිළිබඳ විශේෂඥයෙක් වෙති. මෙම ලිපිය මම අරුණ පෙරේරා ශ්‍රී නාමයට සමර්පණය කරමි. 

ලංකා ඔබරෝයි හෝටලය මා හිතවත් අරුණ පෙරේරාණන්ගේ ජීවිතයේ සංඝටනීය අංගයක් බව විශ්වාස නොකරන්නට ම‍ට කිසිඳු හේතුවක් නැත. අරුණ පෙරේරාණන්ගේ රසාකර “අරූගේ අඩවිය” වියුණුවේ වර්ණ බන්ධනය වන අරුණ පෙරේරා ස්වයංඅපදාන කාව්‍යානුකූලලංකා ඔබරෝයි හෝටලය අරුණ පෙරේරාණන්ගේ ජීවන ගමන් මඟේ ක්ෂේමභූමියකි. 

ලංකා ඔබරෝයි හෝටලය පිළිබඳ ඇගයීමක් ලියන්නට නිසි සුදුසුකම් මට නොමැත. මම අරුණ පෙරේරාණන් සේ හෝටල පිළිබඳ විශේෂඥ‍යෙක් නො වෙමි. මම කොළඹ නගරයේ හෝටල පිළිබඳ දැනුම්වත් වන්නේ විවිධ හේතු නිසා විවිධ හෝටලවලට ඉඳහිට යන්නට එන්නට වූ තැනැක්තකු ලෙස පමණි. එම යෑම්-ඊම් ද බොහෝ විට රාජකාරී සහ ශාස්ත්‍රීය අරමුණු කරණ කොට සිදු වූයෙන් මගේ අවබෝධය එකී හෝටලවල සම්මන්ත්‍රණ ශාලාවලට ද ආහාරානුභව ශාලාවලට ද සීමා විණ. එහෙව් කල දශක ගණනක් දෛනික ව හෝටලවලට ආ ගිය අරුණ පෙරේරාණන් තරමට මම කෙසේ නම් හෝටල පිළිබඳ දනිම් ද? කොළඹ නගරයෙන් පිටත පිහිටි හෝටල කීපයක් පිළිබඳ නම් මම යම් තරමකට දනිමි. එද අරුණ පෙරේරාණන්ගේ සාගර සමාන වූ හෝටල දැනුම හා සසඳන කල ලේන වලිගය අග රැඳි දිය බිඳටත් වඩා අල්ප දැනුමකි. 

හෝටල ක්ෂේත්‍රය පිළිබඳ අතිදැවැන්තයකු ඉදිරියේ කුදු පිග්මියකු වන මම අරුණ පෙරේරාණන්ගේ මතු දැක්වෙන විශේෂඥ නිගමනය පිළිබඳ සංශය නො කරමි.

Hotel Lanka Oberoi ආයතනයට සමකළ හැකි තවත් හෝටල් එදා තිබුණා යැයි මම විශ්වාස නොකරමි. ඒ මා රැකියාව කල ආයතනය ඔසවා තැබීමට නොව, ඒ ඇත්ත බව කවුරුත් දන්නා නිසාය. (මට එම ආයතනයෙන් ඉවත්වෙන්න යැයි ඉල්ලා සිටීම වෙනම කාරණයකි ) ඒ කිට්ටුවටවත් ගත හැකි හෝටල් තිබුණා නම් ඒ, Ceylon Intercontinental, PegasusReef යන හෝටල් පමණි. Mount Lavinia Hotel,Galle Face Hotel, Colombo Thaprobane වැනි හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර තිබුණේ මීට වඩා අඩු මට්ටමකය.

හෝටල ප්‍රමිතිය පිළිබඳ සම්මත නිර්ණායක අනුව Colombo Taprobane හෝටලය “හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර තිබුණේ” “Hotel Lanka Oberoi ආයතනයට” “වඩා අඩු මට්ටමකය.” යන පෙරේරාණන්ගේ ප්‍රකාශය නිවැරදි විය යුතු ය. තරු දෙකක් අඩු වුව ද පිහිනුම් තටාක නැති වුව ද අරුණ පෙරේරාණන් Colombo Thaprobane යනුවෙන් හඳුන්වන අප කවුරුත් දන්නා Grand Oriental Hotel (GOH) යනු කොළඹ නගරය ආශ්‍රිත ව පිහිටි මගේ සිත්ගත් හෝටල තුනෙන් පළමු වැන්න ය. අනෙක් හෝටල දෙක ද මගේ හිතවත් අරුණ පෙරේරාණනට අනුව “හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම අතර” “වඩා අඩු මට්ටමක” තිබූ Galle Face Hotel සහ Mount Lavinia Grand Hotel ය. 

Grand Oriental Hotel යන නාමය Colombo Taprobane වූයේ නෛතික ගැටලුවක් නිසා යම් සීමිත කාලයකට පමණි. අතීතයේ දී සේ ම වර්තමානයේ දී ද එම හෝටලය Grand Oriental Hotel ය.  වර්ෂ 1875 දී ආරම්භ කෙරුණු Grand Oriental Hotel වසර 141 ක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. එම හෝටල ගොඩනැඟිල්ල ලන්දේසි ආණ්ඩුකාරවරයකුගේ වාසස්ථානය වූ බව පැවසේ. එහෙත් එබව නිශ්චිත ව තහවුරු කිරීමට තරම් සුපැහැදිලි සාක්‍ෂ්‍ය දුලබ ය. ලන්දේසි යුගයේ දී ලන්දේසි නැඟෙනහිර ඉන්දියා වෙළඳ සමාගමට අනුයුක්ත ව ලංකාවේ සේවය කළ ජරමානු ජාතිකයකු වූ Christopher Schewitzer ගේ කෘතියක් අනුව Grand Oriental Hotel ගොඩනැඟිල්ල ලන්දේසි යුගයේ දී ආණ්ඩුකාර වාසස්ථානයක් වූ බව ඇතැමෙක් පවසති. Christopher Schewitzer විසින් රචිත කෘතිය “A relation of a voyage to and through the East-Indies from the year 1675 to 1683” නම් වේ. එම කෘතියේ කොළඹ ලන්දේසි රෝහල පිළිබඳ සුනිශ්චිත, සුපැහැදිලි විස්තරයක් සඳහන් ය. කෘතියේ ස්ථාන කීපයක ම  ආණ්ඩුකාරතුමාට සම්බන්‍ධ තොරතුරු ඇති නමුත් ආණ්ඩුකාර වාසස්ථානය වූයේ පසුකාලීන ව Grand Oriental Hotel ලෙස වර්ධනය කෙරුණු ස්ථානයේ ම බව සුනිශ්චිත ව පැවසීමට තරම් තොරතුරක සඳහනක් සොයා ගන්නට මම සමත් නො වීමි. එහෙත් නිසි සාක්‍ෂ්‍ය කොළඹ ලන්දේසි කෞතුකාගාරයේ හෝ රාජ්‍ය ලේඛනාගාරයේ හෝ සංරක්‍ෂිත ව ඇති බව මම සිතමි. මෙම විෂය පිළිබඳ උනන්දු ලංකාවාසී පර්යේෂකයනට එපිළිබඳ සොයා බැලීම උචිතාභ්‍යාසයකි. කෙසේ වුව ද Grand Oriental Hotel ගොඩනැඟිල්ල ආරම්භයේ දී ලන්දේසි ආණ්ඩුකාරවරයකුගේ හෝ ආණ්ඩුකාරවරු කීප දෙනකුගේ හෝ වාසස්ථානය හෝ වාසස්ථානයේ කොටසක් හෝ වූ බව ජනප්‍රවාදිත යි; ජනසම්මත යි. 

යටත් විජිත ලංකාවේ පළමු වැනි ඉංගිරිසි ආණ්ඩුකාරවරයා ලෙස වර්ෂ 1798 දී පත් වූ ගිල්ෆර්ඩ්හි පස් වැනි අර්ල්වරයා වූ Frederick North අපගේ සාකාච්ඡාවට බඳුන් වන ගොඩනැඟිල්ල තම බලකාඥාපති වූ මේජර් ජනරාල් Hay MacDowall ගේ පරිහරණයට පවරා ඇත. වර්ෂ 1837 දී රොබර්ට් විල්මට්-හොර්ටන් ආණ්ඩුකාරවරයාගේ සමයේ දී මෙකී ගොඩනැඟිල්ල ඉංගිරිසි යුද හේවාශාලාවක් බවට පක් කෙරිණි. එම හේවාශාලාවේ ප්‍රවේශ ද්වාරය අසල වූ සෙල්මුවා සමරු ඵලකයේ එබව මෙසේ සඳහන් ව තිබිණි:

IN THE REIGN OF KING WILLIAM IV. 
THIS BARRACK 
Being the first of the Improvements in the Military
Buildings throughout Ceylon. 
For which £80,000 was granted by His Majesty’s Govt. in 1835.
Was commenced on the 23rd February 1837. 
And 
Was completed on the 27th October 1837. 
When
THE RT. Hon. SIR ROBERT WILMOT HORTON BART. G.C.H. 
Was 
GOVERNOR OF THE ISLAND ; 
And When 
THE HON. MAJR.-GEN. SIR JOHN WILSON K.C.B. 
COMMANDED HIS MAJESTY’S FORCES.

පළමු ව ආණ්ඩුකාර වාසස්ථානයක් ද දෙවනු ව හේවාශාලාවක් ද වූ මෙකී ගොඩනැඟිල්ල හෝටලයක් බවට පත් වීම ඇරඹෙන්නේ වර්ෂ 1873 දී ය. එය Grand Oriental Hotel (GOH) ලෙස විවෘත වන්නේ වර්ෂ 1875 දී ය. එතැන් සිට අතිදීර්ඝ කාලයක් පුරා යුරෝපීයන් විසින් පාලනය කෙරුණු නැඟෙනහිර ලෝකයේ පිහිටි අග්‍රගණ්‍ය හෝටලය ලෙස සැලකුණේ Grand Oriental Hotel ය. 

වර්ෂ 1837 දී හේවාශාලාවක් ලෙස විවෘත වූ Grand Oriental Hotel ගොඩනැඟිල්ලේ සමරු ඵලකය

ආරම්භයේ දී යුරෝපීයන් විසින් කළමනාකරණය කෙරුණු Grand Oriental Hotel වර්ෂ 1954 දී ලංකා බැංකුව විසින් මිල දී ගන්නා ලදී. විවිධ නෛතික සහ කළමනාකරණ ගැටලු නිසා ද ඒ වන විට කොළඹ නගරයේ මතු ව පැමිණි විදේශීය මහා පරිමාණ හෝටල් පෙළ නිසා ද කලක් ජනාකර්ෂණ‍යෙන් ගිලිහී  ගිය Grand Oriental Hotel යළිත් පසුගිය සමයේ දී සැලකිය යුතු තරම් දියුණුවක් ලබා ඇත. අදින් වසර පහ-හයකට පෙර එම හෝටලය පෞද්ගලික අංශයට පැවරීමට රජය සැලසුම් කරමින් සිටි බව මට මතක ය. ලංකා බැංකු වෘත්තිකයන්ගේ ප්‍රබල විරෝධතාව මධ්‍යයේ දී එම සැලසුම් රජය විසින් අත්හිටුවනු ලැබිණි. වර්තමාන රජය ද පසුගිය වසරේ දී Grand Oriental Hotel පෞද්ගලික අංශයට විකුණා දැමීමට තීරණය කර ඇති බව ආරංචි විණි. “දාගැබක් ගිලපු එකාට අග්ගලාවක් ගිලින එක මහ වැඩක් ද?” යි පැවසූ ලෙස ම ගාල්ලේ ලන්දේසි කොටුව ද විකුණන්නට මාන බැලූ අයට ලන්දේසි යුගයේ සිට පැවත එන හෝටලයක් විකිණීම අපහසු කටයුත්තක් නොවන්නට හැකි ය. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමෙන් එම ආයතන වඩා සංවර්ධනය කළ හැකි බව ඇතැමෙක් විශ්වාස කරති. එහෙත් ඇතැම් රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යවසාය යටතේ ම පැවැත්ම එවායේ සංරක්‍ෂණය සඳහා වැදගත් වන බව ද අප අමතක කළ යුතු නැත. අපගේ ඉතිහාසය යනු අනුරාධපුර, පොළොන්නරු ඈ පූර්ව-කෝට්ටේ යුගවල ඉතිහාසය පමණක් නො වේ. යටත්විජිත යුග ද අපගේ ම ඉතිහාසයේ අනිවාර්ය කොටසකි. එම යුරෝපීය යටත්විජිත යුගවල ඉඳිකිරීම් ද සුරැකිය යුතු ම ය. Grand Oriental Hotel යනු ලාංකීය ඉතිහාසයේ වැදගත් ඵෙතිහාසික උරුමයකි. එහි මූලික හිමිකම රජයෙන් ගිලිහී නොයන ලෙස පුද්ගලීකරණයක් කර ගත්තාට කම් නැත. මා දන්නා තරමට මෙම හෝටලය කොළඹ නගරයේ ඇති පුරාවිද්‍යා සංරක්ෂිතයක් ලෙස ලේඛනගත වූ ගොඩනැඟිල්ලකි. එනිසා හිතුමතයේ මෙම ගොඩනැඟිල්ල වෙනස් කිරීම නෛතික ව ද අනනුමත ය.

Grand Oriental Hotel සමඟ බැඳී ඇති ඉතිහාසය වර්ණවත් කළෝ එසේ මෙසේ පුද්ගලයෝ නො වෙති. කීප දෙනකු මෙසේ ය:

පිලිපීන ජාතිකත්ව ව්‍යාපාරයේ අසහය වීරයකු වූ ද දුර්ලභ බහුශාස්ත්‍රඥයකු වූ ද අක්‍ෂි වෛද්‍යවරයකු වූ ද José Rizal වර්ෂ 1882 දී Grand Oriental Hotel හි නවාතැන් ගත්තේ ය. 

ශ්‍රෙෂ්ඨ රුසියානු කෙටිකතාකරුවකු වූ ද නාට්‍ය රචකයකු වූ ද වෛද්‍යවරයකු වූ ද Anton Pavlovich Chekhov වර්ෂ 1890 දී සයිබීරියාවේ සඛලින්හි සිට රුසියාව කරා යාත්‍රා කරන අතර තුර දී Grand Oriental Hotel හි දින හයක පමණ කාලයක් නවාතැන් ගත්තේ ය. Chekhov තම Gusev නම් කෙටිකතාව ලිවීම ආරම්භ කළේ එලෙස Grand Oriental Hotel හි නවාතැන් ගෙන සිටිය දී ය.

ලෝක ප්‍රකට ලේඛකයකු සහ දේශපාලන න්‍යායවේදියකු වූ Leonard Sidney Woolf සහ ඔහුගේ පාදපරිචාරිකාව වූ ලෝක ප්‍රකට ලේඛිකා Adeline Virginia Woolf යන දෙදෙනා ද Grand Oriental Hotel හි කලක් නවාතැන් ගත් බව පැවසේ. Leonard Sidney Woolf වර්ෂ 1904 දී යටත්විජිත සිවිල් සේවය සඳහා මුල් වරට ලංකාවට පැමිණි කල ද නවාතැන් ගෙන ඇත්තේ Grand Oriental Hotel හි ය. “Leonard Woolf : A Biography” නම් වූ අපදාන කෘතියේ ලා Victoria Glendinning එබව මෙසේ පවසයි:

In Colombo, Leonard stepped off the ship into the heat and the glare and the crowds, and entered the Grand Oriental Hotel, about 150 yards up from the busy dockside in the area still called the Fort, its streets lined with imperial offices, commercial houses and European stores

ශ්‍රීමත් Philip Christopher Ondaatje ගේ “Ceylon Revisited” ලේඛනය ද එබව මෙසේ සඳහන් කරයි:

Woolf went straight to the GOH, the Grand Oriental Hotel, which was indeed both grand and oriental and a stone’s throw from the magnificent harbour.

වර්ෂ 1954 දී ලංකාවට පැමිණි දෙවන එලිසබෙත් මහා රාජිනිය සහ කෙන්ට්හි ආදිපාදවරයා නවාතැන් ගත් ස්ථානය වූයේ කොළඹ Queen’s House (වර්තමාන ජනාධිපති මන්දිරය) ය. මහා රාජිනියට සහ එතුමියගේ රාජකීය පිරිවරට සංග්‍රහ කිරීම ද රාජකීය රාත්‍රී භෝජනෝත්සවය පැවැත්වීම ද සිදු කරන ලද්දේ Grand Oriental Hotel විසිනි. මහා රාජිනිය සහ ආදිපාදවරයා Grand Oriental Hotel වෙත පැමිණ ඇති බව ද පැවසේ. 

Leonard Sidney Woolf ගේ සහෝදරිය වූ Bella Sidney Woolf කලක් ලංකාවේ වාසය කළා ය. ඇය‍ විසින් 1909 වර්ෂයේ දී පළ කෙරුණු “The Twins in Ceylon” කෘතියේ Grand Oriental Hotel පිළිබඳ මෙසේ සඳහන් වේ:

There was a big hotel, called the Grand Oriental Hotel, and there was a band playing and a palm-garden, and they had lunch, waited on by brown men in white with their hair done up in a knot and a tortoise-shell comb in it.

Bella Sidney Woolf විසින් 1914 වර්ෂයේ දී පළ කෙරුණු “How to See Ceylon” කෘතියේ ද Grand Oriental Hotel පිළිබඳ සඳහන් වේ. ඒ මෙසේ ය:

The best hotels in Colombo are the G.O.H. and the Galle Face. … It is said that if you waited long enough in the hall of the Grand Oriental Hotel – the G.O.H. as it is known through-out the world – you would meet everyone worth meeting.

සම්භාවනීය සිංහල ගීත රචකයකු සහ නාට්‍යකරුවකු වූ ලූෂන් බුලත්සිංහලයෝ එක්දහස් නවසිය අසූව දශකයේ දිනෙක Grand Oriental Hotel හි සිට පෙනෙන කොළඹ වරායේ දර්ශනයෙන් නිර්මාණානුප්‍රාණයක් ලැබුවෝ අනියම් පෙමක් පිළිබඳ “කොළොම්තොට නැත මහලු වී – අවන්හල නැත පැරණි වී” යන ගීතය පැබැඳුවෝ ය (එසමයේ දී Grand Oriental Hotel මෙම ලිපියේ පෙර පැවසුණු හේතුව නිසා හැදින්වුණේ Colombo Taprobane යන නමිනි). ලූෂන් එම පෞරාණික හෝටලය දැකීමෙන් අත්විඳි හැඟීම ඔහු විසින් රචනා කෙරුණු “සෙවනැලි නොමැකේනම්”  කෘතියේ ලා මෙසේ පවසයි:

මගේ තාත්තා වරායෙ සේවකයෙක්. මං පුංචිකාලෙ තාත්ත මාව වරාය පෙන්නන්න එක්කං ගිහින් තියෙනව. වරාය ඉදිරිපිට තියෙන ඉතාම පැරණි “තැප්රෝබේන්” හෝටලයට යන එන විදේශීය සංචාරකයෝ එතකොටත් මං දැකල තියෙනව. ඒත් කාලයාගේ ඇවෑමෙන් 80 දශකයේදී මං රූපවාහිනී සංස්ථාවෙ සේවය කරද්දී එකවතාවක් අපේ සංස්ථාවෙ සංවත්සර සාදයක් පැවැත්තුවා මේ පැරණි තැප්රෝබේන්” හෝටලේ උඩ තට්ටුවෙ. පුංචි කාලෙ මට තාත්තා පෙන්නපු වරාය මං එදා ආයෙත් දැක්කා. ඒත් වෙන විදියකට. තැප්රෝබේන්” හෝටලේ උඩ තට්ටුවේ ඉඳගෙන හඳ පායල තිබුණු එදා රාත්‍රියේ මුළු වරායෙම නැංගුරම් ලාපු නැව් මං දැක්කෙ අමුතුම සෞන්දර්යකින්. ඒත් මං මහ මිනිහෙක් වෙලා. කාලය අප අතරින් රිංගා ගිහින් තියෙන අපූරුව. කොළොම් තොටයි අවන්හලයි එහෙම්ම තව තව තරුණ වෙනව. ඒත් අපේ ජීවිත වලට මොකද වෙලා තියෙන්නෙ? මේ සංත්‍රාසය තමයි අස්ථිර ජීවිතේ අනියම් ප්‍රේම සමිබන්ධයක් මගින් කොළොම්තොට ගීතයට නාභිගත කරල තියෙන්නෙ.

Lanka Oberoi Hotel – Colombo

Grand Oriental Hotel හි ප්‍රෞඪ ඉතිහාසය එසේ වන විට මා හිතවත් අරුණ පෙරේරාණන්ගේ Hotel Lanka Oberoi හි ඉතිහාසය කෙසේ වී ද? එය ද අද්විතීය ය. එක්දහස් නවසිය හැත්තෑව දශකයේ පළමු වැනි හෝ දෙවන වර්ෂයේ දී ගාලු පාරේ කොල්ලුපිටිටේ සිට කොටුව දෙසට ගමන් ගත් තරුණ වෛද්‍යවරයකුට සුප්‍රකට මහනුග උද්‍යානයත් ඵෙතිහාසික ශාන්ත ඇන්ඩෘ ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයත් අතර සුවිශාල භූමියේ ලංකා ඔබරෝයි හෝටලයක් පමණක් නො ව වෙනත් සුවිශේෂි ගොඩනැඟිල්ලක් හෝ දැක ගන්නට ලැබුණේ නැත. එම භූමිය එකල හිමි ව තිබුණේ ඇංග්ලිකන් (ලංකා) සභාවට විය යුතු ය. වර්ෂ 1973 පමණ වන විට එම භූමියේ සුවිශාල ගොඩනැඟිල්ලක් නිර්මාණය කෙරෙමින් පැවතිණි. ඒ වූ කලී ඉන්දියාවේ අතිවිශිෂ්ටතම හොටල්කරුවා වූ මො‍හාන් සිං ඔබරෝයි තම හෝටල් ව්‍යාපාරය ඉන්දීය භූගෝලීය සීමාවෙන් පිටතට ගෙන යාමේ පළමු වැනි පියවර ය. එදවස ලංකාවේ පාලන බලය හෙබ වූ සිරිමා බණ්ඩාරනායක රජය ඉන්දු-ලංකා සහයෝගීත්වයෙන් ආරම්භ කළ එක් ව්‍යාපෘතියක් වූ එම ගොඩනැඟිල්ල වර්ෂ 1975 දී ලංකා ඔබරෝයි හෝටලය ලෙස විවෘත කෙරිණි. එදවස ලෝකයේ ඉතා සම්භාවනීය වූ දුර්ලභ නිර්මාණ සැලැස්මකට අනුව ලංකා ඔබරෝයි හෝටලය ඉඳි කෙරුණු බව සඳහන් ය. 

මොහාන් සිං ඔබරෝයි (1898-2002) : ඔබරෝයි සමූහයේ නිර්මාතෘ

යුරෝපීයන් විසින් 19 වැනි ශතවර්ෂයේ දී ඉන්දියාවේ ආරම්භ කළ සිසිල් හෝටලයේ ලිපිකරුවකු ලෙස රාජකාරිය ඇරඹු මොහාන් සිං ඔබරෝයි පසු කාලීන ව එම සිසිල් හෝටලය ද මිල දී ගත්තේ ය. හෙතෙම හෝටල් ක්ෂේත්‍රයේ හසළ දැනුමැති තැනැත්තෙක් වූයේ ය. ශතවර්ෂාධික කාලයක් දිවි ගෙවා සදාකාලික නිද්‍රාව්‍රතයට එළඹෙන කල හෙතෙම ලෝක ව්‍යාප්ත හොටල් සමූහයක සාඩම්බර හිමිකරුවා වූයේ ය. මොහාන් සිං ඔබරෝයි තම හෝටලවල (අරුණ පෙරේරාණන් පවසන) “හෝටල් සේවා සහ පහසුකම් යන සුදුසුකම්” පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ බව නිගමනය කළ හැකි ය. ලංකා ඔබරෝයි හෝටලය වර්ෂ 1975 දී ආරම්භ කරන්නට පෙර වර්ෂ 1973 පමණ කාලයේ දී ම ඒ සඳහා සේවකයන් පුහුණු කරන්නට මොහාන් සිං ඔබරෝයි කටයුතු කළේ ය. ලංකාවේ පුරෝගාමී හෝටල කළමනාකරුවකු ලෙස සැලකෙන චරිත සේරසිංහ නව දිල්ලියේ  ඔබරෝයි හෝටල් කළමනාකරණ පාසලට ඇතුලත් කෙරෙන්නේ ද එනිසා ය. වර්ෂ 1975 දී ලංකා ඔබරෝයි හෝටලය ආරම්භ වන විට එහි ආරම්භක සේවකයකු වූයේ ද සේරසිංහ ය.  මගේ හිතවත් අරුණ පෙරේරාණන් වර්ෂ 1981 දී ඔබරෝයි හෝටලයට සම්බන්‍ධ වූ කල පෙරේරාණන් ලද මනා පුහුණුව  පිළිබඳ අගනා විස්තරයක් “අරූගේ අඩවියේ” සඳහන් ය (‍අරුණ පෙරේරාණන් එදවස ලංකා ඔබරෝයි හෝටලයේ සේවය කළ ‍බොහෝ අය පිළිබඳ ලියා ඇතත් හිරාන් චරිත සේරසිංහ පිළිබඳ තවමත් ලියා ඇති බවක් මට කියවන්නට නො ලැබිණි. සමහර විට අරුණ පෙරේරාණන් ලංකා ඔබරෝයි හෝටලයේ වැජඹෙන සමය වන විට සේරසිංහ එහි අවසන් කාලය ගත කරන්නට ඇත). මෙදවස ලංකාවේ ප්‍රකට දේශපාලනඥයකු ද එදවස ලංකා ඔබරෝයි හෝටලයේ කනිෂ්ඨ සේවකයකු ලෙස රාජකාරි කළ බව මා අසා ඇතත් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳ මම නො දනිමි. මගේ හිතවත් අරුණ පෙරේරාණන් එපිළිබඳ දනිති යි මම සිතමි. 

වර්ෂ 1975 දී ඇරඹි ලංකා ඔබරෝයි හෝටලය දශක තුනක පමණ කාලයක් අරුණ පෙරේරාණන් පවසන ආකාරයට ම ලංකාවේ ප්‍රමුඛ හෝටලයක් බවට පත් ව තිබිණි. සැක සංකා නැත. අරුණ පෙරේරාණන් සමඟ මා එකඟ ය. ඒ කාල පරාසයේ දී අරුණ පෙරේරාණන් තරම් නිබඳ ව නො වුණ ද මම ද ඉඳහිට ලංකා ඔබරෝයි හෝටලයට යන්නට එන්නට වූයෙමි.  දශක ගණනක් පුරා පූර්ණ නිර්මාංශිකයකු ව සිටින මම කොල්ලුපිටියේ ඉන්ඩො-සිලෝන් කැ‍ෆේ තරමට ම කොල්ලුපිටියේ ලංකා ඔබරෝයි හෝටලයට ද කැමැත්තෙමි! එක්දහස් නවසිය හැක්තෑව දශකයේ මුල දී කොල්ලුපිටියේ සුප්‍රකට මහනුග උද්‍යානයත් ඵෙතිහාසික ශාන්ත ඇන්ඩෘ ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයත් අතර සුවිශාල භූමියේ ලංකා ඔබරෝයි නම් හෝටලයක් නොදුටු පෙර කී තරුණ වෛද්‍යවරයා විසිඑක් වැනි ශතවර්ෂයේ මුල් දශකයේ දෙවන භාගයේ දී වයෝවෘද්ධ විශ්‍රාමික වෛද්‍යවරයකු ලෙස කායික වෛද්‍යවරුන්ගේ ලාංකීය විද්‍යාලයේ වාර්ෂික සැසියකට පැමිණෙන කල ද කොල්ලුපිටියේ සුප්‍රකට මහනුග උද්‍යානයත් ඵෙතිහාසික ශාන්ත ඇන්ඩෘ ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයත් අතර සුවිශාල භූමියේ අහස උසට නැඟි ගොඩනැගිලි පෙළ අතර ලංකා ඔබරෝයි නම් හෝටලයක් නොදුටුවේ ය. හෙතෙම අතීතයේ දී පුහුණුව ලබා සමුගන්නා තරුණ වෛද්‍යවරුනට පුහුණුකාලය අවසානයේ දී දෙනු ලබන සම්ප්‍රදායික සංග්‍රහය බොහෝ වර පවත්වන්නට තෝරා ගත් කොළඹ යොර්ක් වීදියේ Grand Oriental Hotel නම් අදටත් අභිමානවත් ව මඳහස පාමින් වැජඹේ! 

ජ්‍යෙෂ්ඨ, මධ්‍යස්ථ, සත්‍යවාදී, විචක්‍ෂණ සත්පුරුෂයකු වන මගේ හිතවත් අරුණ පෙරේරාණන් ද ඒ අභිමානයෙන් ඔද වැටෙන බව පෙර සඳහන් ඔවුන්ගේ උපුටනයේ අවසානයේ දැක්වෙන පහත වැකි පෙළ සාක්‍ෂ්‍ය සපයයි: 

මේ අව තක්සේරුවක් නොව, සැබෑ ඇත්තය. එම හෝටල් අදටත් අප ඉතා ආඩම්බරයෙන් මතක් කරනා ආයතනයන්ය. ඔවුන්ගේ දායකත්වය සුළුපටු නොවේ.

අප වැනි පෞරාණික මිනිසුන්ගේ පෞරාණික රුචිකත්වයට ද ගෞරව කළ මගේ හිතවත් අරුණ පෙරේරාණනට තුති!

වර්ෂ 1938 දී “The Real Ceylon” නම් වටිනා කෘතියක් ලියූ Charles William Brooke Elliott එහි ලා මෙසේ පවසයි: 

In Ceylon the tired traveller seeks refreshment and enter-tainment in Hotels in the towns, and in the Rest-houses scattered throughout the Island, some 120 in number. Colombo is splendidly supplied to welcome travellers. On landing you are faced and graced by the Grand Oriental Hotel, in local Richshawdom known as “The periya (big) Hotel.

If you wish to film sunsets in colour, I recommend three sites – the roof of the Grand Oriental Hotel, the lawn of the Galle Face Hotel, and the garden at Mount Lavinia Hotel. I have thus secured marvellous sunsets, such as only Ceylon can produce. You can, too, in these surroundings conveniently slake the thirst that tropical sunsets usually provoke.

මා ළබැඳි අරුණ පෙරේරාණෙනි, C. W. Brooke Elliott වර්ෂ 1975 ත් වර්ෂ 2003 ත් අතර සමයේ දී “The Real Ceylon” කෘතිය “The Real Sri Lanka” යන නමින් ලියුවේ නම් ඔබතුමාගේ Lanka Oberoi, Ceylon Intercontinental සහ Pegasus Reef යන හෝටල එහි සඳහන් කරනු නියත ය. 

Grand Oriental Hotel ජීවමාන පුරාවෘත්තයක් ලෙස දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැඳේවා!

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

16 thoughts on “කොළොම්තොට නැත මහලු වී – අවන්හල නැත පැරණි වී : අරුණ පෙරේරාණන් සමඟ හෝටල පිළිබඳ කතිකාව

  1. බොහෝම පරණ හෝටලයක්නේ බලාගෙන ගියාම. මම හිතුවේ පරණම කලින් ඉන්ටකොන්ටිනෙන්ටල් දැන් කින්ස්බරි කියලා. ජී ඕ එච් එකේ ස්ටෑන්ඩඩ්ස් නම් සතුටු වෙන්න බෑ. මම ගිය අවුරුද්දේද කොහෙද ලන්ච් එකකට ගියා. යාළුවෙක් (ක්ලයන් කෙනෙක්) ඒකේ ෆූඩ් ඇන් බෙවරේජ් හැන්ඩ්ල් කලේ. දැන් එතකොට ඒක රජයේ හෝටලයක්ද? මම හිතන්නේ ලංකාවේ බහුතරයක් හෝටල් සේවා ඩිවලොප් නොකර ඉස්සර මෙහෙමයි අරහෙමයි කියලා විතරක් වැඩක් නෑ. අපිට තියෙන සම්පත් වලින් උපරිමය ටුවරිස්ම් කියලයි මම නම් තාමත් හිතන්නේ…

    Liked by 1 person

    1. රංගිගේ ආලෝචනයට ස්තුතියි!

      වර්ෂ 1973 දී ආරම්භ කෙරුණු Ceylon Inter-Continental Hotel ලංකාවේ පළමු වැනි තරු පහේ හෝටලය ය. එය සුන්දර හෝටලයකි. එහි පිහිටීම ද අගනා ය. Lanka Oberoi Hotel සහ Ceylon Inter-Continental Hotel යන හෝටල දෙක ම ලංකාවේ ප්‍රමුඛ සිවිල් ඉංජිනේරුවකු වූ යූ. එන්. ගුණසේකරයන්ගේ නිර්මාණ ය. Ceylon-Intercontinental Hotel කලකට පෙර අමායා සමූහයට අයත් ව තිබී දැන් Kingsbury Hotel ලෙස හේලීස් සමාගමට අයත් ව තිබේ. Lanka Oberoi Hotel ඉන්දීය ඔබරෝයි සමූහයෙන් පසු ව අයත් ව තිබුණේ ඒ. එච්. සී. සමාගමට ය. එවකට එම හෝටලය Colombo Plaza නම් විය. ඒ වර්ෂ 2003 දී පමණ ය. වර්ෂ 2005 දී එහි අයිතිය ජේ. කේ. එච්. වෙත හිමි වීමත් සමඟ එහි නම Cinnamon Grand Colombo බවට පත් විණි.

      පෙර කී හෝටල ඉතා ඉහළ ප්‍රමිතියේ හෝටල බව අවිවාදිත ය. Grand Oriental Hotel හි රංගි පවසන “ස්ටෑන්ඩර්ඩ්ස්” පෙර කී හෝටලවලට සාපේක්‍ෂ ව සතුටුදායක නො වන බව සත්‍යයකි. අදින් දශක එකහමාරකට පමණ පෙර Grand Oriental Hotel හි කළමනාකාරවරයා වූ ලනිල් ජයවර්ධන 2002 දී Daily News පත්‍රයට පවසන මතු දැක්වෙන ප්‍රකාශය ද එබව තහවුරු කරයි:

      “When I took over the hotel in the year 2000, I had a bad surprise at the reception counter. When I inquired as to how many rooms were occupied I was informed that there was only one booking. I was keen to meet this solitary guest and when I asked to who this guest was I was informed that the room booking was for the new Director General Manager, Lanil Jayawardane! And when I questioned as to how many bookings the hotel had for dinner I was told it was for two and that was for me and for the Duty Manager!”

      ලනිල් ජයවර්ධන පාලන කාලය තුළ Grand Oriental Hotel පුනර්ජීව වූ බව සැලකේ. ලංකා බැංකුවේ සේවය කළ මගේ හිතවතුන්ගෙන් මා මීට වසර පහ-හයකට පෙර දැන ගත් ආකාරයට නම් Grand Oriental Hotel යළි ජනාකර්ෂණය දිනා ලාභ ලබන ආයතනයක් ව පැවතිණි. වර්තමාන තත්ත්වය මම නො දනිමි. එහෙත් එය තවත් දියුණු කළ යුතු බව නම් නිසැක ය. රංගිගේ යෝජනාව අගනා ය. රජය ද එම යෝජනාව පිළිගන්නා බව සිරිසේන ජනධිපතිතුමා පසුගිය මැයි මාසයේ දී පවසා ඇති බව දැන ගතිමි.

      ඉංගිරිසි ජාතිකයන්ගේ අයිතිය යටතේ තිබූ Grand Oriental Hotel හි පළමු වැනි ලාංකික අයිතිකරු ලංකා බැංකුව ය. එනම් ලංකාණ්ඩුව ය. එම හිමිකම් පැවරුම සිදු වූයේ වර්ෂ 1954 දී ය.

      “ඉස්සර මෙහෙමයි අරහෙමයි කියලා විතරක් වැඩක් නෑ” යන රංගිගේ අදහසට මා එකඟ ය. “විතරක්” යනුවෙන් ද කියා ඇති නිසා ය. හෝටල් ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන මගේ ළබැඳි අරුණ පෙරේරාණන් ද දන්නා පරිදි Heritage Grand නම් සංකල්පයක් හෝටල විෂයෙහි ඇත. Heritage Grand නිර්ණයේ දී නම් “ඉස්සර මෙහෙමයි අරහෙමයි කියලා” “වැඩක්” ඇත.

      Grand Oriental Hotel ඉහළ තත්ත්වයකට පත් කරවීම කළ යුතු ම දෙයකි. එම හෝටලයේ විභවතාවන්‍ගෙන් උපරිම ඵල ලැබිය හැකි වන්නේ එවිට ය. මහනුවර Queen’s Hotel සඳහා එහි පිහිටීම වැදගත් වන්නේ යම් සේ ද කොළඹ Grand Oriental Hotel සඳහා ද එහි පිහිටීම ඉතා වැදගත් වන්නේ ය.

      හෝටල කතිකාවට දායක වීම පිළිබඳ මම රංගිට කෘතඥ වෙමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. රංගි සහ බන්ධුල…….මෙතනත් ලියා තැබිය යුතු අදහස් කීපයක් තියෙනවා. ඒකත් දිග මාගලක් වුනොත් කියලා බයයි. ඒ නිසා ඒක පසුවට ලියන්නම්.

        මහනුවර ක්වීන් හෝටලය කලක් පාලනය කලේ ඔබරෝයි හෝටලය මගින්. ඒ නිසා මම එහි කිහිපවරක් ගියා. ඉතිහාසයක්.

        මවුන්ට් ලැවිනියා හෝටලය අයිතිව තිබුනේ, යු.කේ.එඩ්මන්ඩ් පවුලට. තව ආයතන බොහොමයක් තිබුනා. ඔහුගේ පුතුන් මා සමග එකම පාසලෙ, එකම පන්තියේ කාලයක් ඉගෙනගත්ත අය. ගල්කිස්ස මගේ ජීවිතේ තවත් කොටසක්.

        හෙරිටේජ් ග්‍රැන්ඩ් සංකල්පය ගැනත් යමක් ලියන්නම් පස්සේ දවසක. අද අපේ විවාහයේ විසිනවවෙනි සංවත්සරය. මට ඇය සමග තනිවෙන්න ඕන 😀

        Liked by 1 person

      2. ඔබ දෙදෙනා තුලත් ඒ මහා ජීවන සෞන්දරත්වය සහ නොවෙනස් ආදරය මිය යන තාක්ම පවතීවා කියා, අපි දෙදෙනා බොක්කෙන්ම පතමු!!!!!

        Like

  2. දෙන්නම් පැණි වරකා-ගෙදර ගිහින් මගේ මැණිකා…….කියලා කියවෙන්නේ මේ වගේ පෝස්ට්ස් වලට. 😀 බොහෝමයක් නොදන්නා තොරතුරු දැණගත්තා. තොරතුරු සොයන්නන්ට ඉතාමත් වැදගත් වෙයි.

    ජීවිතේ පළමු වතාවට මම විශාල හෝටලයකට කියා ගොඩවැදුනේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයටය. එවකට එය තැප්‍රබේන් හෝටලය නම්විය. ඒ 1960 අගභාගයේ, මා කුඩා දරුවකු අවධියේය. ඒ අපේ මාලිකා අක්කා නම් ඥාති සොයුරකියගේ විවාහ උත්සවයටය. එම හෝටලයටම මම ඉන් වසර විසිගනනකට පසු ආපසු යැවෙන්නේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ශනයකටය. මට රට යෑමට ලැබුනු නිසා මම රැකියාව ඉවත ලන්නෙමි.

    පළමුවෙන්ම තැප්‍රබේන් ගිය කුඩා අරුණ, දෙවනුව මහා හෝටලයකට කියා ගොඩවෙන්නේ, ගාලුමුවදොර ඉදිරිපසින් පිහිට තිබු සමුද්‍රා හෝටලයටය. ඒ පත්මක්කා නම් ඥාති සොයුරියගේ විවාහ උත්සවයට බව මතකය. ඉන් වසර ගනනාවකට පසුව එම හෝටලයම ටාජ් සමුද්‍රා නමින් තරු හෝටලයක් බවට පත්විය.

    බන්ධුල….ඔබේ මේ අනර්ඝ ලිපියට මට කොටස් වශයෙන් අදහස් දක්වන්නට අවසර දෙන්න. මේ එක් කොටසක් පමනි.

    Liked by 1 person

  3. එම්.එස්.ඔබරෝයි මහතා නිසා ලංකාවේ හෝටල් කර්මාන්තයට, ආලෝකයක් ලැබුනු බව මගේ විශ්වාසයයි. ඒ හෝටලයක් පවත්වාගෙන යාම නිසාම නොවේ. ඒ වෙනුවෙන් බොහෝමයක් ශ්‍රීලාංකික කළමනාකරුවන් සහ කාරියන් පුහුනුකිරීමට දිල්ලියේ ඔබරෝයි හෝටල් පාසල හරහා මහා රාජකාරියක් සහ සේවයක් ලබාදීම නිසා බවත් කිව යුතුවේ. මේ තුලින් දැණුම ලබාගෙන ලංකා ඔබරෝයි හෝටලයට සේවය කල අය බොහෝය. සමහරුන් ලංකාවෙන්ම අත්දැකීම් ලබාගත් අයවේ.

    හිරාන් සේරසිංහ, එරාජ් අබේවර්ධන, මැක් ෆිලිප්ස්, මොහාන් ද සිල්වා,හොල්ඩන් බොට්ල්, හේමන්ත සුභසිංහ, අජිත් රත්වත්ත, ප්‍රසන්න නානායක්කාර සහ බිරිඳ, වනිගසේකර,ඇල්ලෙපොල,සහ මතක් නොවෙනා බොහෝ චරිත මේ ලැයිස්තුවට අයත් විය යුතුවේ.

    එම්. එස්. ඔබරෝයි එක වතාවක් මම දැක ඇත්තෙමි. ඒ වනවිට ඔබරෝයි ව්‍යාපාර සමූහය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර හෝටල් ආරම්භ කර තිබුනි. එහි සියළු පරිපාලන කටයුතු මෙහෙයවූවේ ඔහුගේ පුත් පී.ආර්.ඔබරෝයි විසින්ය. ඔහු ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධව සිටියේ බිකි ඔබරෝයි නමිනි. වසරකට වතාවක් ලංකාවට පැමිනියේය. ඉතාමත් දක්ෂ මිනිසෙක් සහ සීයට සීයක් සියල්ල පර්ෆෙක්ට් ලෙස දැකීමට කැමති එවන් මිනිසෙකු මම දැක නොමැත. සේවකයා යනු සම්පතක් බවද ඔහු තදින්ම විශ්වාස කල අයෙක් බව මම අසා ඇත්තෙමි.

    ////////ලංකා ඔබරෝයි නම් හෝටලයක් නොදුටු පෙර කී තරුණ වෛද්‍යවරයා විසිඑක් වැනි ශතවර්ෂයේ මුල් දශකයේ දෙවන භාගයේ දී වයෝවෘද්ධ විශ්‍රාමික වෛද්‍යවරයකු ලෙස කායික වෛද්‍යවරුන්ගේ ලාංකීය විද්‍යාලයේ වාර්ෂික සැසියකට පැමිණෙන කල ද /////////////////////////

    මේ ලියා තිබෙන වෛද්‍යවරයා කියන්නේ බන්ධුලමද යන්න කියා මට සැකයක් ඇතිවේ.

    මට පාලනය කරගත නොහැකිසේ අදහස් ගලා ඒ. මට ඒ සඳහා තවත් ඉඩදෙන මෙන් ඉල්ලමි. හිරාන් සේරසිංහ පිලිබඳවත්, ඔබරෝයි ඡායාරූපය පිලිබඳවත් යමක් ලියා තැබිය යුතුවේ.

    Liked by 1 person

    1. මා ළබැඳි අරුණ පෙරේරාණෙනි,

      ලියනු මැනවි! ඔබ ලියනා දේ කියවන්නට මම බලා සිටිමි. මා මෙම ලිපිය ලියුවේ ද ඔබ වෙනුවෙන් ම ය. මොහාන් ද සිල්වා මතක් කිරීම පිළිබඳ තුති. අතිදක්ෂ මිනිසුන්ගේ නාමාවලියකි ඔබ දැක් වූයේ. හිරාන් සහ ශාමිනි පිළිබඳ මා ඔබේ මුල් ලිපියේ අග ආලෝචනයක් පළ කර ඇත.

      ඔබරෝයි සමූහය යළි ලංකාවේ හෝටල ව්‍යාපාරයක් ඇරඹීමට කැමැති බව මම ඉන්දීය වෙබ් අඩවියක කියවීමි. ඔබරෝයි සමූහයට ලංකාව හැර යන්නට වූයේ කවර හේතු නිසා ද යන්න අරුණ පෙරේරා දනී.

      ඔබතුමා ලියනු මැනවි. මම ඉදිරියේ දී නුවර බෙරගල පැත්තේ මා සිත්ගත් හෝටලයක් පිළිබඳ අවසානයට ඔබෙන් විමසමි.

      අරුණ පෙරේරාණනට බොහෝ ස්තුතියි මෙවැනි මාතෘකා පිළිබඳ ලියන්නට මා යොමු කිරීම පිළිබඳ.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. ඇත්තටම බන්ධුල මේ මිනිසුන් ගැන ලියන්න බොහෝ දේවල් තියෙනවා. මේ ලැයිස්තුවේ හිරාන් සේරසිංහටත් වඩා උඩින් ඉන්න කෙනෙක් තමයි රනිල් බිබිලේ මහත්මයා. ඔහු මහාචාර්‍ය සේනක බිබිලේගේ පුතා. රනිල් බිබිලෙ කියන්නෙත් තවත් ඉස්තරම් මිනිසෙක්. මොවුන් ඇසුරේ සේවය කිරීමට ලැබීම භාග්‍යයක්. මොහාන් ද සිල්වාගේ අවමගුල් උත්සවයට මගේ මිතුරන් සහභාගීවී තිබුනා.

        Liked by 1 person

    2. මෙහි පළ ව ඇති ලංකා ඔබරෝයි හෝටලයේ ඡායාරූපය අසූව දශකයේ දෙවන භාගයේ දී මුද්‍රණය කෙරුණු තැපැල්පතකි. අරුණ පෙරේරා එපිළිබඳ වැඩි විස්තර පවසාවි!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

  4. ඔබරෝයි හෝටලයේ ඡායාරූපය මට බොහෝ දේ මතකයට නංවයි. මගේ අලස කමත් හදිසියත් නිසා බොහෝ දේ ලියවී නැත. ඒ වෙනුවෙන් තව බ්ලොග් පෝස්ට් එකක් ලිවීමට මම සිතාගත්තෙමි. මෙම ජායාරූපයේ ඇති ගොඩනැගිලි දෙකෙන් මූලික ගොඩනැගිල්ල අර පෙනෙන පෙට්ටිය වැනි එකය. ස්විමිං පූල් එකට පිටිපසින් ඉහළ තට්ටුවේ තිබුනේ මා සේවය කල අවන් හලය. හෝටලයට සෙකන්ඩ් වින්ග් එකක් නමින් තවත් විශාල ගොඩ නැගිල්ලක් හැදුනේ ඉන් පසුවය, එහිද කාමර විශාල ප්‍රමානයක්ද, අරලිය,සහ එක්සෙකිටිව් ක්ලබ් නමින් අවන්හල් දෙකක්ද විය. ඉන් එකක රොයිටර් ප්‍රවෘත්ති එසැනින්ම කියවීමේ පහසුවද තිබුනි. මා අරලිය එකේද සේවය කලෙමි. ඡායාරූපයේ පූල් එකට වම්පසින් ඇති බිල්ඩිමේ යට තට්ටුවෙ තිබුනේ අරලිය අවන් හලයි. එය ඒ කාලයේ හෝටලයක් සතුව තිබු විශාලතම අවන්හලයි. ප්‍රේමදාස ආර්යාවගේ, වෝටර් පෝලෝ සෙල්ලම්, අවන්හලේ සිට අපි බලන් සිටියෙමු. ඒවා මෙහෙම ලියනවාට වඩා, වෙනම පෝස්ට් එකක් සේ ලියා තබන්නට සිතාගතිමි. ඔය හතරැස් බිල්ඩිමේ වහල මුදුනට මම මිතුරන් දෙතුන් දෙනෙක් සමග, කාටවත් රහසේ නැග ඇත්තෙමි. අපි පොඩි සොමියක් ගත්තෙමු. රස්සාවල් ගහලා යන වැඩ කියන්නේ ඕවාටය. මහා රාත්‍රියේ ඒ අවට සිරිය කොතරම් සුන්දරද කියා කීමට අවශ්‍ය නොවේ. හෝටලයේ උඩම තට්ටුවේ තිබුනේ ඔබරෝයි සපර් ක්ලබ් නමින් ඉතා ප්‍රසිද්ධවූ රාත්‍රී සමාජ ශාලාවයි.

    හිරාන් සේරසිංහ ගැන යමක් ලියා අවසන් කරන්නෙමි.

    Liked by 1 person

  5. හිරාන් සේරසිංහයන් සත්තකින්ම අති සුන්දර මිනිසෙක් විය. ඔහු හෝටලයේ සිටි ජ්‍යේෂ්ඨතම කළමනාකරුවෙක් විය. අපට ඔහු සමග නිරතුරු ගනුදෙනුවක් නොවීය. නමුත් අප ඔහු දැකුමට ප්‍රිය කෙරුවෙමු. වැඩිපුර කතාබහක් නොමැති මේ මිනිසා, අතිශය දැකුම්කළු, සුන්දර මිනිසෙකි. ඒ සිනහව කවදාවත් අමතක නොවේ. නිහතමානී මිනිසුන් අතර වඩාත්ම නිහතමානි මිනිසා යැයි කීම අතිශෝක්ථියක් නොවේ. පසුකලෙක තරු පහේ හෝටලයක ජෙනරල් මැනේජර්වූ පළමුවැනි ශ්‍රීලාංකිකයා ඔහු බව මට මතකය. ඒ රමාඩා රෙනෙයිසන්ස් හෝටලයේය. මමත් ඔහු මෙන්ම එහි ආරම්භක සමාජිකයෙක්මි. ඔහුගේ වෙබ් අඩවියේ http://hiranserasinghe.com/biography/ ඔහු මෙසේ ලියා තිබේ. “The difference between the President of a nation and a General Manager of a hotel is the voter and the customer. The voter cannot demand for the perfection but a customer can. And both can oust you from your job if unsatisfied”
    Hiran Serasinghe.

    හිරාන් හිත හොඳ ලොක්කෙක්. මම හිත හොඳ සොක්කෙක් 😀 හිරාන් සේරසිංහ කියන්නේ දැක්කත් හිත පිරෙන බොහෝම සුන්දර දසුනක්!!!!!!!!

    උපුටා ගැනීමක්.
    ////Hiran Serasinghe
    Sri Lanka’s first 5-star General Manager
    After completing his studies at Isipathana Maha Vidyalaya in 1970, Hiran joined the Ceylon Tobacco Company in Kandy as a Factory Production Assistant.

    In 1973, he joined Lanka Oberoi (now Cinnamon Grand) as a Management Trainee, and was subsequently sent to the Oberoi Management School in New Delhi for a two-year course in hotel management.

    Hiran returned from New Delhi for the opening of the Lanka Oberoi in 1975 and served Oberoi until 1983 in different management levels. He left Oberoi in 1983 as Food and Beverage Manager.

    In 1983, Hiran was offered the post of General Manager, pegasus reef Hotel, Wattala, where he served until 1985. Then he came back to Ramada Renaissance (now Trans Asia) as Executive Assistant Manager. At that time Ramada was an American owned International Hotel chain.

    In 1987 he was promoted to Resident Manager. While at Ramada, Hiran was sent to the UK and Germany for further training as understudy to General Managers of those properties.

    In 1989, Hiran reached the zenith of his hotel career when he was appointed General Manager, Ramada Renaissance Hotel.

    A unique feature here is that at that time, Hiran was the first Sri Lankan to be appointed to the prestigious post of General Manager of a 5-star Internationally managed hotel. Hiran left Ramada in 1994 and was involved in consultancy services for the hotel and restaurant trade including three years at Millennium Park (now Excel World).

    From 2004, Hiran is the General Manager of Fingara Town and Country Club, owned by Finance and Guarantee Group of Ceylinco Consolidated.

    This is Sri Lanka’s most exclusive private members club. Since I met Hiran at the Pegasus Reef Hotel, Hendala in 1983, I always admired Hiran’s ‘down to earth’ qualities, treating his sub-ordinates not as his employees but ‘friends’.

    Hiran climbed the ladder of success not in an elevator, but step by step to be Sri Lanka’s first general manager of a 5-star internationally managed hotel in Sri Lanka./////////////

    Like

  6. අතිගරු කලානිධි බන්‍ධුල කුදලාගම සුදීමතුන් හා ගරු අරුණ පෙරෙරා මැතිඳුන් ගේ අතීත කතා සමග ඇදෙනා ශ්‍රී ලන්කා ආගන්තුක සත්කාර කර්මාන්තයේ ඉතිහාසය චිත්තප්‍රීතියෙන් යුතුව කියවූයෙමි…

    ඒ සා වටිනා ලිපි ලිවීම පිලිබඳ ඔබ දෙපලටම ස්තූත්යි…

    ප ලි: ගරු අරුණ පෙරෙරා මැතිඳුනි, අනිලානා හොටල සමූහය ගැනත් විස්තර දෙන්න පුලුවන්ද?

    Liked by 1 person

    1. සරස…..තෑන්ක්ස් ලොක්කා. මට ලංකාවේ හෝටල් සමග ආශ්‍රය අවුරුදු විසිගානකට එහාදී නැතිවෙලා ගියා. මම ඒ නිසා යමක් දන්නේ නැහැ. නමුත් අනිලානා සමූහයට, පර්පෙචුවල් කනෙක්ශන් එකක් තියෙනවා කියලා යාළුවෙක් කිව්වා. ඒක කටකතාවක් වෙන්නත් පුලුවන්. මම දන්නේ නැහැ.

      Like

      1. අරුණ පෙරේරාණෙනි, ගරු සරසතුමනි,

        Hotel Tree of Life පිළිබඳ ඔබ දෙදෙනාගේ අදහස් කෙසේ ද? එහි පරිසරය නම් සිත සනසනසුලු යි. මා ද මැණිකේ ද ඉතා ඇලුම් කරන තැනක් එය. ඔබ ‍දෙදෙනා එහි ගොස් ඇති බව සිතමි.

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s