සායම් අහිමි තොල්වලට ලිප්ස්ටික් ගෙනා රේඛා නිලුක්ෂි කෝ?

සායම් අහිමි තොල්වලට රේඛා නිලුක්ෂිගෙන් ලිප්ස්ටික්

වියුණුපති මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුන් ලාංකීය සිංහල වියුණුකරණයට දැක් වූ දායකත්වය පුරෝගාමී වියුණුකරුවකු ලෙස සිදු කළ දායකත්වය පමණක් නො වේ. මාතලන් මැතිඳුන් ලාංකීය සිංහල වියුණුකරණයට කළ සම්භාවනීය සම්ප්‍රදානය “මාතලන්ගේ සින්ඩිය” ය. බොහෝ වියුණුකරුවන් පාඨක ප්‍රජාව වෙත හඳුන්වාදීමේ ද වියුණුකරණය ප්‍රචලිත කිරීමේ ද සද්අභිලාෂ මාතලන්ගේ සින්ඩිය විසින් මනා ව සාක්‍ෂාත් කරනු ලැබේ. 2005-7 සමයට පසු ව මා ලියූ බොහෝ ලිපි පළ වී ඇති මෙම පොදුජන ක්ෂේත්‍ර වියුණුව ද පාඨක ප්‍රජාව වෙත ගෙන යාමට මාතලන් මැතිඳුන්ගේ ප්‍රමුඛානුග්‍රහය මහත් සේ දායක විණ. මාතලන්ගේ සින්ඩිය නිසා මගේ අවධානයට යොමු වූ වියුණුවක් මම ඉතා උවමනාවෙන් කියවීමි. මතු පළ වන්නේ එම වියුණුවේ නිබඳ ව කතිකා කරනු ලැබූ මාතෘකාවක් පිළිබඳ කෙටි සටහනකි.

නව වියුණුවක් හඳුන්වාදෙන මා හිතවත් මාතලන් මැතිඳු මෙසේ පවසයි:

රේඛා නිලුක්ෂි කියන්නේ රාවයේ ලියන කෙල්ලෙක්. එයා බ්ලොග් එකක් පටන් ගත්තා ලිප්ස්ටික් කියලා. මමත් ඒක කියෙව්වා.

මාතලන් මැතිඳුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මම ද රේඛා නිලුක්ෂිගේ ලිප්ස්ටික් වියුණුව කියවීමි. වරප්‍රසාදිත සහ අත්‍යුත්කර්ෂණීය වූ නාගරික ප්‍රාසාද මුඛයෙන් ඔබ්බෙහි සැඟ ව ඇති යථාර්ථයේ කටුකත්වය රේඛා සිය වර්ණ සිත්තමින් පාඨක මනනයන අභියස අවධාරණීය ව ප්‍රතිනිර්මාණය කරන්නී ය. රේඛා ‍ලිප්ස්ටික් තවරන්නී සායම් අහිමි තොල්වල ය. ඇයට විෂය වන චරිත අතර විධිමත් පාසල් අධ්‍යාපනය අහිමි වූ මාළිගාවත්තේ දරුදැරියන්, මව්පිය රැකවරණය ද ස්වාමි රැකවරණය ද අහිමි වූ ක්වාලාලම්පූරයේ තරුණ ස්ත්‍රීන්, ඩකාහි ළමා අභිසාරිකාවන්, අලුයම අවදි ව මත්කුඩු පැකට්ටු ගණන් කර ඉනික්බිති ව පාසල් ගිය මාළිගාවත්තේ දැරියන් ඈ නාගරික සමාජයේ පරිධියේ ස්ථානගත වූ සායම් අහිමි නා නා විධ චරිතයෝ වූහ. එම චරිත කිසිවකට හිමි ව තිබූ ජීවිත එම චරිතවල රුචිකර තෝරා ගැනීම් නො ව එම චරිතවලට අනිවාර්ය ව හිමි කර දෙනු ලැබූ ජීවිත ය. රේඛා එම චරිත දෙස සංවේදී ව බලන්නී හුදු අනුකම්පාවක් නො ව තදනුභූතියක් ම පාන්නී ය. සැබවින් ම එම චරිතවලට අවශ්‍ය වන්නේ ද අනුකම්පාව නො ව වටහාගැනීම ය.

අන්තඃනාගරික විෂමතා හෞතික ව පමණක් නො ව සාමාජීය ව සහ ආර්ථික ව ද ප්‍රකාශිත ය.

නාගරීකරණය සමඟ බැඳි සමාජීය ගැටලු ලෝක ව්‍යාප්තික ය. යුරෝපයේ නාගරීකරණය ප්‍රමුඛ සංසිද්ධියක් ලෙස මතු වන්නේ 19 වැනි ශතවර්ෂයේ දී ය. යුරෝපීය නාගරීකරණය යනු 18 වැනි ශතවර්ෂයේ අග භාගයේ සිට 19 වැනි ශතවර්ෂයේ මුල් භාගය දක්වා සිදු වූ කාර්මික විප්ලවයේ විෂම ඵලයකි. එකී කාර්මීක විප්ලවය සමඟ බැඳි නාගරීකරණයේ සාමාජීය ආචරණයන් මනා ව ප්‍රතිනිර්මාණය කළ ඉංගිරිසි ලේඛකයා ලෙස මා සලකන්නේ ඩේවිඩ් හර්බර්ට් ලෝරන්ස් ය. මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ විචාරක ගුරුකුලය විසින් ලංකාව තුළ ලෝරන්ස් පිළිබඳ නිර්මාණය කරන ලද ප්‍රතිරූපය අතිශය ව්‍යාජයකි. ලෝරන්ස්ගේ සමස්ත කෘති සම්භාරයේ පෙළවල පැවසෙන ලිංගිකත්වය පතිත වන සමාජ-දේශපාලන-ආර්ථික පසුබිම නාගරීකරණයේ වරප්‍රසාද අහිමි වූ  සමාජ ස්ථරය ය. එම ස්ථරයේ වූ දුක්ඛදෝමනස්සයන් ලෝරන්ස් තම අතිමනරම් භාෂාවෙන් පැවසුවේ ය.

විසි වැනි ශතවර්ෂයේ මැද වන විට නාගරීකරණය යුරෝපයෙන් පිටතට ව්‍යාප්ත වූ සංසිද්ධියක් බවට පත් විණ. නාගරීකරණය සැලකිය යුතු පරිමාණයකින් ලංකාවේ මතු වන්නේ විසි වැනි ශතවර්ෂයේ දෙවැනි භාගයේ දී ය. ලාංකීය නාගරීකරණයේ සාමාජීය ආචරණයන් මනා ව ප්‍රතිනිර්මාණය කළ කලාකරුවා ලෙස මා සලකන්නේ ශ්‍රේෂ්ඨ සිනමාකාර ධර්මසේන පතිරාජ ය. ඒ සඳහා අවැසි කලා කෞශල්‍යයත් සමාජ දෘෂ්ටියත් පතීට තරම් වෙනත් කිසි ම කලාකරුවකුට තිබූ බවක් නො පෙනේ. 

මා වැනි පෞරාණික, යල්පිනූ මිනිසුන් වුව සමකාලීන තරුණ ලේඛකලේඛිකාවන් නොකියවන්නේ නො වේ. වෘත්තීය ජනමාධ්‍යවේදිනියක වුව ද රේඛා නිලුක්ෂීට සාහිත්‍ය ගුණයෙන් පිරිපුන් ලේඛනයක් අකුරු ගළපන්නට මනා හැකියාවක් ඇත. ඇයගේ ලේඛන හුදු වාර්තා නො ව සාහිත්‍යයික වර්ණ සිත්තම් ය. එහෙත් ඇය අප හුදු මනෝභාවයන් තුළ මංමුළා නො කරයි. ඇය අප සාහිත්‍යයික  ලෝකයේ දාෂ්ටිමයාවෙන් එහා පවතින යථාර්ථයේ (මෙම වචනය මෙහි දී මා භාවිත කරන්නේ මනෝවිශ්ලේෂණීය අර්ථයෙන් නො වේ) මානයන් කරා ද රැඟෙන යයි.     

රේඛා නිලුක්ෂි සායම් අහිමි තොල්වල ලිප්ස්ටික් තැවරූ සටහනක් කියවා පහන් සිත් පත් මම මෙසේ පැවසීමි: 

ඔබගේ සටහන වැදගත් එකකි. අගනගරය පිළිබඳ නිර්මාණය කෙරී ඇති සුඛෝපභෝගීත්වය සහ ප්‍රභූත්වය උත්කර්ෂණය කෙරෙන මනෝරේඛය විසින් සඟවනු ලැබ ඇති මානයක් ඔබ අපගේ අවධානයට ගෙන එයි. 

බොරැල්ලේ වෝර්ඩ් පෙදෙසේ ගමන් කරන විට දකින සොඳුරුබව බොරැල්ලේ ම ලෙස්ලි රණගල මාවතේ ඈත ඇතුළට ගිය විට දැක ගත නොහැකි ය. රාජගිරියේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ ගමන් කරන විට දකින සෞභාග්‍යවත් ශ්‍රියාව රජ‍ගිරියෙන් මඳ දුරක් ඔබේසේකරපුර දෙසට ගිය විට දැක ගත නොහැකි ය. බොරැල්ලේ කොටා පාරේ බොරැල්ල දෙසට වන්නට ඇති මහා මන්දිරවල ඇති තේජස කොටා පාරෙන් ගෝතමී පාරට හැරී ඈත ඇතුළට ගිය විට දැක ගත නොහැකි ය. එකී වෙනස්කම් විසින් පැවසෙන්නේ හුදු භෞතික පරිසරයේ වෙනස්කම් පමණක් නො වේ. එකී වෙනස්කම් විසින් සමාජ-ආර්ථික පරිසරයේ බරපතළ වෙනස්කම් ද ශෝකාකූල ගීයෙක ලා පැවසේ. 

ඔබ ඔබගේ ලිපියට පාදක කර ගන්නේ වර්තමානයේ දී ඔබට ප්‍රත්‍යක්‍ෂ ව අනුභූතික වූ සත්‍යයන් ය යි හඟිමි. මා මීට දශක දෙක තුනකට පෙර දැක ගත් තත්ත්වය ද ඔබ වර්තමානයේ පවසන තත්ත්වයට වඩා වැඩි වෙනසක් නැත. එසේ නම් පසුගිය සමයේ නගර සංවර්ධනය යනුවෙන් මහා ධනස්කන්ධයක් වැය කර සිදු කරනු ලැබ ඇත්තේ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග දෙපස ශෝභමාන කිරීම පමණක් ද යන සංශය ද ඇති වේ. 

අගනගරය සහ අගනගරයෙන් පිටත ඇති සම්පත් විෂමතාව සන්සන්දනය කිරීම ප්‍රමුඛ කතිකාව වී ඇති යුගයක අගනගරය තුළ ම, අගනගර සීමාවේ පර්යන්තයේ පවතින ගැටලු ද එම පරිසරවල දිවි ගෙවන මිනිසුන්ගේ දුක්ඛදෝමනස්සයන් ද අවධාරණයට යොමු කරමින් ඔබ ලියා ඇති ලිපි කීපය මම අගයමි. සම්පත් උපයෝජනයේ විෂමතාව නගරය සහ ගම අතර පවතින ගැටලුවක් පමණක් නො ව නගරය තුළ ද පවතින ගැටලුවකි. ප්‍රමුඛ කතිකාව විසින් අන්තඃනාගරික සමාජ-ආර්ථික විෂමතාවන් නො සලකා හැරීම ද සැලකිය යුතු ගැටලුවකි.

රසබර හරබර සටහන් ලිවීමට විභවතාපූර්ණ වූ රේඛා නිලුක්ෂි වියුණුකාරිණියක ලෙස ඇරඹූ ප්‍රාපේක්‍ෂ්‍ය චාරිකාව මෙම වර්ෂයේ ජනවාරියේ සිට නතර ව ඇති සෙයකි (ඇය රාවයට නම් ලියන බව නිරීක්ෂණය කළ හැකි ය). රේඛා නිලුක්ෂි, සායම් අහිමි තොල්වලට නුඹ වර්ණ තවරන අසිරිය කියවන්නට අපි බලා සිටිමු. සිංහල වියුණු ලොව ප්‍රවර්තනය සඳහා නිති වෙහෙසෙන වියුණු ලොව ප්‍රමුඛානුග්‍රාහී වියුණුපති මාතලන් මැතිඳුනි, ලිප්ස්ටික් වියුණුකාරිය කෝ? ප්‍රතිරූපණ හිමිකම් පිළිබඳ පිළිගැටුමක් ද? 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

7 thoughts on “සායම් අහිමි තොල්වලට ලිප්ස්ටික් ගෙනා රේඛා නිලුක්ෂි කෝ?

  1. ලිප්ස්ටික් නැවත ආලේප කරනවා නම් හොඳ බව මගේත් අදහසයි. ඇය මහ පොලවට සමීප ලියන්නියක් බව මගේත් විශ්වාසයයි.

    බන්ධුල…වනාතමුල්ලට මගේත් සම්බන්ධකම් තිබුනා. ඒ පාසල් යන කාලෙදි. වේවැල් නැටුම් කොල්ලුපිටියේ වාළුකාරාමයේ පෙරහැරට එක්වන්නේ, වනාතමුල්ලේ සර්ධා නම් තරුනයා හරහා. ඔහු මට වඩා බොහෝ වැඩිමල් ඒ කාලයේ. නිවන්තිඩියේ ආනන්ද හාමුදුරුවන්ගේ කාලේ. මම කියන්නේ 77-79 වගේ කාලේ.

    Liked by 1 person

    1. එම වියුණුව කියවිය යුතු එකකි. ඇය හොඳින් ලියන්නට හැකි ලේඛිකාවකි.

      වනාතමුල්ල හෙවත් වනාතේ වෙන ම ලෝකයක් වැනි ය. විවිධ වතු සංකල්පවලින් ඒ ප්‍රදේශය සමන්විත ව තිබිණි. විවිධ සමාජ මට්ටම්වල අය එහි වාසය කළ බව පැවසිය යුතු ය. අකුරක් ලියන්න කියවන්න නොහැකි පුද්ගලයන්ගේ සිට භාෂා කීපයක් ව්‍යක්ත ලෙස ව්‍යවහාර කළ හැකි පුද්ගලයන් දක්වා විවිධ අය මට මුණ ගැසී ඇත. උපාසකයන්ගේ සිට කුලී මිනීමරුවන් දක්වා විවිධ අය ද මට මුණ ගැසී ඇත. ඔවුනට සාධාරණත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ ඔවුන්ගේ ම නිර්ණායක සහ ක්‍රමවේද තිබිණි. මොන ප්‍රශ්න තිබුණත් ඔවුන් විනෝද වන්න නම් අමතක කළේ නැත. අරුණ පෙරේරාණන්ගේ වචනයකින් පවසන්නේ නම් ඔවුන් ද “අමුතු මිනිස්සු” බව පැවසිය හැකි ය. පෙර කල වනාතේ කියූ විට එහි ධ්වනිතාර්ථය තරමක් අවුල් ව තිබිණි. මා ලිපියේ ඒ නම භාවිත නොකළේ ද එනිසා ය. කෙසේ වුව ද ඔවුහු අවුල් මිනිස්සු නො වූහ.

      මෙවැනි ම නම භයංකාර වූ පුද්ගලයන් මට ලංකාවේ උඩ කොටසේ සේවය කළ සමයේ ද මුණ ගැසී ඇත. අද අරුණ පෙරේරාණන් සමඟ, සරසතුමා සමඟ මා මනතුටින් සංවාද වන ලෙස ම මා ඔවුන් සමඟ ද සංවාද වී ඇත. ඇතැමෙක් අම්පාර පැරණි වැව අසල සන්ධ්‍යා මානයේ අප සමඟ ව්‍යායාම කළ අය වූහ. දශක දෙකහමාරක් ගෙවෙත් දී බොහෝ දේ වෙනස් වුණි. දකුණේ ඇතැමකු මංසන්ධිවල රතිඤ්ඤා දල්වා, කිරිබත් පිස, අනුභව කර මරණය සැමරූ මිනිසුන්ගේ ලේඛනවල ඒ පැරණි සංවාදශීලීන් සි‍ටි බව සිහි වන විට වේදනාවක් දැනේ. ඔවුනට ද සාධාරණත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ ඔවුන්ගේ ම නිර්ණායක සහ ක්‍රමවේද තිබිණි. කෙසේ වුව ද ඔවුහු ද අවුල් මිනිස්සු නො වූහ. මා අදටත් විශ්වාස කරන්නේ අපගේ බහුතරයකට එම මිනිසුන්ගේ ප්‍රශ්න නිවැරදි ව සම්ප්‍රේෂණය නො වූ බව ය. ඔවුන් යන්නට ආරම්භ කළ ගමන නො වේ අවසානයේ දී ගියේ. යන ගමනේ මඟ වැරදි ඇති බව පෙන්වා දෙන්නට ගිය එම ගමනේ පුරෝගාමීනට ද සදාකාලික ව නිහඬ වන්නට සිදු විණි. රාජිනීගේ සිට කේටිෂ් දක්වා ද ඉන් ඔබ්බට ද ඒ ඉරණමේ ඉතිහාසය රුධිරයෙන් ද කඳුළින් ද ලියවී ඇත. අරුණ පෙරේරාණෙනි, පෙර කී ව්‍යායාම කළ තරුණයෙක් නම් බණ්ඩාරනායක සිරිමතුන් සැදු පක්ෂයක ම ඉහළට පැමිණියේ ය. මොන ප්‍රශ්න තිබුණත් විනෝද වන්න නම් අමතක කළේ නැත! එතැනින් මම නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවන් වෙත පැමිණෙමි.

      නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවන් පිළිබඳ ලිපියක් ලිවිය යුතු ය. මට මතක යි අරුණ පෙරේරාණන්ගේ ස්වයංඅපදාන කාව්‍යයේ ආරම්භක සර්ගවල උන්වහන්සේ පිළිබඳ ලියා තිබුණු බව. මතු සටහන එම සර්ග අලළා ය.

      බණ්ඩාරනායක සිරිමතුන්ගේ පනස් හයේ විප්ලවයේ පංච මහා බලවේගයේ සංඝ සංරචකය නිවන්තිඩියේ ආනන්ද ස්ථිවර නාමය ද හොබවයි. එමතු නො ව බණ්ඩාරනායක සිරිමතුන් තල්දූවේ සෝමාරාම හිමියන්ගෙන් වෙඩි සැර වැද බිම වැටෙන සඳ ඒ අසල සිටි බණ්ඩාරනායක හිතෛෂීහු නිවන්තිඩියේ ආනන්ද නායක හාමුදුරුවෝ ය. උන්වහන්සේ ප්‍රසන්න පෙනුමැති ය, තේජස් ‍පෞරුෂැති ය, සර්වජන සම්භාවනීය ය. නා නා විධ ජාතිජාත්‍යන්තර, සමයසමයන්තර, දෘෂ්ටිදෘෂ්ට්‍යන්තර ජනීජනයා උන්වහන්සේ කෙරෙහි ආකර්ෂණය වූහ, දමනය වූහ, සුවචශ්‍රාවක වූහ. කොල්ලුපිටියේ වාලුකාරාමයට ආචාර කළෝ ශ්‍රීලනිප පාක්ෂිකයෝ පමණක් නො වූහ. අරුණ පෙරේරාණන්ගේ ක්ෂේමභූමිය දෙසට වන්නට පිහිටි පොල්වත්තට ළැදි වූ එජාප පාක්ෂිකයෝ ද ආගම අබිං ලෙස සැලකූ දේශපාලනක යෙදී කොල්වින් සහෝදරයා ද කොල්ලුපිටියේ වාලුකාරාමයට ආචාර කළෝ ය.

      හේන පිළිබඳ අගනා ලිපියක් ලියූ මගේ සන්මිත්‍ර ගරු සරසතුමා කොළඹ නගරයේ පැරණි ම පන්සල වූ කොටහේනේ දීපදුත්තරාරාමය පිළිබඳ සඳහන් කළ බව අරුණ පෙරේරාණනට මතක ඇති. එය වර්ෂ 1795 දී ආරම්භ කෙරිණි. එතැන් සිට අඩසිය වසකට ආසන්න කාලයක් ගෙවෙන සඳ වර්ෂ 1841 දී දෑහිතකාමී දානපති අරනෝලිස් සිල්වාණන්ගේ අනුග්‍රහයෙන් ද රත්මලානේ පරමධම්මචේතිය මහා පිරිවනේ නිර්මාතෘ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද කොල්ලුපිටියේ ආරම්භ වූ විහාරස්ථානය වර්ෂ 1977 දී අරුණ පෙරේරාණනට සෙවණ දුන් වාලුකාරාමය ය.

      අරුණ පෙරේරාණන් වාලුකාරාමයට පැමිණෙන කළ එහි විහාරාධිපති ධුර දැරුවෝ නිවන්තිඩියේ ආනන්ද නා හිමියෝ ය. වර්ෂ එක්දහස් නවසිය හැට ගණන්වල මුල දී විහාරාධිපති බවට පත් වූ උන්වහන්සේ දීර්ඝ කාලයක් එම ධුරය දැරූ සේක. වාලුකාරාමයේ පෙරහර ඇරඹුණේ ද හැට ගණන්වල මුල දී ය. හැත්තෑ ගණන්වල අග වේවැල් කතාව මගේ දැනුමට එක් කිරීම පිළිබඳ අරුණ පෙරේරාණනට තුති.

      නිවන්තිඩියේ ආනන්ද නා හිමියන් සිහි කළ කල මට සිහි වන තවත් චරිතයක් නම් චන්දි ය. චන්දි සහ මල්ලිකා පාගොඩ නිවසක් තනවා ගෙන පදිංචි වූයෙන් මගේ අසල්වැසියෝ වූහ. ඒ දෙපළට චානිමා සහ තාරක නම් දක්ෂ දරුවෝ දෙදෙනෙක් සිටියහ. අරුණ පෙරේරා මා අවුළුවාලයි; මේ පැරණි මතක ලියන්නට වුව හොත් අවසානයන් නැත! එනිසා යළි ලිපියට ම එමි.

      වර්තමානයේ අගනගරයේ ප්‍රමුඛ පාසලක් ලෙස සැලකෙන කොල්ලුපිටියේ මහානාම විද්‍යාලයේ ජන්මභූමිය කොල්ලුපිටියේ වාලුකාරාමය ය. වර්ෂ එක්දහස් නවසිය පනස් ගණන්වල දී මහානාමය අද පවතින භූමියට (පැරණි සෙනෙට් බංගලාව පිහිටි භූමියට) සංක්‍රමණය වූයේ එයට අනන්තර අසරෙහි වූ වාලුකාරාමයේ සිට ය. එය සිදු වූයේ මාවිත්තර රේවත නායක හාමුදුරුවන්ගේ කාලයේ දී ය. එම අතීත කතාව හොඳින් දන්නා සුධීමතෙකි ගුවන් විදුලියෙන් රූප මැවූ ප්‍රේමසර ඈපාසිංහ. ඈපා මහානාමයේ මුල් ම යුගයේ ඉංගිරිසි ගුරුවරයෙකි. එදවස වාලුකාරාමයේ විහාරාධිපති වූ මාවිත්තර රේවත නායක හාමුදුරුවන් ඥාතීත්වයෙන් ඈපාගේ බාප්පා ය.

      අරුණ පෙරේරාණන් සිහි කර තිබූ පරිදි ම වාලුකාරාම භූමියේ පසුපස මායිම විවෘත ව තිබිණි. මහානාමයත් කාන්තා විද්‍යාලයත් වෙන් කරමින් ඇදී ගිය කොන්ක්‍රීට් පාර මට මතක ය. ඔබතුමා පැවසූ කුඩා ප්‍රවේශ දොරටුව තව ම ඇති. එම පාර ඉනර් ෆ්ලවර් රෝඩ් හමුවන අන්තයට නුදුරු ව වාසය කළ සිංහල පවුල් අතළොස්සෙන් එකක් වූයේ මගේ මාමා කෙනකු සහ ඔහුගේ පිරිස ය. ශාන්ත අන්තෝනි බාලිකාව ව්‍යාප්ත ව ගියේ එම භූමිය මතිනි.

      අරුණ පෙරේරා පැරණි කඩ කීපයන් සිහි කර තිබූ නිසා එදවස ඒ අසල ප්‍රදේශයේ වූ දෙමළ සහෝදරයන් විසින් පවත්වා ගෙන යන ලද කඩ කීපයක් සිහි වේ. ඉනර් ෆ්ලවර් රෝඩ් ගාලු පාර දෙසට අවසන් වන තැනට නුදුරු ව සරුවට පැවති කඩයක් තිබිණි. එකල එලිපන්ට් හවුස් සමාගමේ මගේ ප්‍රියතම පානයක් වූ ලංකා ලයිම් (නියම කොළ පාට!) තිබූ කඩයකි එය. දැන් ලංකා ලයිම් නිෂ්පාදනය කෙරෙන්නේ නැති ව ඇති. ඔරෙන්ජ් බාර්ලි නම් යළි තිබෙන බව දනිමි. එලිපන්ට් හවුස් සමාගම සුද්දන් සඳහා ම නිෂ්පාදනය කළ ඉපැරණි පානය අරුණට මතක ඇති (අනිවාර්යයෙන් ම)! එය නම් තවමත් සීමිත ව නිෂ්පාදනය කෙරේ. මෙවැනි ම සරුවට පැවති කඩයක් ෆලවර් රෝඩ්හි යම් තැනෙක ද තිබිණි.

      මේවා සුන්දර මතක ය. අරුණ පෙරේරාණනට අපට මේවා රසබ‍ර වුව ද ‍එසේ නො වන අය ද සිටින බව මම දනිමි. ඒ අය අපට සමාව දෙත්වා!

      අරුණ පෙරේරාණෙනි, සැම දා සේ මෙදා ද මගේ අතීතකාමය දැල්වූවාට ඔබට තුති! ඔබ නම් අප්‍රමාණ මිනිසෙක්!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. වාළුකාරාමයට උදව්කල තුන්දෙනෙක් කියන්නම්. එතකොට ඒ ගැන හිතාගන්න පුලුවන්. එනම් කොල්වින් ආර් ද සිල්වා, රොනී ද මෙල්, ගාමිනි ජයවික්‍රම පෙරේරා.

        ෆ්ලවර් රෝඩ් එකේ තෝසේ කඩේට යාබදව හොඳ සරු සිල්ලර කඩයක් තිබුනා. රවී විජේරත්නලා ග්‍රේලයින් ආයතනය පටන්ගත්තේ ඒ ඉදිරිපිට තිබු විශාල නිවසේ. මගේ බිරිඳ එහි සේවය කලා. මම නිතර ඔය කඩේට යනවා ඉස්සර. විශ්වාස කරන්න ඒ මගේත් ප්‍රියතම ලංකා ලයිම් එකක් බීලා ගෝල්ඩ්ලීෆ් එකක් ගහන්න. පස්සේ ලංකා ලයිම් වෙනුවට ලයිම් ක්‍රශ් කියලා එකක් ගෙනාවා. ඒ මගේ ටේස්ට් එක නෙමේ. අපේ අම්මා කියනවා ලංකා ලයිම් බෝතලයක් දුන්නම මගේ බොරු ලෙඩ ඔක්කොම සුව වෙනවා කියලා. මට ලංකා ලයිම් ගෙනත් දෙන එක මගේ ආදරනීය බිරිඳත් කරා.එලිෆන්ට් හවුස් බිටර්ලෙමන් රසට හරියන වෙන රසක් නැත.

        ප්‍රේමසර ඈපාසිංහ විජේරාමේ හිටියේ. පුතා භාග්‍යා ඈපාසිංහත් ශාන්ත තෝමස් /එන්සීසී ක්‍රිකට් තරුවක්. ඔබ ඔවුන්ව හොඳින් දන්නවා ඇති. අසංග ගුරුසිංහගේ පියාත් ලංකා බැංකු නිලධාරියෙක් නේද..

        ආනන්ද හාමුදුරුවන් ගැන ලියන්න. ඔබ මගෙන් අසා තිබු ගීතය පිලිබඳ ප්‍රශ්නයට, පිලිතුර මම එතන සඳහන් කරා.

        Liked by 1 person

      2. ගරු අරුණ පෙරේරාණෙනි,

        පරිගණකය ඉදිරියේ අසුන් ගත්තේ මා සන්මිත්‍ර ගරු සරසතුමාගේ අභිනව වියුණු සටහනට එතුමා එක්කළ විඩියෝව පිළිබඳ සටහනක් තැබීමට සිතා ය. එහෙත් ඔබගේ මනබන්‍ධනීය, මනමෝහනීය, මනප්‍රබෝධනීය වදන් මිණි පෙළ නෙත ගැටියෙන්, මන වැදියෙන් මම කෙසේ නම් එවදන් පිළිබඳ තවත් වදන් කීපයක් නො ලියා සිටිම් ද?

        //වාළුකාරාමයට උදව්කල තුන්දෙනෙක් කියන්නම්. එතකොට ඒ ගැන හිතාගන්න පුලුවන්. එනම් කොල්වින් ආර් ද සිල්වා, රොනී ද මෙල්, ගාමිනි ජයවික්‍රම පෙරේරා.//

        එලෙස ම සේදවත්ත වලව්වේ මහා දානපතිනි හෙලේනා විජේවර්ධන ළමාතැනිය (මා මෙම වචනය යොදන්නේ හදපිරි ගෞරවයෙනි) සහ ඇයගේ පුතණු දොන් වොල්ටර් විජේවර්ධන ද වාලුකාරාමයට මහත් දායකත්වයක් දැක්වූහ.

        කිතුකයෙන් මිස මනුකයෙන් කිසි ‍දිනෙක දැක නැති මගේ මිත්‍රයකු වන අරුණ පෙරේරා මගේ හිතට අල්ලා ගියේ කුමක් හෝ පැරණි බැඳීමක් නිසා විය යුතු ය. අරුණ විජේරාමයේ වන කල මා ද එතැන සිට හූවක දුරිනි. එහෙත් හමු වී නැත. දැන් බැලින්නම් කොල්ලුපිටියේ ද පෙනෙන නොපෙනෙන මානයේ සිට ඇත. එහෙත් හමු වී නැත. දැන් මේ සටහන තබන මොහොතේ ද අප දෙදෙනා උපරිම වුව‍ හොත් පැය දෙක දුරින් සිටියි. එහෙත් හමු වී නැත.

        අරුණ පෙරේරාගේ ලංකා ලයිම් ලෝලය කිය වූ කල මට සිහි වූයේ “For people who like that kind of thing, that is the kind of thing they like” යන ප්‍රකට කියමන ය. Crush මට ද අල්ලා ගියේ නැත. Bitter Lemon සේ ම Dry Ginger Ale ද Tonic ද සන්දර්භය අනුව ය! මේ දේවල් මහා සුන්දර මතක. මේ දේවල් එක් පරම්පරාවක පොදු මතක වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මෙතරම් සමානකම් (කවුරු හෝ පවසයි ද දන්නේ නැහැ හැට පැනපු සීයලා දෙදෙනකු කලින් කතා කර ගෙන මේ දේවල් ලියන බව!!! මේ ළඟක දී අයකු විමසා තිබුණේ සරසතුමා ලිපිය පළ කරන්න පෙර ආලෝචනය ලියන්නට මට එවන්නේ ද කියා ය!)

        ඈපාත් දක්ෂ පිතිකරු ය. ගාමිණි ජයවික්‍රම රසවතාත් ඒ කාලයේ ම ක්‍රීඩා කළේ එක ම කණ්ඩායමට ය. ඔබ නිවැරදි යි අරුණ පෙරේරාණෙනි. අසංකාගේ පියා ඉන්‍ද්‍රසෝම ලංකා බැංකුවේ නීති අංශයේ; ඈපා මහජන සම්බන්ධතාවල (ලංකා බැංකුව සමඟ සමීප සබඳතාවක් මට තිබුණත් මම බැංකුකරුවෙක් නො වෙමි. මා එතැනට සම්බන්ධ වූ ආකාරය ලියූ හොත් ඥාතිමිත්‍රසංග්‍රහ චෝදනා නැඟෙන්නට ඉඩ ඇත!).

        බන්‍ධුල කුදලාගම,
        සදම්ටනය.

        Like

    1. The Read Us හිතවතාණෙනි,

      මෙම ලිපිය ලියන කල මට ඔබ ද සිහි විණ. ඔබගේ නව ලිපියක් කියවන්නට ද මම මඳ කලෙක සිට බලා සි‍ටිමි. ඔබ කාර්යබහුල වී ඇති බව හැඟේ. නව ලිපියක් පළ කරමු නේ ද?

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Liked by 1 person

  2. කුදලාගම මැතිදුනි, ඔබගේ දිරිමත් කිරීමට ස්තුති. මමද ලිපියක් ලියා පල කිරීමට බොහෝ කැමැත්තක් තිබුනද ඒ සදහා නිරවුල් මනසක් මේ දිනවල මට නැත. මාගේ මිත්තනිය මෙන්ම මවද මේ දිනවල අසනීපයෙන් පසුවෙති. ලංකාවේ පවතින දේශපාලන තත්වයද ඒ හා සමාන ලෙසම ඔද්දල් වී යැයි මට සිතේ.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s