බැද්දේ කුලවමිය: අහිමි වීම, ආශාව, පුද්ගලමූල විමුක්තිය හා සමාජමූල විමුක්තිය පිළිබඳ කියවීමට නිසි පෙළක්

බැද්දේ කුලවමිය: පුද්ගලමූල විමුක්කි අරගලයක සාහිත්‍යයික අග්‍රඵලයක්…

ඵෙතිහාසික ප්‍රවෘත්තීන් පාදක කර ගෙන නවකතා ලිවීම මෑත කාලයෙහි දී ප්‍රබල ව නැඟී පැමිණි ප්‍රවණතාවකි. සේපාලි මායාදුන්නේගේ මහාසාමි මා මෑත කාලයෙහි දී කිය වූ ප්‍රශස්ත ම ඵෙතිහාසික නවකතාවකි. මා මහාසාමී තරමට ම මහත් අභිරුචියකින් කිය වූ නවකතා කීපයක ම කතුවරිය වූයේ රූපා ශ්‍රියානි ඒකනායක ය. 

රූපා ශ්‍රියානි ඒකනායක  ලියූ “විජයයි – කුවේණියයි”, “සෙංකඩගල මහා බිසෝ” සහ “දුටිමි නෙතින් කසුප් නිරින්දේ” ඵෙතිහාසික නවකතා ශානරයෙහි ප්‍රගමනයෙහි එක් අවධියක් නියෝජනය කරයි. ඉතිහාසය තුළ පුද්ගලවාදී අරගලයක් සාහිත්‍යයික ව නිර්මාණය කරමින් සිටි රූපා ශ්‍රියානි ඒකනායක සිටුවර පුවත ලියමින් වර්තමානය කරා පැමිණීම ඇරඹුවා ය. සිටුවර පුවත මඟින්  ඇය තම නවකතා පෙළ ඉතිහාසයෙන් වර්තමානයට ගෙන එන්නී වුව පුද්ගලවාදී අරගලය පුළුල් සමාජ අරගලයක් බවට පත් කර ගත් බවක් මම විශ්වාස නො කරමි. එහෙත් ඇය තම නිසඟ භාෂා කෞශල්‍යයෙන් සිටුවර පුවතෙහි පෙළ වර්ණවත් කළා ය. සිටුවර පුවතෙහි පෙළ හැසිරවීමේ දී රූපා ශ්‍රියානි ඒකනායක පෑ භාෂා සූරත්වයෙන් වශිකෘත වූ ප්‍රතිභාසම්පන්න කිවිඳියක් දින ගණනක් යන තෙක් සිටුවර පුවතෙහි රස වෑහෙන වාක්‍ය උපුටා දැක්වූවා ය.  

රූපා ශ්‍රියානි ඒකනායකගේ සම්මානනීය විය යුතු නවකතාවක් වන බැද්දේ කුලවමිය යනු වර්තමානය තුළ පුද්ගලවාදී අරගලයක් සාහිත්‍යයික ව නිර්මාණය කිරීමේ ම වර්ධිත අවධියකි. රූපා ශ්‍රියානි ඒකනායක විසින් මැවෙන චංචලාදේවී ගැමි ලියකි. ග්‍රාමියත්වත්යෙන් පිටත සිට ග්‍රාමීයත්වය දෙස බලන නිරීක්ෂකයා විසින් ග්‍රාමීය සෞන්දර්යයෙහි උත්කර්ෂණයට ලක් කරනු ලබන ලාක්ෂණික චංචලාදේවි වටා නිබඳ ව පවතී. නමුත් ගම තුළ සිට ගැමි ජීවිතය දෙස බලන, එම ජීවිතය අත්විඳින චංචලාදේවිට ගැමිකම යනු වාස්තවිකත්වයක් මිස ෆැන්ටසිමය හැඟීමක් නො වේ. ගම පිළිබඳ ගමේ ම වසන චංචලාදේවිගේ අනුභූතික ඥානනය “වැව යි – දාගැබ යි – ගම යි – පන්සල යි” වැනි ගමට පරිබාහිර ව සිටින පුද්ගලයකුගේ ගම පිළිබඳ පරිකල්පනීය ඥානනය මෙන් සර්ව සෞන්දර්යයික වන්නේ නැත. චංචලාදේවි අත්විඳින ගැමි ජීවිතය ලෙස්ටර් ජේම්ස් පීරිස් බම්බලපිටියෙහි සිට ගමට ගෙන ගිය තම කැමරාව තුළින් මැවුණු ගැමි ජීවිතය නො ව ගැමි පරිසරයක දිගු කලක් රාජකාරිය කරමින් ගැමි ජීවිතය අත්විඳ එදෙස ආධානග්‍රාහි නො වූ නිරීක්ෂණයන් කරමින් ලෙනාර්ඩ් වුල්ෆ් තම ලේඛන තුළින් ප්‍රතිනිර්මාණය කළ ගැමි ජීවිතය ය.

ආශාව යනු කුමක් ද? ආශාව යනු අහිමි වීමේ ඵලය යි. ඔබට යමක් අහිමි වන තරමට ඔබ එයට ආශා කරයි. අහිමි වීම තීව්‍ර වන්නට වන්නට ආශාව ද තීව්‍ර වේ. කුමක් අහිමි වීම ද? අනෙකාගේ අහිමි වීම ය (අනෙකා නො ව අනෙකාගේ අහිමි වීම බව අවධාරණය කරමි). අනෙකාගේ අහිමි වීම යනු අනෙකාගේ ආශාව යි. “අපගේ ආශාව යනු අනෙකාගේ ආශාව යි” යනුවෙන් ලකාන් පවසන්නේ මෙම සම්බන්ධය යි. අපට අනෙකාගේ ආශාව සුපරිපූර්ණ ව සංකේතීය සරණිය තුළ හැඟවුම්කරණය කර ගත නො හැකි ය. ලකාන්ගේ ආශාවේ වස්තුව පදනම් වන්නේ මෙකී සම්බන්ධය මත ය. අහිමි වීම නිසා හට ගන්නා ආශාව විසින් අපහසුවට පත් වන මනසේ තවකාලික සැනසීම වාස්තවිකත්වයෙන් මිදී සුපරිපූර්ණ පරිකල්පනීය ලොවක ජීවත් වීම ය. ‍එම පරිකල්පනය නරක ම දෙයක් නො වන්නේ ය. එහෙත් එවැනි තාවකාලික සැනසීමක් සඳහා කරන ගෙවීම වන්නේ පුද්ගල අනන්‍යතා අර්බුද ය. 

රූපා ශ්‍රියානි ඒකනායක

අහිමි වීම හා ආශාව අතර සම්බන්ධය රූපා ශ්‍රියානි ඒකනායක තම ‍නවකතාවේ පෙළ තුළ මනා ව විදහා දක්වන බව පෙනේ (ඇය එසේ සිතා නවකතාව නො ලියන්නට ඇත. එසේ සිතා නවකතා ලිවිය යුතු ද නැත). නාගරික හා අර්ධ නාගරික පරිසරයක හැදී වැඩුණු වෛද්‍යවරයකු වූ තේමිය යම් අරුමපුදුම ජීවිතාවබෝධයක් එක වර ම ලබා වෛද්‍ය වෘත්තිය අතහැර දමා ග්‍රාමීය වනගත පරිසරයක් සොයා යයි. නගරය තුළ නිර්මාණය වූ ඔහුට ගම යනු සුපරිපූර්ණ ව සංකේතනය කර ගත නො හැකි ෆැන්ටසිමය අත්විඳීමකි. මේ අතර තුර දී ඔහුට චංචලාදේවි නම් ගැමි යුවතිය මුණ ගැසේ. ගැමි පරිසරයක හැදී වැඩෙන චංචලාදේවිට ගම යනු ෆැන්ටසියක් නො වේ. ඇයට අනුව අපාය සමාන ගම අතහැර ඇයගේ ෆැන්ටසිමය පරිසරය වන නගරය කරා එළඹීමට කටයුතු සැකසෙයි. ඇයගේ ආශාවේ විභවය නගරය හා නාගරික උගත් වෘත්තිකයා ය (චංචලාදේවි එකී ආශාවේ බැඳී එකී ආශාව තම ජීවිතයේ අවශ්‍යතාවක් නො කර ගන්නා බව සැබෑ ය). ඔහුගේ ආශාව ගම හා ගැමි නූගත් ගෘහිණිය ය. ඔබ ඔබගේ ආශාව තෘප්ත නො කර සිටින තෙක් එනම් ඔබට අහිමි දෙය ඔබ හිමි නො කර සිටින තෙක් එය සොඳුරු ය. වෛද්‍යවරයා හා තරුණිය විවාහ වෙති. ආශාව හෙවත් අහිමි වීම නැති ව යයි. දෙදෙනාගේ ම ෆැන්ටසිය බිඳී ඔවුන් යථ හා අභිමුඛ වේ. අවසානය ක්ෂිතිමය අත්දැකීමක් පමණි.

රූපා ශ්‍රියානි ඒකනායක සූර නවකතාකාරියකි. ඇය විසින් ලියවෙන්නේ නවකතාවක් මිස දාර්ශනික නිබන්ධනයක් නො වේ. එනිසා ඇය තේමිය සහ චංචලාදේවිගේ ජීවිත ඒඩ්වින්ගේ (තේමියගේ සුළු පියාගේ), කුමාරි මැණිකේගේ (තේමියගේ මවගේ) සහ ෂෙරීන්ගේ (තේමියගේ පැරණි පෙම්වතියගේ) ජීවිත සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය සංවර්ණනය කරමින්, රූපණය කරමින් සහ විවරණය කරමින් නවකතාවේ පෙළ වියමන් කරන්නී ය. ඇය වහරන බස සරල ය, නො වෙහෙසකාරී ය, ප්‍රබල ය, මනෝබන්ධනීය ය. ඇය අනුයන ආඛ්‍යාන රීතිය නවමු ය, ආස්වාදජනක ය, තේමානුරූපී ය. මෙම ලිපියේ අභිප්‍රායට අදාළ වන ලෙස මම ඉහත දැක් වූ මූලික චරිත සහ එම චරිතවල අන්තර්සම්බන්ධතා පිළිබඳ සංක්ෂිප්ත විමසීමක් කරමි. 

එඩ්වින් ධනවතෙකි; ව්‍යාපාරිකයෙකි. ඔහු තම සේවකයාගේ භාර්යාව වූ කුමාරි මැණිකේට ලොල් ය. තම සේවකයාගේ අකල් වියෝවෙන් පසු ඔහු කුමාරි මැණිකේ විවාහ කර ගනියි. ඒ කුමාරි මැණිකේගේ ආත්මයට ඒ වන විට එක් ව සිටින පුතු තේමියගේ භාරකාරීත්වය ද සමඟ ය. එඩ්වින් අධිපතිවාදී, අනම්‍ය, මානනීය, දෘඪ චරිතයකි. එහෙත් ඔහු සර්වනිෂේධනීය චරිතයක් ද නො වන්නේ ය. තම සේවකයාගේ භාර්යාව විවාහ කර ගන්නා එඩ්වින් ඇයගේ පුතණු තේමිය නො සලකා හැරියේ යැ යි මම විශ්වාස නො කරමි. එඩ්වින්ගේ සෘණාත්මක චරිත ලක්ෂණ විසින් තේමියගේ ‍පෞරුෂත්වය වර්ධනය වීමට සෘණාත්මක බලපෑමක් සිදු කරන ලද බව පැවසීම සහේතුක විය හැකි වුව ද තේමිය විසින් එඩ්වින් තුළ නිර්මාණය කර ගනු ලබන පසමිතුරු වස්තුවේ පරිමාණය එඩ්වින්ගේ සෘණාත්මක චරිත ලක්ෂණවල පරිමාණය සමඟ විසමානුපාතික ය. 

එඩ්වින් සහ තේමිය අතර වන පිතෘ-පුත්‍ර පිළිගැටුම වෙත ලකානියානු පිතෘ කතිකාව ඔස්සේ ප්‍රවිෂ්ට වන්නට කැමති කෙනකුට චිත්තරූපිය පියා සහ සංකේතීය පියා අතර හිඩැස, යථාමය පියාගේ කාර්යභාරය ආදී සංකල්ප උපයුක්ත කර විශ්ලේෂණයක් ඉදිරිපත් කළ හැකි ය. එහෙත් මෙම ලිපියේ සීමා තුළ මම එදෙසට යොමු නො වෙමි (ලකානියානු පිතෘ කතිකාව පිළිබඳ විග්‍රහයක් බන්‍ධුල කුදලාගම සහ ධීරානන්ද ගුණහේරත් යන අය විසින් සම්පාදිත “මනෝවිශ්ලේෂණය, කලා විචාරය සහ ලාංකීය මනෝවිශ්ලේෂකයෝ” නම් ලිපියේ අන්තර්ගත ය). සායනික නැඹුරුවක් ඇති අයකු තේමියගේ අර්බුදය කුඩා කල මව්පිය සෙනෙහස නො ලැබීම සහ/හෝ කුඩා කල නිසි ඇගයීම නො ලැබීම හෝ වැනි කාරණ ඔස්සේ විග්‍රහ කළ හැකි ය. රූපා ශ්‍රියානි ඒකනායක එකී නො කී සියලු විචාරක ගුරුකුලයන්ට අවස්ථාවක් බැද්දේ කුලවමිය පෙළ තුළ සපයා දී ඇත. 

රූපා ශ්‍රියානි ඒකනායක රූපණය කරන චරිත අතර අතිශය යථාර්ථවාදී වාස්තවික චරිතය වූ කලී කුමාරි මැණිකේ ය. ඇය අපට වාස්තවික ලෝකය තුළ හමුවන මාතෘ ය. තේමිය කුඩා කාලයේ දී ම කුමාරි මැණිකේගේ ස්වාමිපුරුෂයා අහිමි වීමෙන් පසු ඇය එඩ්වින් සමඟ විවාහ වන්නේ තේමියගේ අනාගත සුරක්ෂිතභාවය සලකා ය. එහෙත් ඇය එඩ්වින්ට භාර්යාවක ලෙස ඇගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කරන්නට අමතක නො කළා ය. කැබලිවලට බිඳී වෙන් වන්නට නියමිත කුටුම්බයක් තුළ අන්‍යෝන්‍ය ව විකර්ෂණය වන චරිත කීපයක් ඇද-බැඳ තබා ගත්තී කුමාරි මැණිකේ වන්නී ය. ඇයගේ ධෛර්යය, කැපවීම, කාර්යශූරත්වය මනා ව ද සාධාරණීය ව ද ඉස්මතු වන ලෙස නවකතාකාරිය පෙළ හසුරුවා ඇති බව මම ප්‍රශංසාත්මක ව පවසමි. බැද්දේ කුලවමිය නවකතාවේ බොහෝ දුරකට මා ගෙන යන්නට හේතු වූයේ කුමාරි මැණිකේගේ චරිතය ය. රූපා ශ්‍රියානි ඒකනායක මවන කුමාරි මැණිකේ යනු එනමින් හැඳින්වෙන සුවිශේෂය පමණක් නො වේ. කුමාරි මැණිකේ නම් වන සුවිශේෂය සමස්ත ස්ත්‍රී වර්ගයාගේ මාතෘ භූමිකාවේ සාමාන්‍යය වෙත පාඨයා ගෙන යන කදිම දර්ශකයකි. සුවිශේෂය මත පදනම් වන්නේ ඉතිහාසය ය. කලාව පදනම් වන්නේ සාමාන්‍යය මත ය. කලාකරුවා සුවිශේෂය භාවිත කළ යුත්තේ සාමාන්‍යය වෙත එළඹීමේ දර්ශකයක් ලෙස පමණි. 

එඩ්වින් සහ කුමාරි මැණිකේ යන චරිත වාස්තවිකත්වය සහ සාධාරණත්වය සමඟ සුසංයෝග කර ගොඩනඟන නවකතාකාරිය චංචලාදේවිගේ චරිතය සහ විශේෂයෙන් ම තේමියගේ චරිතය ගොඩනැඟීමේ දී එකී සද්ව්‍යවහාරයෙන් යම් දුරකට දුරස්ථ වී බව මගේ අදහස ය. චංචලාදේවි පරමාදර්ශයටත් වීරත්වයටත් නැංවීමේ නවකතාකාරියගේ අනවරත අභිප්‍රාය විසින් සවිඥානික ව හෝ අවිඥානික ව ආන්තික ලෙස තේමිය දුෂ්ටත්වයට නංවනු ලැබ ඇති අතර ම ෂෙරීන්ගේ ජීවන දෘෂ්ටිය සහ ව්‍යවහාරය අවප්‍රමාණය කරනු ලැබ ඇත. එය කෙතරම් දුරට ඉස්මතු ව ඇති ද යත් චංචලාදේවි සහ තේමිය යන සුවිශේෂයන් සාමාජීය සාමාන්‍යයන් වෙත පාඨකයා ගෙන යන දර්ශක බවට පත් වීම වෙනුවට එකී සුවිශේෂ, සුවිශේෂයන් ලෙස ම උත්කර්ෂණය වීමක් ද නවකතාවේ චරිත හිටි හැටියේ සදාචාරවාදී බණ කීමක් ද බැද්දේ කුලවමිය පෙළෙහි නිරීක්ෂණය ‍කළ හැකි ය. 

සාමාජීය මිනිසාගේ දෘෂ්ටාන්තයන් වන චංචලාදේවි සහ තේමිය යන අය මුහුණ දෙන ගැටලු හේතුප්‍රකාර ව ද සාධකප්‍රකාරව ද තේමියගේ පුද්ගලත්වය පිළිබඳ ගැටලුවක් වන්නේ ද? සාමාජීය මිනිසාගේ දෘෂ්ටාන්තයන් වන චංචලාදේවි සහ තේමිය යන අය මුහුණ දෙන ගැටලු යම් තරමකට හෝ ශමනය වන්නේ චංචලාදේවිගේ පුද්ගලත්ව නිපුණත්වය නිසා ද? නවකතාකාරිය තම පෙළ තුළ ආකර්ෂණීය, සංවේදනීය සහ ආශ්චර්යජනනීය ශිල්ප ක්‍රම උපයුක්ත කර පවසා ඇත්තේ පාත්‍ර වර්ගයාගේ ‍ඛේදනීය ඉරණම වූ කලී මූලික ව ම තේමියගේ ද අවශේෂ ලෙස එඩ්වින්ගේ ද පුද්ගලත්ව අර්බුදයක දුර්විපාක බව ය. එකී දුර්විපාක මඳකට හෝ ශමනය කරනු ලබන විමුක්තිකාමීත්වය ලෙස නවකතාකාරිය විසින් අවධාරණය කෙරෙන්නේ චංචලාදේවි නම් පරමාදර්ශී වීර පුද්ගලත්වය ය. බැද්දේ කුලවමි‍ය පෙළෙහි හමුවන චරිතවලට තම කුටුම්බයෙන් පිටතට ගොස් සමාජය සමඟ එක් ව හෝ එයට පිළිමල් ව හෝ පුළුල් ව අරගල කිරීමෙන් විසඳා ගත යුතු ප්‍රශ්න නැති තරම් ය! 

සමාජය යනු පුද්ගලයන්ගේ එකතුව ය, සාමාජීය ගැටලු යනු පුද්ගල ගැටලුවල එකතුව ය, ඒ ඒ පුද්ගලයාගේ ගැටලු විසඳා ගැනීමෙන් සමාජ ගැටලු විසඳෙන්නේ ය ආදී වූ ප්‍රතිගාමී ව්‍යාජ විඥානයක් බැද්දේ කුලවමිය නවකතාවෙන් ප්‍රචලිත කරයි. එය යම් ආකාරයක පුද්ගල පරමෝක්ෂය උත්කර්ෂණය කෙරෙන යති දෘෂ්ටියක් ද වන්නේ ය. සාරසමාජයක් සඳහා වන සාරමාර්ගය චංචලාදේවි සේ උපේක්ෂාසහගත වීම ය, බන්ධනමුක්ත වීම ය, අල්පේච්ඡ ජීවිතයකට අනුගත වීම ය ආදී ආගමික දේශනා කරන ශාස්තෘවරුන්ට ද සාරසමාජයක් සඳහා වන සාරමාර්ගය නගරයෙන් බැහැර ව ගම තුළ ස්ථානගත වෙමින් ස්වභාවධර්මය සමඟ සර්වානුගත වීම ය ආදී පාරිසරික දේශනා කරන පරිසරවාදීන්ට ද පමණක් නො ව ෆ්‍රොයිඩ්ගේ සිට ලකාන් දක්වා පුද්ගලමූල මනෝවිශ්ලේෂණවාදීන්ට ද බඩපිනුම් ගසන්නට බැද්දේ කුලවමිය නවකතාවේ පෙළ තෝතැන්නක් වී ඇත්තේ එලෙස ය. 

සාමාජීය මිනිසාගේ ගැටලු පුද්ගලමූල ව සැලකීමේ ඌනතිවාදී එළඹුම කලාවේ අරමුණු සමඟ සුසංවාදී සුසංයෝජනීය අනුගත වීමකට නො යයි (කලාවේ සහ කලා විචාරයේ අභිප්‍රේතාර්ථ පිළිබඳ විග්‍රහයක් බන්‍ධුල කුදලාගම සහ ධීරානන්ද ගුණහේරත් යන අය විසින් සම්පාදිත “මනෝවිශ්ලේෂණය, කලා විචාරය සහ ලාංකීය මනෝවිශ්ලේෂකයෝනම් ලිපියේ අන්තර්ගත ය). සමස්ත ලාංකීය සමාජයේ සමාජ සම්බන්ධතාවල එක් පැතිකඩක් විචිත්‍ර ලෙස නිරූණය කරන අගනා කලා කෘතියක් වන්නට තිබූ නවකතාවක් එක් පවුලක පුද්ගලමූල ගැටලු නිරූපණය කරන පවුල් පොතක් බවට පත් වීමේ දැඩි අවදානමක් බැද්දේ කුලවමිය තුළ මම දකිමි. එහෙත් එම අවදානම හුදු අවදානමක් පමණක් වී ඉන් ඔබ්බට වර්ධනය නො වී ඇත්තේ රූපා ශ්‍රියානි ඒකනායකගේ අතිදක්ෂ භාෂා ව්‍යවහාරයත් අනෙකුත් චරිත ගොඩනැඟීමේ දී ප්‍රකට කර ඇති සූරකමත් නිසා ය. 

බැද්දේ කුලවමිය ලියමින් ඉතිහාසයෙන් වර්තමානයට වර්ධිත චාරිකාවක පැමිණි රූපා ශ්‍රියානි ඒකනායක නම් මා අගයන ලේඛිකාවෙනි, පුද්ගලමූලත්වයෙන් සමාජමූලත්වයට පැමිණෙන්නට ද මම ඔබට සුබ පතමි. ඔබගේ මී ළඟ නවකතාවේ පෙළ තුළ සාමාජීය මිනිසාගේ ප්‍රශ්න දෙස සමාජමූල වූ කලාත්මක දෘෂ්ටියක් ඔබ විසින් හෙළනු ලැබීම දකින්නට මම මඟ බලා සිටිමි. 

වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න විසිනි. 

Advertisements

15 thoughts on “බැද්දේ කුලවමිය: අහිමි වීම, ආශාව, පුද්ගලමූල විමුක්තිය හා සමාජමූල විමුක්තිය පිළිබඳ කියවීමට නිසි පෙළක්

  1. බැද්දේ කුලවමිය ටෙලිනාට්‍යය නැරඹිය යුතුම ටෙලියක් ලෙස මම කියා සිටිනවා. මෙහි එකිනෙකාට නොදෙවෙනි රඟපෑම් පිලිබඳව නැවත නැවතත් ලියන්න සිතෙනවා. කලාතුරකින් බිහිවෙන නිර්මාණයක්. මේ තරමටම රසවිඳි නාට්‍යයක් තමයි ගොළු තාත්තා.

    Liked by 1 person

    1. පොදුජන ක්ෂේත්‍රයේ නිත්‍ය පාඨක අරුණ,

      මගේ ලිපියක් කියවා පරිකථනයක් කිරීම ගැන පළමු ව මගේ ස්තුතිය ඔබට. මා මෙහි ලියූ ලිපියකට පරිකථනයක් සැපයූ පළමු වැනි පාඨකයා අරුණ.

      මට එම ටෙලිනාට්‍ය බැලීමට හැකි වූයේ නැත. නමුත් පොත කියවන විට රූප මැවෙන තරම් ලස්සනට රූපා ශ්‍රියානි ඒකනායක බැද්දේ කුලවමිය ලියා තිබෙන බව පැවසිය යුතු ම යි. ඇය පරිපාලන‍ සේවයේ යෙදි වියත් ලේඛිකාවකි. මා ඇයගේ අනෙක් පොත් ද කියවා තිබේ. ඇය අඛ්‍යාන රීතිය මනා ව සහ අභීත ව හසුරැ වන ලේඛිකාවක්. ඇය නූතන ඉංග්‍රීසි නවකතා කියවීමෙන් මනා ආභාසයක් ලබා තිබෙන බව මගේ අදහස යි.

      ආනන්ද අබේනායක එම නවකතා‍ව පාදක කර ගෙන ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න යන බව මම දැන සිටියෙමි. ආනන්ද නියම දක්ෂයා. අරුණට මතක ඇති මුල් කාලයේ රූපවාහිනියේ විකාශනය වුණ නම ගිය ටෙලිනාට්‍ය බොහොමයක් ආනන්දගේ නිෂ්පාදන. ටෙලිනාට්‍යය විකාශනය කර අවසන් නම් යූ ටියුබ් එකේ ඇති. බඩ වැල වගේ ඇදෙන්නේ නැති ව ඇතිනේ නවකතාවක් මත පදනම් නිසා. බලන්න ගන්නට ඕනෑ.

      අරුණ ඔබට පුණ්‍යකාන්තිගේ ගිරයේ විඩියෝව අන්තර්ජාලයේ තිබී හමු වුණා ද? මා කාලයක සිට නැවත නරඹන්න සිතා සිටින ටෙලිනාට්‍යයක් ගිරය. ට්‍රිලීෂියා, ග්‍රේස්, පීටර්, වසන්ති, චාන්දනී, සිරිල් අගේට රඟ පෑ ටෙලිනාට්‍යයක්. පීටර් දක්ෂ නළුවා. පුණ්‍යකාන්ති වරක් පැවසූ විදියට ඇය කෞතුකාගාරයේ දී දුටු ගිරයක් නිසා ඇයට ගිරය නමින් නවකතාවක් ලියන්න සිතී ඇත්තේ.

      වික්‍රම

      Like

      1. ගිරය තේමා සංගීතය නම් ඔතන තියෙනවා. පීටර් අල්මේදා දක්ෂයෙක් තමයි.

        බැද්දෙ කුලවමිය තවම පෙන්වනවා. ඉරිදට පමනයි ස්වර්ණවාහිනියේ. අපි දන්න කියන මහේන්ද්‍රලගේ (එඩ්වින් ) , චාන්දනිලගේ (කුමාරි ), රොශාන් (තේමිය ) රඟපෑම් පිලිබඳ කිවයුතු නැහැනේ. නයනා හෙට්ටිආරච්චි (චංචලාගේ මව ) නදී කම්මැල්ලවීර (චංචලා) ආනන්ද කුමාර උන්නැහෙ (මාමා) බිම්සරා ප්‍රේමරත්න (ශෙරීන් ) මේ චරිතයන්ට කරන සාධාරනය නැරඹිය යුතුමයි.

        Liked by 1 person

      2. ස්තුතියි අරුණ! ටොරානා ආයතනය ගිරය ටෙලිනාට්‍යය ඩිජිටල් විඩි‍යෝ තැටියක් ලෙන නිකුත් කර ඇති බව දැන ගන්නට ලැබිණි. ගෙන්වා ගත යුතු තරම් වටිනා එකකි.

        අරුණගේ යොමු කිරීමෙන් බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යය නැරඹීම ආරම්භ කළෙමි.

        වික්‍රම

        Like

      3. අරුණ,

        අරුණගේ හඳුන්වාදීම මත මම බැද්දේ කුලවමිය ටෙලිනාට්‍යයේ දැනට විනාශනය වී ඇති කොටස් 37 න් 36 ක් නැරඹීමි. 31 වන කොටස සොයා ගන්නට නො හැකි ය.

        අරුණ පවසා ඇති පරිදි ම එම ටෙලිනාට්‍යයේ නළුනිළි කැලගේ රංගනය මාහැඟි ය; කිසිවකු අන් කිසිවකුට නො දෙවෙනි ය. මම බොහෝ සේ රසවින්දෙමි.

        අරුණ නවකතාව කියවා ඇති දැ යි මම නො දනිමි. මගේ අදහස නම් නවකතාව තුළ රසවිඳි කතාව ටෙලිනාට්‍යය තුළ නො සොයා ටෙලිනාට්‍යය රසවින්දනය කළ යුතු බව ය. නවකතාව තුළ නවකතාකාරිය පාඨකයා ගෙන යන ලෝකය ටෙලිනාට්‍යයකරුවාට ප්‍රතිනිර්මාණය කළ නො හැකි ය. එහෙත් ආනන්ද සහ පිරිස ඉතා උසස් ටෙලිනාට්‍යයක් නිපදවා ඇති බව මම නිසැක ව ම පවසමි. රූපා ශ්‍රියානි ඒකනායක තම නවකතාව ටෙලිනාට්‍යයකට පාදක කර ගැනීම අනුමත කර ඇති නම්, ආනන්ද එම නවකතාව ටෙලිනාට්‍යයක් බවට පත් කිරීමට ප්‍රශස්ත වෑයමක් දරා ඇත.

        අරුණට ස්තුතියි අමෘතය මා සමඟ බෙදා ගත්තාට!

        වික්‍රම

        Like

      4. ස්තුතියි අරුණ. එම විඩියෝව මඟ හැරුණේ එහි මාතෘකාව වරදවා යෙදීම නිසා ය. 29 වැනි නොටස් දෙකකි! 31 වැනි කොටස ඉතා වැදගත් ය. චංචලාදේවි ගම හැර නගරයට යන්නට තීරණය කරන දර්ශන ඇත්තේ එහි ය.

        Like

  2. //චංචලාදේවි අත්විඳින ගැමි ජීවිතය ලෙස්ටර් ජේම්ස් පීරිස් බම්බලපිටියෙහි සිට ගමට ගෙන ගිය තම කැමරාව තුළින් මැවුණු ගැමි ජීවිතය නො ව ගැමි පරිසරයක දිගු කලක් රාජකාරිය කරමින් ගැමි ජීවිතය අත්විඳ එදෙස ආධානග්‍රාහි නො වූ නිරීක්ෂණයන් කරමින් ලෙනාර්ඩ් වුල්ෆ් තම ලේඛන තුළින් ප්‍රතිනිර්මාණය කළ ගැමි ජීවිතය ය.// මේ වාක්‍ය ඛණ්ඩය තදින් සිත බැඳ ගත්තා.මා මෑත කාලයක කියවූ සර ගර්භ සාහිත විචාරයක්. මෙතැන ට ඒමට මග ලැබුනේ තරු රසී නැගණිය බුකියේ දැමූ යොමුවකින්. එයට ස්තූතියි. ලැකාන් ආදීන් පිළිබඳව සාමාන්‍යයෙන් සිංහල විචාරකයන් ගෙන් එන අපහාසාත්මක වදන් වලින් අත්මිදී විශ්ලේෂණයක් ගෙන හැර පෑමද ප්‍රසන්ශනීයයි.

    Liked by 1 person

    1. අපගේ ව්‍යායාමය ජනගත කරවන්නට මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුන් සපයන දායකත්වය අපි සැම දා අගයමු.

      සංස්කාරක මණ්ඩලය,
      සාර්වජනික ක්ෂේත්‍රය.

      Like

    1. Thank you Jay! I may get into hot water by answering your tricky question. But I am not hesitant to answer, and perhaps it may turn out to be a felix culpa. I read Dūlvala Alaṃkāre twice: firstly out of an interest in reading the so-called prestigious state-literary-award-winning novel of the year (I confess: I was not piqued), and secondly to verify my disposition regarding the text as I have recently heard some blokes singing elatedly praises about it in contrary to my personal assessment. I appreciate young blood getting into the literary arena, and I always try to see something good in their fresh works. If I do not find something worthy noting, I may not write anything as my senior colleague Bandula used to quote so frequently from Wittgenstein’s Tractatus Logico-Philosophicus: “What we cannot speak about we must consign to silence.”! “Whereof one cannot speak, thereof one must be silent.”!

      I have heard and read many volumes of commendations on Jay’s meticulous scholarship, authored by the great miser of appreciations in Bandula who, in his working days, often used to say “Brilliant! He’s a very good student”, and yet would only award just a bare pass mark of fifty! In my tribute to your scholarship, I should give you an answer. I shall put it like this:

      A writer of literary works has a privilege to fashion and retell a story in his/her own desired manner. But when a writer deals with History he/she should be careful in manipulating the facts as well as formulating fact-based-interpretations. The credibility of a text is something valuable to be preserved even in the wildest of hyperreal or magical-realistic narrations. A precept one should observe when reading History for any purpose is to keep the patriotism at bay. This is very important when reading the colonial history particularly that of British Ceylon. It has been a common malady for many readers to solely demonise the contributions of colonial rulers in their counter-ecstasy of Anglophobia. Jay, I am not a Brown Sahib at all but I do not want to contemplate on the history of British Ceylon as a mere constellation of boisterous acts by the British. This is my very personal view, and I acknowledge the authority of others to renounce it.

      If you revisit the text of Dūlvala Alaṃkāre in the light of my thoughts detailed above, you will find the answer to your initial question. If Jay would like to read a categorically specific referential criticism on the text, I shall email you my personal reading later. There are many things other than the ideological perspectives to discuss about Dūlvala Alaṃkāre in relation to the plot handling, the language, the agreement between the plot and the language, the factual fidelity in the temporal profile etc.

      A historical novels should not be a mere entertainment of surfing. But It should be a diving into the mighty oceans of history. The author of a historical novel should come up with a precious experience worthy to be shared with his/her readers.

      Let us be patient with the promising writer of Dūlvala Alaṃkāre as her best is surely in front of her.

      Wickrama.

      Like

  3. //A precept one should observe when reading History for any purpose is to keep the patriotism at bay. //

    Oh, at last, I found someone who mirrors my views on history and historical fiction. Thank you Wickrama.
    I am a lover and a amateur researcher of history for the sake of history, without conscious biases and prejudices.I read history untainted by my background. In any event, we live in the present which is a different time zone from the past – different values, culture, politics, rules, laws. Any period should be viewed in its own context. I, too, am not an Anglophobe by any means. In fact, I try not to be an Anglophile in my research, which is hard sometimes because I share the sense of history the British had/have. Heaven for me (which is unattainable in my circumstances) would be to be a historical researcher in GB !

    I have been reading historical fiction for at least 45 years, starting with W.A. Silva, Walter Scott, Marriot and Rosemary Sutchcliff. Have gone through Graves, Canning, Renault, Kingsley, Stewart, Duggan, Tranter et al, and gone on to McCullough, Iggulden, Low, Mantel, Cornwell and other modern writers. So, my tastes are rather spoiled. I tend to spot instances of mediocrity fairly soon in a HF and that puts me off the entire book. I reckon I am too harsh a critic of HF at times but, I can not help it. I haven’t read a large number of the current Sinhala HF but, of the few I read, the main fault had been the writers’ biases and prejudices coming through rather crassly. The other drawback was the writer failing to live up to the initial promise- abrupt and/or careless ending. Dulvala Alankaraya too doesn’t end too elegantly. However, by and large, it was quite readable.

    By the way, I think the great miser of appreciation has been way too generous in his appreciation of me, almost embarrassingly so ! I haven’t done any thing that could not be done much, much better by genuinely learned scholars like you and him.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s