සායනික වෛද්‍ය විද්‍යාව, හිසේ කැක්කුම්, රාජ්‍ය වෛද්‍ය සේවය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ කතිකාවක් – The Read Us සමඟ

Mrs Jens Wolff ට හිසේ කැක්කුමක් ද? (ශ්‍රීමත් Thomas Lawrence විසින් වසර 12 ක් තිස්සේ සිත්තම් කෙරුණු Jens Wolff මැතිනියගේ ආලේඛ්‍ය චිත්‍රය)

මෑත කාලයේ දී මා ඉතා උනන්දුවෙන් කියවන අගනා වියුණුවක් වන “දැනගන්න කියවන්න – කියවන්න දැනගන්න” යන ඇරයුම් පාඨයෙන් යුත් The Read Us වියුණුවේ හිසේ කැක්කුමක් සමබන්‍ධ කිසියම් සිද්ධියක් පිළිබඳ වියුණු සටහනක් පළ වී තිබිණ. එම වියුණු සටහන ඉතා වැදගත් එකකි. එම සිදුවීමට අදාළ නිල තොරතුරු මට දැන ගන්නට නො ලැබිණි. එහෙත් The Read Us මැතිඳුන් පවසන තොරතුරු මත විමසා බැලීමේ දී ද පෙනී යන්නේ මෙම සිදුවීමට වෛද්‍යවරුන්ගේ අනවධානය සහ/හෝ අසමත්බව හේතු වී තිබිය හැකි බව ය. එපිළිබඳ මට නිශ්චිත ව පැවසිය නොහැකි ය. මතු සටහන මා විසින් ලියවෙන්නේ පොදුවේ සැලකීමේ දී හිසේ කැක්කුමට ප්‍රතිකාර කිරීම ආශ්‍රිත වැදගත් කරුණු කීපයක් ද අදාළ සිදුවීම ආශ්‍රිත ව කතිකාවට පැමිණි වෙනත් කරුණු කීපයක් ද අලළා ය. මෙම ලිපිය ලියන්නට හේතු කාරණ සැපයූ, මෙම ලිපියේ කොටසක් ඉතා ශෝභමාන ව තම වියුණුවේ පළ කරන්නට කාරුණික වූ මා හිතවත් The Read Us තරුණ මැතිඳුනට ද මෙම සම්පූර්ණ ලිපිය මෙහි පළ කරවන්නට මා උනන්දු කරවූ මා ප්‍රිය සන්සඛි වෛද්‍ය කුමාර කළුආරච්චි සුධීමතුනට ද මගේ හෘදයංගම කෘතඥතාව පළ කරමි. 

විද්‍යාවක් මෙන් ම කලාවක් ද වන සායනික වෛද්‍ය විද්‍යාව 

Sir William Osler (Joyce Aris විසින් සිත්තම් කෙරුණු ආලේඛ්‍ය චිත්‍රය)

හිසේ කැක්කුම යනු අතිශය වැදගත් රෝග ලක්ෂණයකි. හිසේ කැක්කුම සඳහා වෛද්‍යවරයකු වෙත පැමිණෙන රෝගියකුගේ සායනික විස්තරය එම රෝගියාගේ වෛද්‍ය විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී තීරණාත්මක ය. නිසි සායනික පරීක්ෂණ (clinical examinations) නිර්ණයේ දී ද නිවැරදි රෝග විනිශ්චයේ (diagnosis) දී ද නිසි අන්වේෂණ (investigations) නිර්ණයේ දී ද නිසි ප්‍රතිකාර (treatments) නිර්ණයේ දී ද තීරණාත්ම සාධකයක් වන්නේ රෝගියා වෛද්‍යවරයා වෙත පැමිණීමට හේතු වූ රෝග ලක්ෂණයේ හෝ ලක්ෂණවල හෝ සායනික ඉතිහාසය (clinical history) ය. රෝගියාට සවන් දෙන්නට ශික්ෂණය නො වූ වෛද්‍යවරයා දක්ෂයකු නො වේ. එවැනි වෛද්‍යවරු බොහෝ දේ මඟ හරිති; එනිසා ම ඔවුනට බොහෝ දේ වරදී. දහනව වැනි ශතවර්ෂයේ දී උතුරු ඇමෙරිකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ සායනික වෛද්‍යවරයකු වූ ශ්‍රීමත් විලියම් ඔ(ර්)ස්ලර් රෝගියාට මනා ව සවන් දීමේ වැදගත්කම මෙසේ අවධාරණය කළේ ය: 

Listen to your patient, he is telling you the diagnosis.

වෛද්‍යවර⁣යකු මූලික ව ප්‍රතිකාර කළ යුතු වන්නේ රෝග ලක්ෂණවලට (symptoms) නො ව එම රෝග ලක්ෂණවලට හේතු වූ රෝග තත්ත්වයට ය. ජීවිතාවදානමක් සහිත රෝගීන් සඳහා ඇතැම් විට පළමු ව අදාළ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කර, පසු ව රෝග නිර්ණය කළ යුතු වන අවස්ථා ඇත. එනමුත් එවැනි අවස්ථාවල දී පවා වෛද්‍යවරයා සතු ව අනුමාන රෝග නිර්ණයන් (differential diagnoses) කීපයක් තිබිය යුතු ය. උණට මේ බෙහෙත ය; කැස්සට මේ බෙහෙත ය; හිසේ කැක්කුමට මේ බෙහෙත ය, වේදනාවට මේ බෙහෙත ය යනාදී ලෙස පෙති හෝ/සහ කරල් කීපයක් ලියා දීම සායනික වෛද්‍ය විද්‍යාව (clinical medicine) නො වේ. අතීතයේ ලංකාවේ පැවති ගැටලුවක් වූයේ රෝහල්වල වෛද්‍යවරු ප්‍රතිකාර කරනු කාලයක් තිස්සේ බලා සිටි වෙනත් සේවකයන් ගම්දනව් වැද රෝග ලක්ෂණවලට වට්ටෝරු බෙහෙත් දීම ය. අවාසනාව නම් වර්තමානයේ දී වෛද්‍යවරු ද ඒ තත්ත්වයට ම වැටී තිබීම ය. අප බෙහෙතක් නිර්දේශ කරන සැම මොහොතක ම එම බෙහෙත ලිවීමට පැහැදිලි හේතු ව (indication), එම බෙහෙත නිසා ශරීරයට සිදුවන දේ, එහි අතුරුඵල ආදී බොහෝ කරුණු ක්ෂණයකින් කල්පනා කර බැලිය යුතු ම ය. එසේ කරන්නට නොහැකි අය සායනික වෛද්‍යවරු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෝ ය (කෙතරම් පත්‍රිකා සුදුසුකම් තිබුණ ද). 

Dr. Osler in the Almshouse (විශිෂ්ට ජීවමාන ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු වන John Howard Sanden ගේ සිත්තම)

රෝගියකු පවසන රෝග ලක්ෂණ විමසා බලා එම රෝගියාගේ කළමනාකරණය සංවිධානය කර ගැනීම (එනම් නිසි පරීක්ෂණ, ප්‍රතිකාර ආදි ය නිර්ණය කිරීම) විද්‍යාවක් මෙන් ම කලාවක් ද වේ. වෛද්‍යවර⁣යකු විවිධ රෝග පිළිබඳ කියවා දැන සිටි පමණින් රෝගියකුයට ප්‍රතිකා⁣ර කළ නොහැකි ය. රෝග ලක්ෂණ විමසා එම ලක්ෂණවලට හේතු වන රෝග තත්ත්ව කීපයක් නිර්ණය කර, තවත් නිසි ප්‍රශ්න විමසා, රෝගියා පරීක්ෂා කර එම රෝග තත්ත්වවලින් වඩා ගැළපෙන රෝග තත්ත්ව පමණක් නිර්ණය කර, නිසි පරීක්ෂණ සිදු කර නිශ්චිත රෝග තත්ත්වය නිගමනය කළ යුතු ය. නිශ්චිත ප්‍රතිකාරය නිගමනය වන්නේ එවිට ය. ඒ සඳහා සැලකිය ය යුතු කාලයක් ගත වන විට ඉතා කල්පනාකාරී ව වඩා ගැළපෙන රෝග තත්ත්වයන් සලකා මූලික ප්‍රතිකාර ආරම්භ කළ හැකි ය. ප්‍රතිකාරය අවසන් වූ පසු ද ඇගයිය යුතු කරුණු පවතී.  රෝග තත්ත්වය සුව වී රෝගියා රෝහලෙන් බැහැර යාමෙන් පසු රොගියකුගේ කළමනාකරණය ආවශ්‍යයික ව ම අවසන් වන්නේ නැත. ඇතැම් රෝගින්ගේ රෝග තත්ත්වයන් පසුවිමසුම් කළ යුතු ය. මෙවැනි විද්‍යාවක් සහ කලාවක් වන සායනික වෛද්‍ය විද්‍යාව පොත් පාඩම් කිරීමෙන් පමණක් ප්‍රගුණ කළ නොහැකි ම ය. පොත් පාඩම් කිරීම වැදගත් නමුත් වාට්ටුවල රෝගීන් සමඟ කටයුතු කිරීමෙන් ලබන ප්‍රායෝගික පුහුණුව නැති ව සායනික වෛද්‍යවරයකු නම් විය නොහැකි ම ය; එසේ වීමට ඉඩ දිය යුතු ද නැත. ශ්‍රීමත් විලියම් ඔ(ර්)ස්ලර් වරක් මෙසේ පැවසුවේ ය: 

To study the phenomenon of disease without books is to sail an uncharted sea, while to study books without patients is not to go to sea at all.

The Read Us මැතිඳුන් සඳහන් කරන රෝගියාගේ සම්ප්‍රාප්තික රෝග ලක්ෂණය වූ හිසේ කැක්කුම සහ එහි ස්වභාවය විමසිලිමත් ව විශ්ලේෂණය කර ගත් මනා අවබෝධයක් ඇති වෛද්‍යවරයකුගෙන් එමැතිඳුන් පවසන ආකාරයේ අවාසනාවන්ත අකටයුත්තක් සිදුවන්න⁣ට තිබෙන ඉඩ ඉතා අඩු ය. එසේ නොවන්නේ ම ය යි පැවසිය නොහැකි ය. නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ වුව කලාතුරකින් අවාසනාවන්ත සිද්ධි සිදුවිය හැකි ය. 

නො සලකා හළ යුතු නැති රෝග ලක්‍ෂණයක් වූ හිසේ කැක්කුම 

හිසේ කැක්කුම විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එය කිසියම් මානසික පීඩාවක් වැනි හේතුවක සිට හිසේ/මොළයේ අභ්‍යන්තරයේ රුධිර ගැලීමක් දක්වා වූ විවිධ හේතු නිසා ඇති විය හැකි ය. එනිසා හිසේ කැක්කුම විවිධාකාර ය. 

ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ නො වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ප්‍රාථමික හිසේ කැක්කුම් නම් වේ. ප්‍රාථමික හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුත් ග්ලාන්‍යයකින් (රෝගාතුරභාවයකින්) යුක්ත ව සාමාන්‍ය දිවි පෙවෙතට බාධා කරයි. ප්‍රාථමික හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

1. පීඩනයක/තදවීමක ආකාරයේ හිසේ කැක්කුම (tension-type headache) 

2. ඉරුවාරදය (migraine)

3. සමූහය ලෙස කලින් කල ඇති වන හිසේ කැක්කුම (cluster headache)

4. හිසේ සහ මුහුණේ එක පැත්තක පමණක් වරින් වර ඇති වන තීව්‍ර හිසේ කැක්කුම හෙවත් පාරාශිතීය අර්ධකපාල හිසරදය (paroxysmal hemicrania)

ඇතැම් හිසේ කැක්කුම් වෙනත් රෝගාබාධයකට හේතු ප්‍රකාර ව සම්බන්‍ධ වී ඇති වන හිසේ කැක්කුම් ය. ඒවා ද්විතීක හිසේ කැක්කුම් නම් වේ. ද්විතීයීක හිසේ කැක්කුම් බොහෝමයක් සැලකිය යුත් මර්ත්‍යතාවකින් (මාරාන්තිකභාවයකින්) යුක්ත ව රොගියාගේ ජීවිතයේ පැවැත්මට බාධා කරයි.  ද්විතීක හිසේ කැක්කුම් කීපයක් මෙසේ ය:

1. සංස්ථානික ආසාධන නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to systemic infections)

2. හිසට සිදුවන අනතුරු නිසා වන හිසේ කැක්කුම (headache secondary to head injury)

3. රුධිර වාහිනීවල අසාමාන්‍යතා නිසා ඇති වන හිසේ කැක්කුම (vascular headache)

4. මොළය සහ හිස්කබල අතර ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to subarachnoid haemorrhage) 

5. මොළයේ ගෙඩි (පිළිකා හෝ පිළිකා නො වන) නිසා ඇති වන හිසේ කැක්කුම (headache secondary to brain tumours)

ප්‍රාථමික හිසේ කැක්කුම් කීපයක්

රෝගියකු තමාට හිසේ කැක්කුමක් ඇති බව පවසා වෛද්‍යවරයකු වෙත පැමිණි කල වෛද්‍යවරයා එම හිසේ කැක්කුමට හේතු ව පිළිබඳ නිගමනයකට එළඹිය යුතු ය. එම නිගමනයට එළඹීමේ දී වැදගත් ම ආරම්භක පියවර වන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ ඉතිහාසයට සවන් දී එය විශ්ලේෂණය කර ගැනීම ය. පෙර පැවසූ පරිදි පරීක්ෂණ සහ ප්‍රතිකාර නිර්ණය වන්නේ එම විශ්ලේෂණය මත ය. මෙය තරමක් සංකීර්ණ දෙයක් ලෙස පෙනෙන මුත් නිසි පුහුණුවක් ලද වෛද්‍යවරයකුට නම් ඉතා ආස්වාදජනක කාර්යයකි. ඒ සඳහා දැනුම, පුහුණුව මෙන් ම කුසලතාව ද තිබිය යුතු ය. සායනික වෛද්‍ය විද්‍යාව හුදු විද්‍යාවක් පමණක් නො ව කලාවක් ද වන්නේ එනිසා ය. රෝගියාට මනා ව සවන් දීමට ශික්ෂණය නො වූ පුද්ගලයාට නම් එම කලාව පිහිටන්නේ නැත. 

රෝගියා පවසන විස්තරයට සවන් දීමත් නිසි කරුණු ප්‍රශ්න කර ඉස්මතු කර ගැනීමත් මඟින් විවිධ හිසේ කැක්කුම් වෙන් කර ගැනීමේ මූලික පදනම සකස් වේ. 

බොහෝමයක් සුලබ හිසේ කැක්කුම් මාරාන්තික නො වේ. එසේ වුව ද දුලබ මාරාන්තික හිසේ කැක්කුම් අප විසින් නො සලකා හළ යුතු නැත. රෝගියකුගේ හිසේ කැක්කුමක් ඇගයීමේ දී එකී හිසේ කැක්කුම ඔහුගේ ජීවිතයට හානිදායක හිසේ කැක්කුමක් වන්නේ ද එසේ නොවන්නේ ද යන්න සායනික වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් ම නිර්ණය කළ යුතු ය. පීඩනයක/තෙරපුමක ආකාරයේ හිසේ කැක්කුම් හෝ ඉරුවාරදය හෝ සුලබ මාරාන්තික නො වන හිසේ කැක්කුම් වුව ද සෑම හිසේ කැක්කුමක් ම එකී මාරාන්තික නො වන හිසේ කැක්කුම් ලෙස සලකා ⁣නොවිමසිලිමත් ව කටයුතු කිරීම අඥානකමකි. 

කිසියම් රෝගියකුගේ හිසේ කැක්කුම,

– තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම ය යි ඔහු/ඇය පවසයි නම් හෝ  

– එසැණ මතු ව එසැණින් (තත්ත්පර හෝ මිනිත්තු හෝ කීපයක් ඇතුළත) ඉතා තීව්‍ර වේදනාවක් බවට පත් වූයේ ය යි ඔහු/ඇය පවසයි නම් හෝ 

– මඳ පීඩාවකින් හෝ දැඩි ව්‍යායාමයනින් හෝ කැස්සකින් හෝ යම් බරක් එසවීමෙන් ⁣හෝ පසු ව හට ගනී ය යි ඔහු/ඇය පවසයි නම් හෝ

– ඉහළ තීව්‍රතාවකින් යුක්ත ව උණ සහ ගෙල ප්‍රදේශයේ මාංශ පේශීවල තද ගතියක් සමඟ පවතී නම් හෝ 

– තීව්‍ර ලෙස ඇති වී ඒ සමඟ වික්ෂිප්තභාවයට පත්වීමක්, චර්යාව වෙනස්වීමක්, වලිප්පුව සෑදීමක් ආදී රෝග ලක්ෂණ සමඟ පවතී නම් හෝ 

– අභිනවයෙන් හට ගන්නේ ශරීරයේ යම් අංගයක දුර්වලතාවක්, හිරිවැටීමක් හෝ ⁣දෘෂ්ටියේ බාධාවක් සමඟ සම්බන්‍ධ ව නම් හෝ  

එම හිසේ කැක්කුම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු ම ය. ඉහත කරුණුවලට අමතර ව යම් පුද්ගලයකුගේ, 

– පළමු වැනි තීව්‍ර හිසේ කැක්කුම, 

– වයස අවුරුදු 50 කට වැඩි වියේ දී පළමු ව හට ගන්නා අලුත් හිසේ කැක්කුම, 

– හිසේ යම් නිශ්චිත ප්‍රදේශයක් ස්පර්ශ කළ විට වේදනාව දැ⁣නීමක් සහිත ව හට ගන්නා හිසේ කැක්කුම,

– නින්දට බාධා ඇති වී නින්දෙන් අවධි වන විට තීව්‍ර ලෙස පවතින හිසේ කැක්කුම 

ආදිය ද දැඩි අවධානයට ලක් විය යුතු හිසේ කැක්කුම් ය. මක් නිසා ද යත් එවැනි හිසේ කැක්කුම් දරුණු/මරාන්තික රෝග තත්ත්වයන් සමඟ බැඳී තිබිය හැකි නිසා ය. 

මෙහි දී මම තවත් කරුණක් පවසනු රිසියෙමි. හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනක් සිදුවීම නිසා හට ගන්නා ඉතා භායානක හිසේ කැක්කුම්වල දී ඛන්තු රේඛන සටහනේ (Electrocardiogram – ECG) කිරීටක ධමනි අවහිරතාව නිසා හෝ හෘදයේ ස්පන්දනය අක්‍රමිකතා නිසා හෝ ඇති විය හැකි ආකාරයේ වෙනස්කම් ද නිරීක්ෂණය කළ හැකි ය. මෙවැනි සංකීර්ණ අවස්ථාවන් කළමනාකරණයේ දී මනා දැනුමක් ද සායනික කුසලතාවක් ද අත්දැකීම් ද අවශ්‍ය ය. සායනික වෛද්‍යවරුන් එම ගුණාංග සම්මත ලෙස ප්‍රගුණ කර තිබිය යුතු ය. 

යම් ලෙසකින් දැඩි හිසේ කැක්කුමක් සහිත ⁣රෝගියකුට කිරීටක ධමනි අවහිරතාවකින් හෘදයාබාධ තත්ත්වයක් (සත්‍ය ලෙස ම) හට ගෙන ඇති ලෙස සලකා කටයුතු කිරීම විමසිලිමත් ව කළ යුතු දෙයකි. මක් නිසා ද ඇතැම් විට එම රෝගියාට දෙනු ලබන නිවැරදි ප්‍රතිකාර රුධිර කැටි ගැසීම වළක්වන/අඩු කරවන (ප්‍රතිආතංචක – anticoagulants, ප්‍රතිපට්ටිකා – antiplatelet ආදී) හෝ සෑදුණු රුධිර කැටි දිය කර හරින (ශීනලීනක – thrombolytic) හෝ ඖෂධ වන නිසාත්, යම් හෙයකින් දැඩි හිසේ කැක්කුමට හේතුව හිසේ අභ්‍යයන්තරයේ රුධිර වහනයක් වී තිබුණේ නම් එම තත්ත්වය පෙර කී ප්‍රතිකාර මගින් ඉතා දුස්සාධ්‍ය තත්ත්වයකට පත් විය හැකි නිසාත් ය. 

අප වටහා ගත යුතු වැදගත් කරුණක් නම් යම් හිසේ කැක්කුමක් තිබූ පමණින් ම සත්‍ය ලෙස ම හට ගෙන ඇති හෘදයාබාධ තත්ත්වයකට ප්‍රතිකාර නො කර සිටිය යුතු නැති බව ය. ඇතැම් හෘදයාබාධ ඇතැම් රෝගීනට කිසිදු හෘද වේදනාවක් නොමැති ව ද හට ගත හැකි බව සිහි තබා ගත යුතු ය. එසේ නම් සැලකිය යුතු ආකාරයේ හිසේ කැක්කුමක් ඇති අවස්ථාවක දී ම ප්‍රතිආතංචක (anticoagulant) ආදී ප්‍රතිකාර දිය යුතු රෝග තත්ත්වයක් ද පවතී නම් වඩා සුදුසු සම්මත ක්‍රමය CT පරීක්ෂණයක් සිදු කර හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් තිබේ ද නොතිබේ ද යන්න නිශ්චිත කර ගැනීම ය. හිසේ කැක්කුම පිළිබඳ රෝගියාගේ දුක්ගැනවිල්ල නො සලකා හැර කටයුතු කළ හොත් මෙවැනි කරුණු පිළිබද අවධානය යොමු නො වේ. වෛද්‍යවරු රෝගියාට මනා ව සවන් දීමට පුරුදු විය යුත්තේ එනිසා ය. 

මම තවත් කරුණු කීපයක් පවසමි:

හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාරයට පැමිණෙන සියලු රෝගීනට CT පරීක්ෂණ කළ යුතු නැත. එය වැරදි වෛද්‍ය ව්‍යවහාරයකි. CT පරීක්ෂණ යනු ඉතා ඉහළ විකිරණ ප්‍රමාණයකට රෝගියා නිරාවරණය කෙරෙන පරීක්ෂණ වර්ගයකි. එය අත්‍යවශ්‍ය රෝගීනට පමණක් කළ යුතු ය. නිසි රෝගියා තෝරා ගැනීමට වෛද්‍යවරයාට සමත්කම තිබිය යුතු ම ය.

ඇතැම් අවස්ථාවල දී හිසේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් නොමැති රෝගීනට පවා කිරීටක ධමනි අවහිරතාවෙන් හට ගන්නා හෘදයාබාධවලට රුධිර කැටි ගැසීම වළක්වන හෝ සෑදුණු රුධිර කැටි දිය කර හරින හෝ ප්‍රතිකාර දිමෙන් පසු හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවිය හැකි ය. මෙය කලාතුරනින් සිදුවන ප්‍රතිකාර සංකූලතාවකි. එය වෛද්‍යවරු සිතා මතා කරන අකටයුත්තක් නො වේ. හෘදයාබාධය නිසා මිය යන රෝගියා බේරා ගැනීමට කළ යුතු නිවැරදි ප්‍රතිකාරය, නිවැරදි ආකාරයෙන්, නිවැරදි රෝගියාට ම සිදු කරන විට ද පැන නැඟිය හැකි මෙවැනි අවාසනාවන්ත තත්ත්ව දෙස අපි අවබෝධයෙන් බැලිය යුතු ය. 

ඇතැම් භයානක හිසේ කැක්කුම්වලට හේතු වන හිස අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහන, නිදසුන් ලෙස: මොළය සහ හිස්කබල අතර ඇතුළතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage – SAH)  CT පරීක්ෂණය කරන අවස්ථාවේ දී (පමා වී නම්) රුධිර වහනයක් වී ඇති බවට CT පරීක්ෂණමූල සාධක නොපැවතිය හැකි ය. එවැනි අවස්ථාවල සායනික ඉතිහාසය ඉතා බැරූරුම් නම් ද CT පරීක්ෂණයේ අවකාශ අදිවසන දෝෂ (SOL – space occupying lesions; ගෙඩි හෝ තරල එකතුවීම් ආදිය) නැති නම් ද වෙනත් බාධා නැති නම් ද කටී ප්‍රදේශය (කොන්ද) විද සුෂුම්නා තරලය ගෙන රුධිර වහනයක් සිදු ව ඇති ද යන්න සම්පරීක්ෂා කරන්නට ද සිදු වේ. එසේ කළ යුතු ද යන තීරණයට එළඹෙන්නට රෝගියාගේ සායනික ඉතිහාසය ඉතා වැදගත් ය. කිසියම් රෝගියකු තම හිසේ කැක්කුම තම ජීවිත කාලයේ අත්විඳි නරක ම හිසේ කැක්කුම (the worst headache of one’s lifetime) බව ද එය ය⁣මකු තම හිසට මුඟුරකින් ගැසූ කලෙක මෙන් හෝ අකුණක් ගැසූ ලෙස (thunderclap) හෝ එසැණ මතු වූ ඉතා දැඩි ව දැනුණු හිසේ කැක්කුමක් බව ද පවසයි නම් එම සායනික ඉතිහාසය කිසි සේත් නො සලකා හළ යුතු නැත. ඒ වූ කලී මොළය සහ හිස්කබල අතර ඇතුළතින් ඇති උපඇරැක්නොයිඩ අවකාශයට රුධිරය වහනය වීම්වල දී (subarachnoid haemorrhage -SAH)  ඇති විය හැකි හිසේ කැක්කුමේ සුවිශේෂී ලාක්ෂණයකි. එවැනි රෝගීන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු ය. ඇතැම් විට එලෙස මතු වූ රුධිර වහනය වීම් යම් කාලයකින් ශමනය විය හැකි වුවත් පරීක්ෂණ සිදු කළ යුතු ය. මක් නිසා ද පළමු ව ඇති වූ පෙර කී ආකාර හිසේ කැක්කුමක් දෙවනු ව ඇති විය හැකි මාරාන්තික රුධිර වහනයක පෙර දැනුම් දීමක් විය හැකි නිසා ය. අප එකී අග්‍රේසර හිසරදය (herald headache) නො සලකා හැරීම බුද්ධිගෝචර නො වේ. 

The Read Us මැතිඳුන් පවසන රෝගියාගේ මරණයට හේතුව හෝ එම රෝගියාට ප්‍රතිකාර කිරීමේ දී කුමක් සිදු වී ඇති ද යන්න මම නො දනිමි. එහෙත් යමක් සිදු ව ඇති බව පැහැදිලි ය. ඒ පිළිබඳ අදාළ වෛද්‍ය කණ්ඩායම තම මාසික ග්ලාන්‍ය සහ මර්ත්‍යතා සමුළුවල (The Monthly Morbidity and Mortality Meetings) දී විමසුම් කර යම් අතපසුවීම්, ලුහුඬුතා සිදු ව ඇති නම් ඒවා අනාගතයේ දී පුනර්කරණය වීම වළක්වා ගැනීමට නිසි කටයුතු සම්පාදනය කර ගත යුතු ම ය. 

ඉතා සංකීර්ණ සායනික රෝග තත්ත්වවල දී පවා හානිය අවම වන ලෙස තීන්දුතීරණ ගෙන ප්‍රතිකාර කිරීම සඳහා නිසි ක්‍රියාපටිපාටි, ක්‍රියෝපදේශනමාලා පවතී. කායික වෛද්‍යවරු පුහුණු කිරීමේ දී ඔවුනට සංකීර්ණ සායනික ගැටලු ප්‍රශස්ත ලෙස විසඳන ආකාරය මනා ව පුහුණු කෙරේ. යම් සංකීර්ණ ගැටලුවක් පිළිබඳ නිසි තීරණ ගැනීම කනිෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු විය හැකි වුව ද ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට අපහසු වන්නේ නැත. ශික්ෂණ රෝහලකට ඇතුළු වන රෝගියකු ඇතුළත් කිරීමේ වෛද්‍ය නිලධාරියාගේ (admitting officer) සිට ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකයේ  (PCU – primary care unit / ETU – emergency treatment unit) වෛද්‍යවරුන් ඔස්සේ වාට්ටුවේ සීමාවාසික නේවාසික වෛද්‍ය නිලධාරියා (HO – intern house officer), ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන් (SHO – senior house officers), ‍ලේඛකාධිකාරීන් (registrars), ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීන් (SR – senior registrars) සහ විශේෂඥ වෛද්‍යවරයා/වෛද්‍යවරු දක්වා ධුරාවලීය වෛද්‍ය පිරිසක් විසින් පරීක්ෂා කෙරේ. 

මතු දැක්වෙන ක්‍රියාවලිය දෛනික ව, අනිවාර්යයෙන් ම සෑම ශික්ෂණ රෝහලක ම සිදු වේ. අනෙක් ප්‍රධාන රෝහල්වල ද ඇතැම් අතරමැදි පියවර රහිත ව එම ක්‍රියාවලිය දෛනික ව, අනිවාර්යයෙන් ම සිදු වේ. එය සිදු වන්නේ මෙසේ ය: 

වෛද්‍ය වෘත්තිකයකුගේ ජීවිතයේ මාධ්‍ය පඬිවරු නොදකින, නොදනින කාර්යභාරය

කිසියම් රෝගියකු රෝහලට ඇතුළු වූ විට ඇතුළත් කිරීමේ වෛද්‍ය නිලධාරියා විසින් එම රෝගියා මූලික පරීක්ෂාවකට ලක් කෙරේ. එම පරීක්ෂාවේ අරමුණ රෝගියා හදිසි/ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ යුතු ද නැත හොත් වාට්ටුවකට එක වර ඇතුළත් කරන්නට හැකි තත්ත්වයක සිටී ද එසේ නම් ඇතුළත් කළ යුතු වාට්ටුව කුමක් ද යන්න නිර්ණය කිරීම ය (ඇතැම් අවස්ථාවල බැරෑරුම් නො වන රෝග තත්ත්වවල දී ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දී අදාළ විශේෂ වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඇතැම් රෝගීනට පිට ව යාමට අවසර දෙනු ලැබේ).

වාට්ටුවකට එක වර ඇතුළත් කිරීමට නුසුදුසු තත්ත්වයක සිටින රෝගීන් ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයකට හෝ හදිසි ප්‍රතිකාර ඒකකයකට හෝ ඇතුළත් කෙරේ (දශක ගණනකට පෙර සිදු වූ ලෙස වර්තමානයේ දී සියලු අසාධ්‍ය රෝගීහු සෘජු ව ම වාට්ටුවලට යොමු ⁣නො කෙරෙති. එමඟින් කාර්යක්‍ෂම තාව ඉහළ නැගී ඇත. නමුත් කනිෂ්ඨ වෛද්‍යවරුනට හදිසි රෝග තත්ත්ව කළමනාකරණය කර ගැනීමේ කුසලතා වර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථා නම් අඩු ව ඇත. හදිසි රෝග තත්ත්ව කළමනාකරණය සායනික වෛද්‍ය විද්‍යාවේ ආස්වාදනීය ම අත්දැකීම ය).

එහි දී රෝගියාගේ ජීවිතයට හානියක් විය හැකි හදිසි තත්ත්වයනට අවධානය යොමු කෙරේ. එය රෝහලක ඇති ඉතා කාර්යබහුල ඒකකයකි. හදිසි රෝග තත්ත්ව සඳහා මූලික ප්‍රතිකාර කිරීමේ දී විවිධ විශේෂ වෛද්‍ය කණ්ඩායම්වල සහය ලබා ගැනීම ⁣මෙම ඒකකයේ දී සිදු වේ. අදාළ ක්ෂේත්‍රවල ලේඛකාධිකාරීහු හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරු හෝ ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකය වෙත අවශ්‍ය අවස්ථාවල දී එම ඒකකයේ වෛද්‍යවරුන් විසින් කැඳවනු ලබති. එසේ ප්‍රතිකාර කර ස්ථාවර තත්ත්වයට පත් කරන ලද රෝගීහු අදාළ වාට්ටු කරා ගෙන යනු ලබති. 

මෙලෙස ප්‍රාථමික/හදිසි ප්‍රතිකාර ඒකකය හරහා හෝ සෘජු ව හෝ වාට්ටුවකට ඇතුළත් කරනු ලබන රෝගීහු ⁣සීමාවාසික වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කරනු ලැබ, කළ යුතු මූලික පරීක්ෂණ සහ ප්‍රතිකාර නිර්ණය කෙරේ. අවශ්‍ය මොහොතක ලේඛකාධිකාරීගෙන් හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියාගෙන් හෝ රෝගියා සඳහා කළ යුතු දේ පිළිබඳ විමසුම් කිරීමට  ⁣සීමාවාසික වෛද්‍ය නිලධාරියාට හැකි ය. 

(උපවිශේෂ වෛද්‍ය ඒකකවල සීමාවසික වෛද්‍ය නිලධාරීහු නැත. එම වාට්ටුවල මූලික කටයුතු වෛද්‍ය නිලධාරීන් විසින් සිදු වේ)

ලේඛකාධිකාරීවරයකු හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියකු හෝ විසින් සෑම රෝගියකු ම පරීක්ෂා කරනු ලැබිය යුතු ය. විශේෂි වූ පරීක්ෂණ සහ ප්‍රතිකාර නිර්ණය කෙරෙන්නේ එම පියවරේ දී ය. සංකීර්ණ ගැටලු සහගත අවස්ථාවල දී ලේඛකාධිකාරීට හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියාට හෝ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී හෝ විශේෂඥ වෛද්‍යවරයා හෝ සමඟ සාකච්ඡා කළ හැකි ය. 

මෙසේ පරීක්ෂාවට සහ ප්‍රතිකාරයට ලක් වන රෝගීහු පසු දින ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී සහ විශේෂඥ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කෙරෙති. එය ඉතා වැදගත් අවස්ථාවකි. ඒ මොහොත වන විට වෛද්‍ය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් තම කාර්ය මනා ව ඉටු කර තිබීම වැදගත් ය. ඉතා බැරෑරම් පරීක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳ තීරණ ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවේ දී ය. 

ධුරාවලියේ ඒ ඒ ශ්‍රෙණියේ දී ඒ ඒ වෛද්‍යවරයා කළ යුතු කාර්යය නිසි ලෙස ඉටු වී නැති නම් විශේෂඥ වෛද්‍යවරයාට තමාගේ කාර්ය කිරීමට පෙර සෙසු වෛද්‍යවරුන්ගේ කාර්ය කිරීමට සිදු වේ. සීමාවාසික වෛද්‍යවරයා නිසි ලෙස රෝග ඉතිහාසය විශ්ලේෂණය කර නැති නම්, ලේඛකාධිවරයා හෝ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා හෝ නිසි ලෙස රෝගියාගේ සායනික ගැටලු විශ්ලේෂණය කර නැති නම් එම කාර්ය ද විශේෂඥ වෛද්‍යවරයාට ම කරන්නට සිදු වේ. එය වාට්ටුවේ සියලු කටයුතු අකාර්යක්ෂම කිරීමකි. තමා යටතේ පුහුණු වන සහ සේවය කරන වෛද්‍යවරුන්⁣ තම කාර්ය නිවැරදි ව, කාර්යක්ෂම ව සිදු කරන්නේ ද යන්න නිරන්තර ව සොයා බැලීම සහ ඔවුන් පුහුණු කිරීම විශේෂඥ වෛද්‍යවරයාගේ වගකීමකි. දැඩි විනයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒකකවල සේවය කරන කනිෂ්ඨ වෛද්‍යවරුනට නම් තම කටයුතු නිසි ලෙස ඉටු නො කර වැඩි කලක් එම ඒකකවල රැඳිය නොහැකි ය. එය එසේ විය යුතු ම ය. 

ශික්ෂණ රෝහල්වල ඇති මහාචාර්ය ඒකකවල (වෛද්‍ය පීඨවලට අනුයුක්ත ඒකකවල) පුරුෂ රෝගීන්ගේ වාට්ටුව සහ ස්ත්‍රී රෝගීන්ගේ වාට්ටුව වෙන වෙන ම පරීක්ෂා කිරීමට සෑම දිනක ම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනක් සිටිති. අනෙක් බොහෝ වාට්ටුවල එක ම විශේෂඥ වෛද්‍යවරයා වාට්ටු දෙක ම පරීක්ෂා කළ යුතු ය. රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ දිනවල විශේෂඥ වෛද්‍යවරයා එක් වාට්ටුවක් සම්පූර්ණයෙන් පරීක්ෂා කර අනෙක් වාට්ටුවේ අවධානය යොමු විය යුතු අසාධ්‍ය රෝගීන් පමණක් පරීක්ෂා කරයි. සියලු රෝගීහු අනෙකුත් වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කෙරෙති. එමඟින් විශේෂඥ වෛද්‍යවරයාට එදින ම යොමු කළ යුතු රෝගීහු හඳුනා ගැනෙති. එවැනි දිනවලින් පසු දින රෝගී පරීක්ෂාව ඇරඹෙන්නේ ම පෙර දින සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්නට නොහැකි වූ වාට්ටුවෙන් ය. 

එසේ වන කල ද The Read Us මැතිඳුන් පවසන ආකාර සිදුවීම් සිදු වන්නේ නම් එය මහත් ඛේදනීය තත්ත්වයකි. සෑම මනුෂ්‍ය ජීවිතයක් ම මනුෂ්‍යයකු වීම නිසා ම එක හා සමාන ව වැදගත් ය. වෛද්‍ය විද්‍යාවේ සියලු අභිවර්ධනයන්ගේ ඒකායන අරමුණ ඒ සා වැදගත් සියලු මනුෂ්‍ය ජීවිත හැකි උපරිමයෙන් රැක ගැනීම ය. 

තමන්ගේ විශේෂ ක්ෂේත්‍රයට අදාළ වෙනත් වාට්ටුවල සහ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීහු ද විශේෂඥ වෛද්‍යවරයා සහ එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් විසින් පරීක්ෂා කරනු ලබති.

රෝගී පරීක්‍ෂාව සහ සායනික පුහුණුව

මීට අමතර ව වාට්ටුවට අදාළ සායන දෙකක්වත් සෑම සතියක ම පැවැත් වේ. ප්‍රතිකාර ලබා වාට්ටුවෙන් පිට ව ගිය, දිගු කාලීන ව පසුවිමසුම් කළ යුතු රෝගීහු එම සායනවල දී පරීක්ෂා කෙරෙති. එම සායන ද ඉතා කාර්යබහුල ස්ථාන ය. 

එලෙස ම වෛද්‍ය ශිෂ්‍යයනට සහ පුහුණු වන වෛද්‍යවරුනට ඉගැන්වීම ද විශේෂඥ වෛද්‍යවරයා සහ එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරනු ලැබිය යුතු ය. 

සීමාවාසික නිලධාරියකු ලෙස සෞඛ්‍ය සේවයට එක් වන තරුණ වෛද්‍යවරයකු ඉහළට ඉගෙන සායනික විශේෂඥ වෛද්‍යවරයකු බවට පත් ව සේවයෙන් විශ්‍රාම ගන්නා දිනය තෙක් ඔහුගේ/ඇයගේ ජීවිතය ගෙවෙන්නේ ඉහත ධුරාවලියේ විවිධ ශ්‍රේණිවල ඉතා කාර්යබහුල දිවියක් ගෙවමිනි. එසේ වැඩ කළ නොහැකි කිසිවකු සායනික වෛද්‍යවරයකු වීමට සිතීමවත් ⁣නුසුදුසු බව මම සිතමි. 

ලංකාවේ එක් වෛද්‍යවරයකු වෙත යොමු වන රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩි ය. එය විශාල ගැටලුවකි. මනා ලෙස පුහුණු කරන ලද යහපත් වෘත්තීය ආකල්ප ඇති වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගත යුතු ම ය. එය වෛද්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද වැදගත් වේ. 

සායනික වාට්ටුවල රාජකාරී කරන වෛද්‍යවරුන් කිසිදු වැඩන් නො කර වැටුප් ලබන බව පැවසීම කරුණ නො දැන කරන වල්පල් දෙඩවීමකි. සෑම වෛද්‍යවරයකු ම පෞද්ගලික සේවයේ යෙදෙන්නේ නැති බව අප අමතක කළ යුතු නැත. පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කෙරෙන බොහෝ රෝගීහු ද අවසානෙයේ දී වැඩි වශයෙන් රජයේ රෝහල්වල වෛද්‍යවරු වෙත ම යොමු කරනු ලබති. 

රාජකාරීය ⁣නිම වී මොටෝ රිය පදවමින් රෝහලෙන් පිට ව යන වෛද්‍යවරයකු දෙස බලා හෝ සායනයක දී එක මොහොතක වෛද්‍යවරයකුගේ කටයුතු දෙස බලා හෝවෛද්‍යවරු කිසිදු වැඩක් නො කර වැටුප් ලබතියනුවෙන් නන්දොඩවන මාධ්‍ය පඬිවරු තම උද්වේගජනක ලේඛනවලින් ස්වකීය අඥභාවය ම ප්‍රකාශ කරති. 

රාජ්‍ය සෞඛ්‍ය සේවය සහ අස්ත්‍යාත්මක විවේචනවල වැදගත්කම

දහසක් ලුහුඬුකම් මධ්‍යයේ වුව ද ලංකාවේ රජයේ රෝහල්වල කටයුතු අගය කළ යුතු ම ය. පෞද්ගලික අංශයේ කෙරෙන වැඩ පිළිබඳ මම කිසිවක් නො ලියමි. ඒ තරම් ම අප්‍රසන්න නිසා ය. 

නිසැක ව ම පැවසිය හැකි වන්නේ උසස් වෛද්‍ය සේවාවක් සැපයීම කණ්ඩායම් වගකීමක් බව ය. කිසියම් ඒකකයක නිල වගකීම එහි විශේෂඥ වෛද්‍යවරයා විසින් දරනු ලැබු ව ද එම ඒකකයේ නිසි ක්‍රියාකාරීත්වයට වෛද්‍ය, හෙද සහ උපකාරක සේවා සාමාජිකයන් සියල්ලන්ගේ ම කැපවීම අනිවාර්ය වේ. එක් අයකුගේ අකාර්යක්ෂමතාව කීප ගුණයකින් වැඩි වී සමස්ත ඒකකයේ ආකාර්යක්ෂමතාව බවට පත් විය හැකි ය. 

ලුහුඬුකම් සකසා ගෙන ඉදිරියට ද සෞඛ්‍ය සේවය පවත්වා ගන්නට නිර්මාණාත්මක විවේචන අවශ්‍ය ම වේ. එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන වෛද්‍යවරුනට එරෙහි ව නිරන්තර ව පැමිණිලි ලැබේ. ඔවුන් එම පැමිණිලි සලකනුයේ සේවා තත්ත්වය අභිවර්ධනයට කෙරෙන වැදගත් මැදිහත් වීම් ලෙස ය. රටක සෞඛ්‍ය සේවය යනු රෝගියා කෙන්ද්‍ර කර ගත් කාර්යාවලියකි. එනිසා සෞඛ්‍ය සේවය පිළිබද රෝගීන්ගේ සිතුම්පැතුම් අප විසින් ගෞරවයෙන් අවධාරණය කර, අවධානයට ගනු ලැබිය යුතු ය. 

ලංකාවේ සෞඛ්‍ය සේවය කෙසේ සකස් විය යුතු ද යන්න තීරණය කිරීමේ දී රටවැසියන්ගේ අස්ත්‍යාත්මක/නිර්මාණාත්මක විවේචන අතිශය වැදගත් ය. The Read Us මැතිඳුන් එම මාහැඟි කාර්යය කරන රටවැසියකු බව මම නිසැක ව ම විශ්වාස කරමි.

රාජ්‍ය වෛද්‍ය සේවයේ ලුහුඬුකම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 

එක්සත් ජනපදයේ පැරණි ම වෛද්‍ය විද්‍යාලය වන පෙන්සිල්වේනියා සරසවි වෛද්‍ය විද්‍යාලයේ මණ්ඩලමාලයක දී වෛද්‍ය ශිෂ්‍යයනට ඉගැන්වීම පිණිස ශෛල්‍යකර්මයක් සිදු කරන මහාචාර්ය Hayes Agnew (Thomas Eakins ගේ “The Agnew Clinic -1889” සිත්තම)

රජයේ වෛද්‍ය පීඨවලින් බිහි වූ වෛද්‍යවරුන්ගෙන් අකටයුතු සිදු වූ පමණින් එනිසා ම සයිටම් ආයතනය කිසිදු ප්‍රමිති යාමනයකින් තොර ව පවත්වන්නට අවසර දිය යුතු ය යි පැවසීම අඥානකමක් පමණක් නො ව බොර දියේ මාළු බෑමක් ද වන්නේ ය. සයිටම් ආයතනය හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් හෝ නිසි ප්‍රමිතියක් සහිත ව පවත්වා ගෙන යාමට මගේ විරෝධයක් නැත. මම අසූව දශකයේ දී ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නො වූයෙමි. පෞද්ගලික අංශය වෛද්‍ය අධ්‍යාපනයට දායක වීම ලෝක ව්‍යවහාරයකි. එයට විරුද්ධ විය යුතු නැත. ලංකාවට තවත් වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ය. එහෙත් ආයෝජන මණ්ඩලය හරහා භාණ්ඩ නිෂ්පාදන ආයතන ආරම්භ කරන සේ වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ගැටලුවකි. රජය කළ යුත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වා ගෙන යාම ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඒවා නිසි යාමනයකින් යුක්ත ව පවත්වාගෙන යාම ය. මූලික විද්‍යාවන් මෙන් ම ඉහළ සායනික පුහුණුවක් ද වෛද්‍ය ශිෂ්‍යයනට සැපයීම සඳහා රජයේ සහය පෞද්ගලික අංශයට අවශ්‍ය ය. ලංකාවේ පෞද්ගලික අංශය තවමත් අවවර්ධිත, තැරැව්කාර, කොම්ස්කාර හොර රෑනක් බව මම අදටත් විශ්වාස කරමි. ඔවුනට සිත් සේ වෛද්‍ය අධ්‍යාපනය හසුරුවන්නට ඉඩ දිය යුතු ය යි පවසන්නෝ ලාංකීය අගයනට, ලාංකීය විද්වතුනට, ලාංකීය උසස් අධ්‍යාපන ආයතනවලට, ලාංකීය වෘත්තිකයනට ගරහන, අවමාන කරන, වෛර කරන සරලමතික කල්ලියේ වෘෂභයෝ ය.  මා හිතවත් The Read Us මැතිඳුන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දරන මතය මම අගයමි. “සයිටම් වැනි ආයතන රටට අවශ්‍යයි. එහෙත් ඒවායේ ගුණාත්මක බව රැකගෙන ක්‍රමවත් පාඨමාලාවක් ලබා දෙන බවට වන විශ්වසනීයත්වයක් තිබිය යුතු බව මගේ පිලි ගැනීමයි” යන The Read Us අස්ථානය සම්භාවනීය යි; විචක්ෂණ යි; මනෝබන්‍ධනීය යි. 

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය.

Advertisements

8 thoughts on “සායනික වෛද්‍ය විද්‍යාව, හිසේ කැක්කුම්, රාජ්‍ය වෛද්‍ය සේවය සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ කතිකාවක් – The Read Us සමඟ

  1. කුදලාගම මැතිදුනි,

    රෝගියෙක්ට වඩා මේ ලිපියෙහි වැදගත් කමක් ඇත්තේ උගත් වෛද්‍යවරුන්ටයි. වර්තමාන සමාජයේ බොහෝ වෛද්‍යවරුන් මුදල් අයකැමියන්ගේ තත්වයට පත්ව තිබේ. නමුත් මානුෂිය වෛද්‍යවරුන්ද නැතුව නොවේ.

    ඉහත සදහන් කල සිද්ධිය එම නැතිවූ තැනැත්තාගේ ඥාතීන් පැවසූ තොරතුරු මත පදනම්ව ලිවුවකි. එම අවමංගල උත්සවයටද මා සහභාගී විය. එම අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රථම සිදු කල කතාවකදී ද එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් කරුණු දැක්විය. එම ලිපිය එම කරුණු සියල්ල ග්‍රහණය කර ගැනීමෙන් ලිවුවකි.

    ශ්‍රී ලංකික සමාජයේ තවමත් වෛද්‍යවරුන්ගේ, වෘත්තීය නොසැලකිලිමත්කම නිසා සිදු වන මරණ හෝ වෙනත් හානි සදහා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම් ඇත්තේ සෘණ මට්ටමේය. එයත් අඩු හෝ වැඩි වශයෙන් එම නොසැලකිලිමත් තත්වයන් ඇති වීමට හේතුන්ය.

    ඔබ පැවසූ රෝගීන් පරික්ෂා කිරීමේ ධුරාවලිය ඉතා ප්‍රශස්ත මට්ටමේ එකකි. විගණනයේදී එය ආයතනයක ” අභ්‍යන්තර පාලන ධුරාවලිය” ලෙස නම් කෙරේ. විගනකවරයෙක් විගණනයට පෙර, ආයතනයක ඇති එම අභ්‍යන්තර පාලනය ඉතා සැලකිල්ලෙන් අධ්‍යනය කරයි. එවිට එහි පවතින අඩුපාඩු වේ නම් ඒ තුලින් සිදු වන අයථා ක්‍රියාකාරකම් පිලිබද මනෝ විශ්ලේෂණයක ඔහුට යෙදිය හැකිය. ඔබ පැවසූ ධුරාවලිය තුල එවැනි අඩුපාඩුවක් මා නොදකී. ප්‍රශස්ත මට්ටමක පවතින එම ධුරාවලිය තුල එකී කරුණ කිනම් ආකාරයකට සිදු වුයේ දැයි දැන් මට ගැටළුවක් ඇත. එය සිදු විය හැකි එකම ක්‍රමය නම් එම ධුරාවලිය ප්‍රයෝගිකව එසේම සිදු නොවීම තුල පමණි.

    වර්තමානයේ ඉගෙනීම හා උගත්කම යන දෙකම යාන්ත්‍රිකරණය වී ඇත. යන්ත්‍ර සිදු කරන්නේ එයට ලැබුණු විධානයන් ඉටු කිරීමය. මානුෂිකභාවය එයට අදාල නැත. එවැනි පරිසරයක් තුල ඔබ සදහන් කල පහත කාරණය ඉතා වැදගත්ය.

    //” සෑම මනුෂ්‍ය ජීවිතයක් ම මනුෂ්‍යයකු වීම නිසා ම එක හා සමාන ව වැදගත් ය. වෛද්‍ය විද්‍යාවේ සියලු අභිවර්ධනයන්ගේ ඒකායන අරමුණ ඒ සා වැදගත් සියලු මනුෂ්‍ය ජීවිත හැකි උපරිමයෙන් රැක ගැනීම ය.”//

    උගතුන් මනුස්සයන් කිරීමට කලාව හා සාහිත්‍ය වැදගත් කාර්යක් ඉටු කරයි යන්න මගේ පුද්ගලික හැගීමකි. කුදලාගම මැතිදුනි, ඔබට එහි කාර්යභාරයක් පවතී. එම උදාරතර කාර්යයට ඔබගේ භාෂාමය, සාහිත්‍යමය අභාෂය නිසැකවම වැදගත්ය. එය ඔබ වෙබ් අඩවිය ඔස්සේ පුළුල් කල මැනවි.

    Liked by 1 person

  2. 1. විසඳුම වන්නේ මුදල් ගෙවා ඉගනීමට හැකි රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල ඇරඹීමයි.
    දැනට තියන රජයේ විශ්වවිද්‍යාලවල නොමිලේ ඉගනීමට සුදුස්සන්ට එලෙසද, අන් අයට සම්පූර්ණ, අර්ධ හෝ කොටසක් මුදල් ගෙවා ඉගනීමට සැලසීම ගැන ඔබගේ මතය කුමක්ද?

    2. මට මිග්‍රේන් (මා හිතන විදිහට ) හිසේ කැක්කුම එන විදිහ ගැන මෙහි පැවසීම නොසුදුසු යයි නොසිතමි. පලමුව දෘෂ්ඨි වෙනස් සහිතවය : – මුලින්ම හිස් ලපයක්, ඉන්පසු විනිවිද පෙනෙන තිතක්, තිත ඉන්පසුව රවුමට ඇකිලුන නූලක් වේ. , ඉන්පසුව ඒ නූල රවුමට දිග ඇරේ. එය කියතක දැති හෝ ගොක්කොල නයෙකුගේ ස්වරූපයේ නූලකි. සම්පූර්ණයෙන් දිග ඇරුනු විට හිසේ කැක්කුම පටන් ගනී. It doesn’t happen often. I have not taken treatment for it. When I mentioned it, in passing, to my consultant physician he found it fascinating and I had to draw the “snake figure” for him !!

    3. About diagnosis – I remember what I read about medical college examinations (practical) in Richard Gordon’s Doctor in the House. There were “almost professional” patients whom the students had to examine. Some were experts in subtle misleading. Did it happen in Peradeniya too? Was it fun? It would be lovely to read your experiences of that kind.

    Liked by 1 person

    1. මා හිතවත් Pra Jay,

      1. ඔබ “විසඳුම වන්නේ” යනුවෙන් සූචනය කරන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ගැටලුව ය යි හඟිමි.

      නිදහස් අධ්‍යාපනය යනු ආවශ්‍යයික ව ම නොමිලේ සැපයෙන අධ්‍යාපනයක් විය යුතු නැති බව ද අධ්‍යාපනයේ නිදහස විය යුත්තේ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා සහ ප්‍රවේශයේ නිදහස බව ද මා අනුයන අස්ථානය ය. උසස් අධ්‍යාපනය සඳහා අභිලාෂී සැමට එසඳහා අවස්ථාව ලැබිය යුතු ය.

      ගැටලු ව වන්නේ ගෙවීම මත සැපයෙන උසස් අධ්‍යාපනයක් සඳහා යොමුවීමට සෑම පුද්ගලයකුට ම ආර්ථික ශක්‍යතාවක් තිබේ ද යන්න ය. මගේ නිරීක්‍ෂණය නම් ලංකාවේ පමණක් නො ව එංගලයේවත් සෑම පුද්ගලයකුට ම එවැනි ශක්‍යතාවක් නැති බව ය. මිල්ටන් ප්‍රීඩ්මන්ගේ ආර්ථික න්‍යාය මත පිහිටා එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල දී එංගලන්තයේ බලයට පත් වූ මාර්ග්‍රට් තැචර් ආර්යාවගේ සමයේ දී සමාජ සුභසාධනය සඳහා රජය ප්‍රමුඛ ව මුදල් වැය කිරීම සීමා කෙරිණි. එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ කතිකාව ඇවිළී ගියේ එතුමියගේ සමයේ ය. තැචර් ආර්යාව කෙතරම් බලගතු අග්‍රාමාත්‍යවරියක වුව ද ඇයට උපදෙස් දෙන්නට පණ්ඩිතමානී වියුණුකරුවන් නො ව මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි ශාස්ත්‍රවන්තයකු සිටිය ද උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය දායකත්වය සම්පූර්ණයෙන් නැති කිරීමට ඇයට ද නොහැකි විණ.

      මා හිතවත් Pra Jay මැතිඳුනි, උසස් අධ්‍යාපනය සඳහා සමස්ත හෝ ප්‍රමුඛ දායකත්වය ලබා දීමට තරම් ලංකාවේ පෞද්ගලික අංශය ප්‍රතිපාදනමය වශයෙන් ද ආකල්පමය වශයෙන් ද ශක්තිමත් නැති බව මගේ අදහස ය. ලංකාවේ පෞද්ගලික අංශයේ බහුතරය උපන් ගෙයි හොර රෑනකි. ඔවුන් බොහෝමයකගේ අරමුණ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කර රටේ ආර්ථික ශක්තිමත් කිරීම නො ව අතරමැදියන් ලෙස කටයුතු කර කොමිස් මුදලක් ලබා ගන්නා තැරැව්කාරකම් කිරීම ය. එවැනි පෞද්ගලික අංශයකට රිසි සේ උසස් අධ්‍යාපනය හසුරවන්නට අවසර දීම අමනෝඥ ක්‍රියාවකි.

      ඔබ විමසා ඇති පරිදි මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන ඇති කළ හැකි නම් එය යහපත් ය. එහෙත් රජයට (පැවති සියලු රජයනට) එවැනි කාර්ය සඳහා මුදල් නැති බව පැවසේ; නාස්තිකාර වැඩ සඳහා නම් මුදල් තිබෙන බව ⁣පෙනේ. ඔබ පවසා ඇති පරිදි ම රාජ්‍ය අංශයේ අධීක්‍ෂණය සහ දායකත්වය සහිත පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති කිරීම ප්‍රායෝගික විසඳුමකි. පෞද්ගලික අංශය ආකල්පමය ලෙස සාධනීය ප්‍රතිපත්තියක සිටී නම් එසඳහා එකඟ වේවි! අවවර්ධිත ලාංකීය පෞද්ගලික අංශය අභිවර්ධිත වූ යුගයක දී එයට ස්වාධීනත්වය ලැබෙනු ඇත.

      ආයෝජන මණ්ඩලය ඔස්සේ ලංකාවේ ස්ථාපනය කරනු ලැබ ඇති උසස් අධ්‍යාපන ආයතනවල ව්‍යවස්ථාපිත ව්‍යුවහය අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයකට නුසුදුසු ය. ලෝකයේ බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපනය කර ඇත්තේ ස්වාධීන මණ්ඩල විසින් පරිපාලනය කෙරෙන ආකාරයට ය. ඒවා පුණ්‍යායතන විය යුතු ම නැත. එහෙත් ව්‍යවස්ථාපිත ව ලාභයක් නො වන එහෙත් ප්‍රයෝගික ව ලාභයක් වන ආදායම් සහ වියදම්වල ⁣අතිරික්ත ශේෂයක් එම ආයතනවලට හිමි ය.

      එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ කතිකාව වර්ධනය වන අසූව දශකයේ දී ම වෛද්‍ය ඩෙනිස් ජේ. ඇලෝෂියස් ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ලංකාවේ රාගම පිහිටු වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ව්‍යවස්ථිපිත ව වර්තමාන අයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලට වඩා සාධනීය බව මම විශ්වාස කරමි (ඩෙනිස් කවදත් විප්ලවීය ආකාරයකට සිතන “හිතුවක්කාර” සොඳුරු මිනිසෙකි! ඔහු පිළිබඳ වෙන ම සැමරුම් සටහනක් පසු ව තබනු වටී!).

      ගෙවීම මත සැපයෙන උසස් අධ්‍යාපනයක් සඳහා යොමුවීමට සෑම පුද්ගලයකුට ම ආර්ථික ශක්‍යතාවක් නැති බව පෙර සඳහන් කළෙමි. එසේ නම් එසඳහා යම් වැඩ පිළිවෙළක් සැකසිය හැකි ය. නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ ලැබෙන්නකි යන අදහස නැති කර දැමිය යුතු ය. නොමිලේ ලැබිණි ය යි අප සිතන බොහෝ දේ සඳහා වෙනත් අය ගෙවීමක් කර ඇත. එනිසා නොමිලේ ලැබෙන දේ අපහරණය අශිෂ්ටත්වයකි. නිදහස් අධ්‍යාපනය ලබමින් උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලවලට පැමිණි ශිෂ්‍යශිෂ්‍යාවන් ඉගෙන ගැනීම නො කර වෙනත් සියලු වැඩ කරමින් වසර ගණන් විශ්වවිද්‍යාලවල රැඳී සිටින්නේ ද අනෙකා තමා වෙනුවෙන් දැරූ වියදම පිළිබඳ වග නො වන නිසා ය. එනිසා ශිෂ්‍යශිෂ්‍යාවනට තම උසස් අධ්‍යාපන වියදමෙන් සැලකිය යුතු කොටසක් පිළිබඳ තමා ම වග වන ක්‍රමයක් අවශ්‍ය වේ. උසස් අධ්‍යාපනය සඳහා දීර්ඝ කාලීන, සහනදායී ගෙවීම් ක්‍රමයක් මත ණය ලබා දීම මෙසඳහා ඇති එක් ක්‍රමයකි. අධ්‍යාපනය ලබා ඉන් පසු ගෙවීම ඇරඹිය යුතු ය. තමා පිළිබද වගකීමක් දරන්නට නො හැකි අය උසස් අධ්‍යාපනය ලැබු ව ද නො ලැබු ව ද රටට වන සෙතක් නැත. මෙවැනි ක්‍රම ක්‍රියාවට නඟන විට ඒවාට එරෙහි ව දහසකුත් කෙස් පැළෙන තර්ක පූර්ණසුභසාධනවාදීන් විසින් නැඟෙනු ඇත. කඩාකප්පල්කාරීන්ගේ අවක්‍රියා මැඬ ලා ඉදිරියට යා හැකි නායකත්වයක් රටකට අවශ්‍ය ය. අවාසනාව වන්නේ දිරි ඇති නායකයනට නැණ නැති වීමත් නැණ ඇති නායකයනට දිරි නැති වීමත් ය.

      පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අලළා මෙකී කරුණු පිළිබඳ මා හිතවත් වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න කලකට පෙර ලියන ලද පහත ලිපිවලින් සාකච්ඡා කෙරේ:

      https://publicsphere2017.wordpress.com/2016/08/11/පෞද්ගලික-වෛද්%E2%80%8Dය-විද්%E2%80%8Dයාල/

      https://publicsphere2017.wordpress.com/2016/08/12/පෞද්ගලික-විශ්වවිද්%E2%80%8Dයාල-ප/

      https://publicsphere2017.wordpress.com/2017/02/04/saitm-ගැටලුව-යනු-අධිකරණයකින්-ව/

      2. My dear Pra Jay, your description of migraine headache is fascinating in deed. It is a typical clinical description of the visual symptoms, a common type of aura, which precede the headache. In addition to the visual symptoms, there may be numbness starting in the hand and migrating along the arm to the face (sensory aura), and heaviness of a limbs, unsteadiness of the gait, difficulty in moving your eyes associated with double vision, difficulty in the articulation of speech etc. (motor aura). The aura is usually followed by the headache.
      May I make a note that all those symptoms can occur with many other disease conditions too. Therefore, I advice the readers not to make your own diagnosis of migraine for every headache by reading online articles. Simply, you cannot do it, and you are not supposed to do it.

      I am fascinated by your wonderful similes ‘කියතක දැති හෝ ගොක්කොල නයෙකුගේ ස්වරූපයේ’ to describe the sparkling zig-zag lines. I have listened to a myriad of terms describing those zig-zag lines, which represent the bright border of the band of absent vision, from patients, medical students and trainees, but your ‘ගොක්කොල නයෙකුගේ ස්වරූපය’ is quite remarkable and impressive. I have read a very little of your writings in Sinhala as you seldom write in Sinhala. It seems, however, your Sinhala is as good as your high class English. Your vivid description is very suggestive of, in fact pathognomonic of, the disease entity called ‘migraine with aura’, which we used to call ‘classical migraine’ in the past. ‘Listen to your patient’, Sir William Osler said, ‘he is telling you the diagnosis’. Here is a representation of a similar visual aura:

      If your migraine is characterised by the following,
      1. Infrequent episodes viz. less than 3 attacks per month,
      2. each single attack lasts less than 24 hours,
      3. there is no significant disability for your lifestyle for 3 or more days
      4. your usual medications taken for your migraine could abort the attack,
      5. you are sure that you do not overuse those medications,
      6. and your usual migraine headache is not associate with limb weakness,
      you may go ahead without long term preventive treatments (prophylaxis).

      I hope you are already aware of the common triggers or the precipitating factors of your migraine. The triggers differ from patient to patient. It is you, yourself, who should be able to identify relevant factors for your migraine. Just to remind you a few, may I mention the following:

      1. Stress
      2. Smoking
      3. Alcohol/Wine
      4. Lack of Exercise
      5. Lack of Sleep
      6. Excessive Sleep
      7. Exposure to Bright Light, Flickering Light
      8. Exposure to Strong Odours
      9. Exposure to Sounds, Noises
      10. Cold Food – Ice Cream
      11. Fasting, Skipping Meals
      12. Changes in Weather, Altitude, Schedules, Diets

      Migraine may be triggered by sour fruits, caffeine, processed meats, artificial sweeteners, aged cheese too. The notorious chocolates, which have been said to be a trigger for a long time, have not been substantiated to be a significant trigger by recent research!

      3. ‘Professional Patients’ is an interesting term. The term has been used to convey different meanings. It is loosely used for the patients who are pretending to have illnesses or who are exaggerating their illnesses in order to gain rewards, an act that could be properly termed as malingering. The motivation of gaining rewards is an important and defining feature of malingering. Malingering per se is not considered a psychiatric disorder although malingerers may have other associated psychiatric disorders such as personality disorders. What are considered as psychiatric disorders are termed factitious disorders, pretending to have illnesses or exaggerating illnesses without conscious motivation for rewards. Let me suggest you reading about Munchausen syndrome and Munchausen syndrome by proxy, I am sure you know who Munchausen (German: Münchhausen) was!
      Technically, more appropriate use of your term ‘Professional Patients’ would be applicable to individuals who are hired by medical schools and related institutions as interactive models for training clinical skills to medical students and other related health care students. Those individuals are properly trained to act professionally according to the scripts regarding various clinical scenarios. I prefer the terms ‘Standardised Patients’ and ‘Simulated Patients’ (SPs) to ‘Professional Patients’ since SPs is the standards here in the UK. I want to emphasise that these SPs are exclusively used for teaching purposes, and they are not enrolled in genuine clinical research.

      My dear Pra Jay, the situation in Sri Lanka has been different in this regard. Our patients are truly helpful and willing to allow medical students interview, examine, and performing certain clinical procedures on them. I have never seen a Sri Lankan patient showing a notice ‘Not To Be Examined By Medical Students’. Sometimes we may ask students not to disturb patients when they are not stable enough, yet those patients will never refuse to talk to the students. I do not think anywhere else in this world patients could be more supportive to medical students than they are in Sri Lanka. I sometimes used to get annoyed with students and trainees when they wasted such invaluable assets without taking clinical training seriously.

      There are patients with interesting diseases that we like to have for clinical exams. By the way, all diseases are interesting for clinicians, but I am referring here to the exam purposes only! Usually, there are ‘registries’ with contact details of such patients, and we request them to be present for exams. So, when they come for exams as patients several times, they get used to the structure and nature of the medical assessments. Our patients would always help the students, and they usually do not mislead poor students, Pra Jay. Some patients would be so kind, and they would remind the students to look for important physical signs which the students had forgotten to look for! (although they were not supposed to do so)

      Patients’ cooperation is so crucial in the clinical components of the medical exams. I was fortunate, both as an undergraduate and postgraduate student, to have very cooperative patients in my exams. If a patient is not communicating well, there are provisions for changing the patient in exclusive circumstances.

      I am not sure how it was in the dental school. We should ask from my dear Sarasa, but the fellow is so busy with political commitments these days. Therefore, I do not think that he will be entertaining nostalgia. His absence in this sort of discussions is quite unfortunate, isn’t it?

      Let me tell you how it is here in the UK during the membership exams of the Royal Colleges. Now, the colleges are amalgamated so that there is a common exam for all colleges related to a specific speciality, whereas decades ago candidates could sit for exams of several colleges separately (and make the post-nominals look intimidating!). Oh my God! Pra Jay, you will not believe the drama the candidates have to take part in the communication skills, the medical ethics, and similar topics of the exam. Those SPs are real professional actors and actresses. They cry; they shout at you; they quarrel with you, and put you on a real assessment of your skills, attitudes and temperament. Meanwhile, your examiners will be meticulously observing your response to the patient’s behaviour, and evaluate you on your skills! Such a memorable experience!

      Bandula Kudalagama,
      Southampton.

      Like

  3. පසුව දිගට ලියන්නට බලාපොරොත්තු වෙමි.

    මා ඉදිරිපත් කරන්නේ මූලික විරෝධතාවයකි.

    එනම් ලාභ නොලබන පුද්ගලික විශ්ව විද්‍යාල හැඳින්වීමට ලොව පුරා භාවිතා කරන නම වන Private University යන්න හා එහි සරල සිංහල පරිවර්තනය වන “පුද්ගලික විශ්ව විද්‍යාල” යන්න “අවභාවිතා” වීම ගැනය.

    සයිටම් මාදිලයේ ආයතන ව්‍යාපාරික ආයතන වන නිසා ඒවා ලාභ අරමුණුකරගත් ඒවා වන අතර ඒවා සාමාන්‍යෙන් හඳුන්වන්නේ For-profit University හෝ Proprietary University යන නමිනි.

    මේ පටලැවීම නිසා සයිටම් ගැන තර්ක කරන බොහෝ දෙනෙක් University of Phoenix ගැන නොකියා හාවඩ් හෝ MIT උදාහරන ලෙස ගෙන සංවාදය කැලේ යැවීම සිදු කරති.

    මම මේවා හැඳින්වීම ට ලාභ ලබන / ලාභ උදෙසා වන පුද්ගලික විශ්ව විද්‍යාල යන නම භාවිතා කරන මුත් එය ටිකක් දිග වැඩිය.

    “ස්වාම්‍ය විශ්ව විද්‍යාල” යන මීට වඩා ගැලපෙන්නට පුලුවන් විය හැක.

    Liked by 1 person

    1. ඔබගේ ප්‍රතිචාරයට පළමු ව ස්තුති කරමි. ඔබ ඉතා වැදගත් කරුණක් කතිකාවට ගෙන එයි. පුද්ගලික යන වචනය ඔබ විසින් ව්‍යවහාර කෙරෙන්නේ ඉංගිරිසියේ ‘private’ යන අර්ථය දෙන ‘පෞද්ගලික’ යන සිංහල වචනය සඳහා ම බව මම සිතමි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් මා විසින් මෙම ආලෝචනයේ දී පෞද්ගලික යන වචනය ව්‍යවහාර කෙරෙන්නේ ඔබ විසින් පුද්ගලික යනුවෙන් ව්‍යවහාර කෙරෙන වචනය සඳහා ම ය.

      රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල යන වර්ගීකරණය පිළිබඳ ඔබගේ මූලික විරෝධතාව පිළිබඳ මගේ විරෝධතාවක් නැත. සැබවින් ම ලෝකයේ බොහෝ රටවල ⁣පෞද්ගලික (private) ලෙස හැඳින්වෙන බොහෝ විශ්වවිද්‍යාල වර්තමානයේ දී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස හැඳින්වෙන උසස් අධ්‍යාපනායතනවල ආයතනික ව්‍යුහයන් සමඟ සන්සන්දනීය නො වේ. එනිසා ලංකාවේ වර්තමානයේ දී කතිකාවට යොමු ව පවතින පෞද්ගලික විශ්වවිද්‍යාලය/වෛද්‍ය විද්‍යාලය ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ හෝ බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාල/වෛද්‍ය විද්‍යාල සමඟ සැසඳීමේ දී ව්‍යාකූලතාවන්, සංදිග්ධතාවන් ඇති වේ. එපිළිබඳ ඔබගේ මතයට මම එකඟ වෙමි. එපමණක් නො ව ඇමෙරිකාවේ ද එංගලන්තයේ ද වෙනත් බොහෝ රටවල ද පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනායතන අලළා for-profit සහ not-for-profit විභේදනයේ ද ව්‍යාකූලතාවන්, සහ සංදිග්ධතාවන් පවතී. එකී for-profit සහ not-for-profit ආයතන දෙවර්ගය ව්‍යවස්ථාපිත ව කෙසේ වෙතත් ප්‍රායෝගික ව එකිනෙකින් වෙන් කෙරෙන සීමා මායිම් නිරවුල් නැත.

      ‘ලාභ නොලබන පුද්ගලික විශ්ව විද්‍යාල හැඳින්වීමට ලොව පුරා භාවිතා කරන නම වන Private University යන්න’ ලෙස සඳහන් ඔබගේ වාක්‍යය අර්ධ සත්‍යයකි. Private Universities යනු ලාභ නොලබන (not-for-profit) පෞද්ගලික විශ්වවිද්‍යාල පමණක් නො වේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් (private universities) බොහෝමයක් ලාභ නොලබන (not-for-profit) ආයතන ය.

      මගේ හිතවත් වෛද්‍ය වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න පවසා ඇති පරිදි ම අප රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අලළා කිසියම් මූලික සන්සන්දනාත්මක නිර්වචනයකට එළඹිය යුතු වන්නේ එම ආයතනවල පරිපාලනමය සහ ප්‍රතිපාදනමය ව්‍යුහය සලකා ය.

      මූලික ව රාජ්‍ය අංශයේ පරිපාලනය යටතේ ද ප්‍රතිපාදන යටතේ ද පවත්වා ගෙන යන විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල ලෙස ද මූලික ව පෞද්ගලික‍ අංශයේ පරිපාලනය යටතේ ද ප්‍රතිපාදන යටතේ ද පවත්වා ගෙන යන විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල ලෙස ද හැඳින්වීම ප්‍රායෝගික සහ සාධාරණ නිර්වචනයකි.

      රාජ්‍ය අංශයේ පරිපාලනය සහ ප්‍රතිපාදන මත පිහිටුවා ඇති‍ විශ්වවිද්‍යාල බොහෝමයක් මූලික ව ලාභය අරමුණු නො කර ගත් ආයතන වේ (එහෙත් ඒවා බොහෝමයක් පූර්ණ ව නොමිලේ උසස් අධ්‍යාපනය සපයන ආයතන ද නො වන බව අප වටහා ගත යුතු ය).

      පෞද්ගලික‍ අංශයේ පරිපාලනය සහ ප්‍රතිපාදන මත පිහිටුවා ඇති විශ්වවිද්‍යාල සියල්ල ලාභය අරමුණු කර ගත් ආයතන ය යි පැවසිය නොහැකි ය. ඒවායෙන් බොහෝ ආයතන ලාභය අරමුණු නො කර ගත් ආයතන වන අතර ඇතැම් ආයතන ලාභය අරමුණු කර ගත් ආයතන ය.

      ඔබගේ මූලික විරෝධතාව යටතේ ගොනු වී ඇති for-profit සහ not-for-profit සංකල්පය වෙත එළඹීමට නිසි අවස්ථාව මෙය ය.

      Not-for-profit සහ for-profit යන ඉංගිරිසි වචන සඳහා ඔබ විසින් යෝජනා කෙරෙන, ව්‍යවහාර කෙරෙන ලාභ නොලබන සහ ලාභ ලබන යන වදන් අදාළ ඉංගිරිසි වචනවල අර්ථය ප්‍රකාශ කිරීමට යෝග්‍ය බව මම සිතමි. එම වචන සඳහා මා විසින් ව්‍යවහාර කෙරෙන්නේ ලාභ-අභිලාෂී සහ ලාභ-නිරභිලාෂී යන වදන් ය. For-profit Universities සඳහා ම Proprietary Universities වචන ද ඇතැම් අවස්ථාවල ව්‍යවහාර ⁣කෙරේ. ඔබ සඳහන් කරන ස්වාම්‍ය විශ්වවිද්‍යාල යන්න Proprietary University යන ඉංගිරි වදන් සමඟ අනුරූප වන්නකි. ඔබ විසින් අවධාරණයට ලක් කෙරෙන ලාභය පදනම් කර ගත් වර්ගීකරණයේ අර්ථය ඉස්මතු වන්නට ‘ලාබ ලබන විශ්වවිද්‍යාල’ යන වචන යෙදීම වඩා ධ්වනිතාර්ථපූර්ණ ය. ‘රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය’ වැනි සමාසයෙන් ද බැඳි සංස්කෘත වචන දිව පැටලෙන්නේ නැති ව පවසන බොහෝ ලාංකිකයනට ‘ලාභ ලබන විශිවවිද්‍යාල’ යන ඔබගේ හුරුබුහුටි වදන් පැවසීමට අපහසුවක් ඇති විය නොහැකි ය. එනිසා එම වදන් ඔබගේ ලේඛනවල නිතොර භාවිත කිරීම සුදුසු ය.

      ලාභ-අභිලාෂී සහ ලාභ-නිරභිලාෂී විශ්වවිද්‍යාල පිළිබඳ මා විසින් විමසෙන්නේ මූලික ව ම ව්‍යවස්ථාපිත විභේදනයක් ලෙස ය. පෞද්ගලික අංශයට අයත් ලාභ-අභිලාෂී සහ ලාභ-නිරභිලාෂී යන විශ්වවිද්‍යාල දෙවර්ගය ම එම ආයතනවල පැවැත්ම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කර ගත යුතු ය. ලියාපදිංචි වන ශිෂ්‍යශිෂ්‍යාවන්ගෙන් අය කෙරෙන ගාස්තු මේ දෙවර්ගයේ ම ආයතනවල මූලික ප්‍රතිපාදන ය. හුදෙක් දානපතියන්ගේ ආධාර මත ම යැපීමට ලාභ-නිරභිලාෂී විශ්වවිද්‍යාලවලට නොහැකි ය. පුණ්‍යාධාර කතිකාව ද ව්‍යවස්ථාපිත නිර්ණයකි. ඔබගේ ආයතනය සඳහා නිෂ්පාදන/වෙළඳ හා ලාභාලාභ ගිණුමක් සැකසෙන්නේ ද එම ආයතනයට ලාභ පවතී ද යන්න හෝ ඔබගේ ආයතනය සඳහා ලැබීම්-ගෙවීම් සහ ආදායම්-වියදම් ගිණුමක් සැකසෙන්නේ ද එම ආයතනයට අදායමේ අතිරික්තයක් පවතී ද යන්න හෝ ඔබගේ ආයතනය පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ව්‍යුහය මත නිර්ණය වන්නකි.

      ඇමෙරිකාවේ එක්සත් ජනපදවල වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ඇරඹී මේ වන විට තුන්දහසකට වැඩි ලාභ-අභිලාෂී උසස් අධ්‍යාපආයතන පවතී. ඔබ සඳහන් කළ ෆීනික්ස් විශ්වවිද්‍යාලය ඉතා ඉහළ ශිෂ්‍ය ලියාපදිංචියක් ඇති, භූගෝලීය සීමාවන් ඉක්මවා ගිය, දර්ශීය ලාභ-අභිලාෂී විශ්වවිද්‍යාලයකි. ආරම්භයේ දී රැල්ලක් ලෙස ප්‍රචලිත වූ ලාභ-අභිලාෂී විශ්වවිද්‍යාල පිළිබඳ ඇමෙරිකාවේ මේ වන විට පවතින්නේ ඉතා අර්බුදකාරී තත්ත්වයකි. එම විශ්වවිද්‍යාලවල මූල්‍ය පරිපාලනය, ප්‍රචාරණ ආචාරධර්ම, පිළිගැනීම පිළිබඳ විශාල ගැටලු පැන නැඟී ඇත. ලාභ-අභිලාෂී උසස් අධ්‍යාපනායතනවලට එරෙහි ව ලැබෙන චෝදනා පිළිබඳ විමර්ශනය සදහා විශාල කාලයක් ද ශ්‍රමයක් ද වැය වන තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇත. ඇමෙරිකාවේ එක්සත් ජනපදවල ලාභ-අභිලාෂී විශ්වවිද්‍යාල ජාලය මේ වන හැකිළෙමින් වෙමින් පවතින අතර ඇතැම් ලාභ-අභිලාෂී විශ්වවිද්‍යාල මේ වන විට ලාභ-නිරභිලාෂී විශ්වවිද්‍යාල බවට පරිවර්තනය වෙමින් පවතී. ඇමෙරිකාවේ ඉහළ වර්ධනයක් පෙන්වන්නේ ⁣පෞද්ගලික අංශයට අයත් ලාභ-නිරභිලාෂී උසස් අධ්‍යාපනායතන ය. එම වර්ධනයට සාපේක්‍ෂ ව අඩු මට්ටමක පැවතිය ද රාජ්‍ය අංශයට අයත් උසස් අධ්‍යාපනායතන ද යම් ඉහළ වර්ධනයක් ලබා ඇත. එහෙත් ලාභ-අභිලාෂී උසස් අධ්‍යාපනායතන පෙන්වා ඇත්තේ පිරිහීමකි.

      එක්සත් රාජධානියේ අධ්‍යාපනය සම්බන්‍ධයෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ඇමෙරිකාවේ එක්සත් ජනපදවල එම දායකත්වයට වඩා අඩු ය; මෑත කාලීන ය. ලාභ-අභිලාෂී පෞද්ගලික උසස් අධ්‍යාපනායතන සඳහා එක්සත් රාජධානියේ ඇති අවකාශය ඉතා සීමිත ය; සංඛ්‍යාත්මක ව පවසතොත් ආයතන තුනකි: Law University (2012), BPP University (2013) සහ Arden University (2014). මා මෙහි ලා සඳහන් කරනුයේ ලාභ-අභිලාෂී විශ්වවිද්‍යාල බව මම විශේෂයෙන් අවධාරණය කරමි.

      ඇමෙරිකාවේ එක්සත් ජනපදවල ලාභ-අභිලාෂී වෛද්‍ය විද්‍යාල එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග සිට ම පැවතිය ද එක්සත් රාජධානියේ ⁣ලාභ-අභිලාෂී වෛද්‍ය විද්‍යාල නැත. ලාභ-අභිලාෂී වෛද්‍ය විද්‍යාල තබා මූලික වෛද්‍ය උපාධිය ප්‍රදානය කෙරෙන පෞද්ගලික අංශයට අයත් ලාභ-නිරභිලාෂී වෛද්‍ය විද්‍යාලයක් ඇරඹුණේ ද වර්ෂ 2015 දී ය (University of Buckingham Medical School).

      ඇමෙරිකාවේ එක්සත් ජනපදවල මෙන් ම එක්සත් රාජධානියේ ද පෞද්ගලික අංශය‍ ⁣විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපනයට දායක වීම කාලීන තත්ත්වයක් බව විවිධ විසංවාද මැඳ වුව පිළිගැනේ. එහෙත් පෞද්ගලික අංශය උසස් අධ්‍යාපනයට දායක වන්නේ කිනම් ස්වරූපයකින් ද යන්න දැඩි වාදවිවාද මැඳ කතිකාවට බඳුන් වන්නකි. වර්තමානයේ පවා ඇමෙරිකාවේ ද එංගලන්තයේ ද පැවැත්වෙන එම වාදවිවාදවල දී ලාභ-නිරභිලාෂී පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා වඩා සාධනීය කරුණු ඉදිරිපත් වනු දැකිය හැකි ය.

      ලංකාවේ පවතින ගැටලුව වන්නේ SAITM පිළිබඳ කතිකාව විසින් පෞද්ගලික අංශය උසස් අධ්‍යාපනය සඳහා දායක වීමේ යෝග්‍ය ස්වරූපය යටපත් කර දැමීම ය. ලංකාවේ පෞද්ගලික අංශය වෛද්‍ය විද්‍යාව හැරුණු විට බොහෝ විෂය ක්ෂේත්‍ර සඳහා දායක වී ඇත්තේ ලාභ-නිරභිලාෂී ව නො ව ලාභ-අභිලාෂී ව ය. එසේ නැති බව පැවසීම පවතින යථාර්ථය නො සලකා හැරීමකි. වෛද්‍ය අධ්‍යාපනය සමඟ ගනුදෙනු කිරීම සෙල්ලමක් නො වේ. ඇමෙරිකාවේ පිහිටි ලාභ-අභිලාෂී වෛද්‍ය විද්‍යාලයක් වන University of Ross School of Medicine එක්දහස් නවසිය හැත්තෑව දශකයේ අග දී (ඩොමිනිකාවේ දී) ඇරඹුණේ අවශ්‍ය ඕනෑ ම අයකුට වෛද්‍ය උපාධියක් දෙන බවට පරවම්භනය කරමින් ය. එහෙත් වැඩි කල් නොගොස් ම එකී ක්‍රමය විසුළුවක් ද වියවුලක් ද බවට පත් විණි. එක්දහස් නවසිය අසූ ගණන් වන විට රජය මැදිහත් වී එම ආයතනය යාමනය කෙරිණි. එංගලන්තයේ University of Buckingham Medical School සඳහා මූලික වෛද්‍ය උපාධි ප්‍රදාන වරය ලැබෙන්නේ ද රජයේ යාමනයක් සහිත ව ය. එම මූලික වෛද්‍ය උපාධි පාඨමාලාවේ සායනික පුහුණුව සිදු කෙරෙන්නේ ජාතික වෛද්‍ය සේවයට අනුබද්ධ Milton Keynes University Hospital හී දී ය.

      ලංකාවේ පෞද්ගලිග විශ්වවිද්‍යාල/වෛද්‍ය විද්‍යාල පිළිබඳ කතිකාව තවමත් පවතින්නේ උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය දායක කර ගන්නේ ද නැති ද යන්න අලළා ය. එය අසූව දශකයෙන් ද එහා අතීතයේ කෙරෙන යල්පිනූ, පවතින යථාර්ථය නොසලකන, නීරස සංවාදයකි. එක්දහස් නවසිය අසූව දශකයේ මුල non-profit tax-exempted/charitable පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස ඇරඹුණු NCMC මාදිලියේ ආයතනවලට ද විරුද්ධ වූ විප්ලවීය චරිත කැළේ පනින්නේ for-profit සහ not-for-profit තෝරා වෙන් කර ගන්නට නොහැකි වීම නිසා නො ව public සහ private වෙන් කර තෝරා ගන්නට ඇති අකමැත්ත නිසා ය.

      ඔබගේ මූලික විරෝධතාවන් ගොනු කිරීම සලකා බැලුණු අතර ඒවා සඳහා මගේ විරෝධතාවක් නැති බව පවසමි. ගරු පොදුජන අධිකරණයකින් විමසා විසඳිය යුතු SAITM පිළිබඳ ප්‍රශ්න මම දැන් මෙසේ ගොනු කරමි:

      1.ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය දායක කර ගත යුතු ද?

      2.ප්‍රශ්න අංක 1 ට පිළිතුර ‘දායක කර ගත යුතු යි’ යනුවෙන් නම් පෞද්ගලික අංශය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට දායක කර ගත යුත්තේ කෙසේ ද?

      3.ප්‍රශ්න අංක 1 ට පිළිතුර ‘දායක කර ගත යුතු යි’ යනුවෙන් නම් ප්‍රශ්න අංක 2 ට ඔබ දෙන පිළිතුරට අනුකූල ව දැනට පවතින SAITM ආයතනය සම්බන්‍ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?

      4.ප්‍රශ්න අංක 1 ට පිළිතුර ‘දායක කර ගත යුතු නැත’ යනුවෙන් නම් දැනට පවතින SAITM ආයතනය සම්බන්‍ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Like

      1. ඔබතුමාගේ ප්‍රශ්න සරල වුවත් මෙයට පිළිතුරු සරල නොවේ. මන්දයත් වෛද්‍ය අධ්‍යාපනය ගැන මගේ මතය යනු පොදුවේ උසස් අධ්‍යාපනය ගැන මම දරන මතයේ එක් කොටසක් බැවිනි. උසස් අධ්‍යාපනය ගැන මම දරන මතය රටේ කර්මාන්ත ඇති කිරීම හා සංවර්ධනය හා බැඳී ඇත. ඒ නිසා මම කෙටියෙන් දෙන පිලිතුරේ අඩුපාඩු තිබිය හැක.

        1. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය දායක කර ගැනීම මේ පවතින තත්වය යටතේ සාර්ථක නැත. සයිටමය පර්යේෂනයක්නම් එයින් ලැබෙන නිරීක්ෂන බෙහෙවින් අසතුටුදායකය.

        එය පටන් ගත් තක්කඩි ක්‍රමයේ සිට හිස් මෝටර් රථයකට වෙඩි තැබීම දක්වා පෙනී යන්නේ ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයක් නිසි පරිදි යාමනය කිරීමට රජය දක්වන අසමත්කමයි.

        මේ නිරීක්ෂන වලට අනුව නිගමනය කල හැක්කේ ලාභ ලබන වෛද්‍ය විද්‍යාලය ගමන් කරන්නේ ( අපේ නව ලිබරල් ආර්ථික පඬිවරු කියන පරිදි ) මැලේසියාව යන පාරේ නොව ඉන්දියාව යන පාරේ බවයි. ( ලාභ ලබන වෛද්‍ය විද්‍යාල නිසා ඉන්දියාවේ ඇති තිබෙන අහිතකර තත්වය ඔබ දන්නවා ඇතැයි මම සිතමි. )

        එසේම සයිටම් ආයතනය රජයේ සහෝගයකින් තොරව පවත්වා ගෙන යා නොහැකි බව රජයද පිලිගෙන ඇත ( සායනික පුහුනුව හා මහාචාර්ය ඒකක සහිත නේවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නට කතා කරන්නේ මේ නිසාය ).

        2. දැනට දායක කර ගැනීම අසාර්ථක හා අවදානම් සහගතය.

        3. –

        4. රජය පවරා ගත යුතුය. නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට එක් කරගතයුතු නැත.

        ඒ ප්‍රදේශයේම ඇති රජයට අයිති ආයතනයක් වන SLIIT ආයතනය යටතට පත් කල හැක.
        පරිපාලනය (මැද මට්ටමේ ) සිට වෙනස් කිරීමට සිදු විය හැක. මුදල් අය කරනවාද යන්න එතරම් වැදගත් ප්‍රශ්නයක් නොවේ.

        ආචාර්ය මන්ඩලය තෝරා ගැනීමේදී සිසුන්ගේ මව්පියන්, නෑයින් හා පවුලේ මිත්‍රයන් හැකි තාක් අඩුවෙන් තෝරා ගත යුතුය.

        සයිටම් හී සිසුන්ගේ මව්පියන් වන දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන්, මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ආදින්ට බලපෑම් කල නොහැකි, එවැන්නන්ගේ බලපෑම් වලට යටත් නොවන පිරිසක් ආචාර්ය මණ්ඩලය හා පරිපාලනය ලෙස පත් කර ගත යුතුය.

        Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s