ත්‍රෛලෝක්‍යවිජයා, විජයා, අජයා, ජයා ද මාතුලී, මාතුලානී, මාදිනී, හර්ෂණී ද සමඟ හංසනී බණ්ඩාරගේ ගංජා කවිය

ත්‍රෛලෝක්‍යවිජයා පත්‍රයක්

ත්‍රෛලෝක්‍යවිජයා, ශණ, කටුතික්තක, මාල්‍යපුෂ්ප, වීරපත්‍රා, භංගා, භංග, සංවිදා, මූර්වා, දීර්ඝපල්ලව, වමන, නිශාවන, ඉන්‍ද්‍රාශන, ගජාශනා, ආනන්‍දා, විජයා, අජයා, ජයා, මාදිනී, මාතුලී, මාතුලානී, මත්කුණාරී, හර්ෂිණී, සුවර්චලා යන නම්වලින් හැඳින්වෙන ශාකයක් පිළිබඳ සංස්කෘතයෙහි සඳහන් ය. එම ශාකයේ විවිධ කොටස් හැඳින්වීමට ශක්‍රාශනනිර්යාස (ලාටු), භංගාකට (රේණු), ගෘඤ්ජන (අග්‍ර) ආදී නම් ද සංස්කෘතයෙහි ව්‍යහාර වේ. එම ශාකයෙන් නිපදවා ගන්නා චපල නම් අධ්‍යාත්මික පානයක් පිළිබඳ ද ශක්‍රාශන නම් මත්පානයක් පිළිබඳ ද සංස්කෘතයෙහි සඳහන් ය. එම ශාකය දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දෙන්නේ ගඤ්ජා යන සංස්කෘත නාමයෙනි. ගඤ්ජා සමඟ ම ගඤ්ජාජිකා නම ද එම ශාකය සඳහා ම ව්‍යවහාර වේ. 

සංස්කෘතයේ භංග පාලියට භංග ලෙස ම ද, සංස්කෘතයේ ශණ පාලිය⁣ට සණ ලෙස එක් ව ඇත. සංස්කෘතයේ ගඤ්ජා සිංහලයට ද ඉංගිරිසියට ද ගංජා ලෙස එක් ව ඇත. සංස්කෘතයේ භංගා/භංග ඉංග්‍රීසියට බැං ලෙස එක් ව ඇත. 

ඉංග්‍රීසියෙහි ⁣(Indianhemp, cannabis සහ ganja/ganjah ලෙස ඵෙතිහාසික ව හැඳින්වෙන මෙම ශාකය ඇමෙරිකාවේ එක්සත් ජනපදවල marijuana ලෙස ද හැඳින්වේ. මෙම ශාකයේ විවිධ කොටස්වලින් නිපදවා ගන්නා මාදක සඳහා bhang/bang යන පදය ද ව්‍යවහාර කෙරෙයි. 

⁣තුන් ලොව ජය ගත් යන අර්ථය ඇති සමාසයක් වන ත්‍රෛලෝක්‍යවිජයා යන පදය ගංජා සඳහා ව්‍යවහාර වන්නට හේතු වන්නට ඇත්තේ ගංජා භාවිතයෙන් තුන් ලොව ජය ගන්නට තරම් ශක්තියක් ලැබෙන නිසා ය යන විශ්වාසය ය. ත්‍රෛලෝක්‍ය යනු පෙරදිග ආගමික දර්ශනයේ ඉගැන්වීමකි. ගෞතම බුදුන්ගේමහාවීරයන්ගේ ද ඉගැන්වීම්වල තුන් ලොව, ත්‍රෛලෝක්‍ය, තිලෝක ආදිය පිළිබඳ සඳහන් ය. 

ත්‍රෛලෝක්‍ය විජිනි පත්, ත්‍රෛලෝක විජිනි පත් ආදී නාම ද ගංජා හැඳින්වීමට භාවිත වන බව නිරීක්‍ෂණය කළ හැකි ය. විජිනි (විජිනිත්වා/විජිනිත්වාන) යනුවෙන් ජය ගත්/ගැනීම අර්ථවත් පදයක් පාලියෙහි පවතියි. සම්භාව්‍ය සංස්කෘතයෙහි වීජන යනු පවන්පත, පවන් සැලීම ආදී අර්ථ දෙන වචනයකි. පාලියෙහි වීජනී යනුවෙන් පවන්පත යන අර්ථය ද වීජති යනුවෙන් පවන් සැළුණු  යන අර්ථය ද දෙන පද හමු වේ. එම පදවලින් සිංහලයට බිඳුණේ ය යි සැලකිය හැකි විජනිය, විජනිපත, විජිනිපත යන පද පවන්පත, වටාපත, අවන්පත සඳහා ව්‍යවහාර කෙරෙයි. ඒ අනුව සංස්කෘත සහ පාලි පද සංයොජනය කර තෛලෝක්‍ය විජිනි පත්, ත්‍රෛලෝක විජිනි පත් ආදී නාම ගංජා හැඳින්වීමට කෙතරම් යෝග්‍ය ද යන්න විවාදජනක ය (සංස්කෘතයෙහි ද පාලියෙහි ද විජිත යනු ජය ගත් යන අර්ථය දෙන පදයකි). 

බොබ් මාර්ලි – “Herb Smoking”!

ගංජා සහ ආගම් අතර ඇති සම්බන්‍ධය ද ඉතා පැරණි ය. ආගම පිළිබඳ සංකල්පයක් ඉතා ප්‍රාථමික ලෙස මානවයාගේ දැනුමට එක් වන්නට වූ යුගයේ සිට ම මානවයා ගංජා භාවිත කරන්නට ඇති බවට අර්ථකථනය කෙරෙන, නවශිලා යුගයට අයත් ය යි නිර්ණය කෙරුණු පුරාවිද්‍යාත්මක සාධක හමු ව ඇත.  ඇතැම් පෞරාණික භාරතීය ආගම්වල ගංජා ශුද්ධත්වයෙන් සලකනු ලැබූ බවට සාක්‍ෂ්‍ය පවතී. හින්දු සමයේ වේදයෙහි සෘග්වේදයෙහි සඳහන් පූජා පානයක් වන සෝම වෙසෙසීමට භංග හෙවත් ගංජා යෙදී ඇත. ඇතැමෙක් සෝම නිපදවන්නට ගංජා භාවිත කරන්නට ඇති බව ද විශ්වාස කරති. අථර්වවේදයෙහි ද එහි ආභාසයෙන් බිහි වූ ආයුර්වේදයේ සම්භාව්‍ය ග්‍රන්ථවල ද ගංජා පිළිබඳ ව නිබඳ ව සඳහන් ය. බුදුසමයේ ත්‍රිපිටකයෙහි විනය පිටකයෙහි සංඝයා වහන්සේගේ සන්ධි ⁣ආබාධ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ගංජා දිය භාවිතයට අවසර දී තිබේ. කැරිබියන් දූපත්වල ඇදහෙන මෑත කාලීන ආගමක් වන රැස්ටෆරියනිසම්හි පිළිගත් ආගමික චාරිත්‍රවිධියක් වන්නේ ගංජා දුම්පානය ය. ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රබල ප්‍රාදේශීය දෙවියකු ලෙස සැලකෙන කඩවර දෙවියන් සඳහා කෙරෙන පූජාවල දී එම දෙවියනට පිදෙන එක් පූජාහාරයක් වන්නේ ගංජා ය. කඩවර දෙවියන් සම්බන්‍ධ කර ගෙන සිදු කරන ගුප්ත කර්ම වල දී ගංජා පුදනු ලබන බව මා උතුරු මැද පළාතේ වාසය කළ සමයේ දී දැක ඇත.

ආගමික හෝ ආයුර්වේද හෝ පදනමකින් ගංජා යනු පරිභෝජනයට හිතකර ද්‍රවයක් ලෙස සැලකුණ ද බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ගංජා යනු සමස්තයක් ලෙස හිතකර ද්‍රව්‍යයක් ය යි පැවසිය නො හැකි ය. සීමිත රෝග තත්ත්වයන් කීපයක දී නිසි ලෙස සකස් කරන ලද ගංජාවල කිසියම් ඖෂධීය ගුණයක් තිබුණ ද පුළුල් ව සැලකීමේ දී සමස්තයක් ලෙස ගංජාවලින් මිනිසාට ශාරීරික ව සහ මානසික ව සිදු වන හානිය ඉතා ඉහළ ය. ගංජා භාවිතය සහ එහි ඖෂධීය ප්‍රයෝජනය පිළිබඳ සිදු කෙරී ඇති වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනය කිරීමේ දී එබව තහවුරු වේ. භාවිතය සාධාරණීකරණය කිරීමට තරම් වන සුපැහැදිලි විද්‍යාත්මක සාක්‍ෂ්‍ය නොමැති නිසා ගංජා භාවිතය කිසි සේත් ම අනුමත කළ නො හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමි (මෙම කරුණ සඳහන් කිරීමේ වැදගත්කම මගේ අවධානයට යොමු කළ අපගේ ගුරු බන්‍ධුල කුදලාගම සුමිතුරාට ස්තුතිය පළ කරමි). 

ලෝකයේ බොහෝ රටවල සේ ම ලංකාවේ ද වර්තමානයේ දී ගංජා යනු නෛතික ව තහනම් මත්ද්‍රව්‍යයකි. විසි වැනි ශතවර්ෂයේ දී ගංජා නෛතික ව තහනම් කිරීම ලෝක ව්‍යාප්ත ව සිදු වන තෙක් ගංජා පරිභෝජනය පෙරපර දෙදිග මානව සංස්කෘතියේ අංගයක් ව පැවතිණි. බිරිතානි යටත්විජිතවාදීන් ලංකාවේ ගංජා තහනමක් පනවන්නට ප්‍රථම ලාංකීය ජන ජීවිතය සහ ගංජා අතර පැවති සම්බන්‍ධය ජන සාහිත්‍යයේ ද ජනශ්‍රැතිවල ද සටහන් ව තිබේ. පසුගිය සමයේ දී ගංජා පිළිබඳ ගී ලියන්නට, ගයන්නට ගොස් ඇතැමකු දැඩි විවේචනයට ද ලක් වුණු බව සිහි වේ. ගංජා පිළිබඳ මෙම කෙටි වියුණු සටහන ලියන්නට හේතු වූයේ ද කලාව පිළිබඳ නිමිත්තකි. ලාංකිය වියුණු අවකාශයේ සැරිසරන කල සාර්වජනික ක්ෂේත්‍ර සංස්කාරක මණ්ඩලයට හමු වූ, අගය කළ යුතු වියුණුවක පළ වූ, “තහනම් අස්වැසුම” නම් වූ පහත පළ වන කවිය එම නිමිත්ත ය:

විශ්වාස භංගයට පෙර පාර්ලිමේන්තුවේ කාර්මික දෝශ ඇති වේ නම්,
සොරකමට පෙර කටුගෙයි කැමරා නිවේ නම්,
බන්නාධගාරෙදි මැති සිරකරුවන් ලෙඩ වෙයි නම්,
ත්‍රෛලෝක්‍ය විජිනි පතක අස්වැසුම ඇයි මට තහනම්. 

අඩු වැඩි වෙන වැට් එක වගේ,
නොවෙයි කාල පතක රඟේ,
යන්න නුවමනයි නොමගේ,
වැටහුනොත් විජිනි පතේ අගේ. 

ව්‍යාජයි නොනිමි දේශපාලන පොරොන්දු,
ඡන්දයට පමණයි සැනසුම් රැන්දු,
ඔසුවක් වැනි තිලෝ පත් සරින්දු,
සදාකල් පවතී සන්තෘශ්ටී මන සින්දු.

ත්‍රෛලෝක්‍ය විජිනි පත්‍ර වේ මතයට අකැප,
ලෝකය ගරහයි සැනසුම සොයන විට,
රාජ නීතියෙන්ද නොම වේ පිහිට,
අත්නොහරිමි මම තිලෝ පතේ සරණ.

හංසනී බණ්ඩාරගේ Pink Elephants

ගංජාලෝලි මෙම කවියේ නිර්මාණකාරිනිය Pink Elephants වියුණුවේ හිමිකාරිනිය වන හංසනී නයනතාරා බණ්ඩාර මෙණෙවිය ය. ජීවන ගමනේ තුන් වැනි දශකයේ මැඳ සිටින විසිඑක් වැනි ශතවර්ෂයේ යෞවන කිවිඳියක තම කාව්‍ය බන්‍ධනයකට පදනම් කර ගෙන ඇති අනුභූතිය අසිරිමත් ය. ගංජා භාවිතයට නා නා විධ හේතු ගංජාලෝලීන් විසින් ඉදිරිපත් කරනු ලබන මුත් බණ්ඩාර කිවිඳියගේ කාව්‍යයේ පැවසෙන හේතු නම් මා පෙර කල අසා නැත. එනිසා ම මෙම කිවිඳියගේ කාව්‍යකරණය පිළිබඳ විමසා බලනු රිසි වූ මම ඇගේ Pink Elephants වියුණුවෙහි පළ වී ඇති අනෙක් කවි ද කියවා බැලීමී. බණ්ඩාර කිවිඳිය සමකාලීන සමාජ-දේශපාලන-ආර්ථික වර්ධනයන් කෙරෙහි සංවේදී කිවිඳියක බව හැඟෙයි. ඇගේ කාව්‍යවල තේමාවන්, ප්‍රකාශනයන්, ශිල්ප ක්‍රමයන් ඇගේ යෞවන වයස අභිභවා යයි. හංසනී නයනතාරා බණ්ඩාර තරුණ කිවිඳියගේ කවි රසවත් ය; හරවත් ය; අසිරිමත් ය. ඔබ ද ඒවා කියවා බැලීමට තරම් වටිනා බව පවසමි. සාර්වජනික ක්ෂේත්‍රයේ සම්ප්‍රදාය අනුයමින් ඇය පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙලෙස එක් කරන්නෙමු:

හංසනී නයනතාරා බණ්ඩාර මෙණෙවිය නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවකි. මාධ්‍යවේදිනියක ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූ ඇය ලංකාවේ ජාතික මට්ටමේ ප්‍රමුඛ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් කීපයක ම සේවය කර ඇත. බණ්ඩාර මෙණෙවිය මූලික ව ම ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනයේ යෙදෙන්නියකි. ඇය විසින් විවිධ ප්‍රකාශන සඳහා ලියවුණු ලිපි සමූහය ඇගේ සූර අන්තර්ගත ලේඛන හැකියාවට සාක්‍ෂ්‍ය සපයයි. මීට වසර කීපයකට පෙර Pink Elephants වියුණුව අරඹමින් වියුණුකරණයට පිවිසි ඇය ඒ ඔස්සේ සිංහල භාෂාවෙන් ද නිර්මාණකරණයට එළඹ සිටියි. බණ්ඩාර මෙණෙවියගේ කවි අව්‍යාජ, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම් ය. ඇය තම නිදහස් අදහස් වාරණය කර, ඒවා සමාජ සම්මතය නම් කෝවේ දමා වාත්තු කර, ප්‍රකාශ කරන කිවිඳියක් නොවන්නී ය. බණ්ඩාර මෙණෙවිය අතිදක්‍ෂ ඡායාරූප ශිල්පිනියක ද වන බව නොපවසන්නේ නම් ඇය පිළිබඳ කෙරෙන හැඳින්වීමක් සම්පූර්ණ වන්නේ නැත. ඇගේ සංචාරක ඡායාරූප වචන දහසක විස්තර වචන නොමැති ව කලාත්මක ව පවසන කාව්‍ය ය. 

ඉංග්‍රීසි භාෂාව සේ ම සිංහල භාෂාව ද ව්‍යක්ත ව හසුරුවන්නට ද අගනා නිර්මාණවලින් ද්විභාෂා සාහිත්‍යය පෝෂණයට ද Pink Elephants වියුණුවේ හිමිකාරිනි හංසනී නයනතාරා බණ්ඩාර මෙණෙවියට වාසනා බල මහිම ලැබේවා යි සාර්වජනික ක්ෂේත්‍රය සමඟ එක් ව මම ප්‍රාර්ථනා කරමි. 

හංසනී බණ්ඩාරගේ කවි රසවිඳීමට ඇයගේ වියුණුවට මෙතැනින් පිවිසෙන්න: Pink Elephants 

සෑගිරියේ කීරාළ

Advertisements

13 thoughts on “ත්‍රෛලෝක්‍යවිජයා, විජයා, අජයා, ජයා ද මාතුලී, මාතුලානී, මාදිනී, හර්ෂණී ද සමඟ හංසනී බණ්ඩාරගේ ගංජා කවිය

  1. විලෙන් තණ මල්
    නෙලා වන මල්
    ගසන මන කල්
    ජීවිතේ මල්!
    පලමුව ආලෝචනයක් ලෙස සරස තුමා විසින් මහාචාර්ය මාතලන් ගේ වියුනුවේ පල කරනා ලද්දකි.

    Liked by 1 person

    1. ගරු සරසතුමනි,

      බොහෝ කලකින් ඔබතුමා හමු වූයේ! ඔබගේ කවිය මනරම් ය. ගිරා සඳෙස අබිං සහ කංසා යන මත්කාරක දෙක පිළිබඳ මෙසේ පවසයි:

      “මත් වන අබින් කංසා කා රළු පරළු
      අත්තන කුසුම් රත් මල් කනැ ලා ලකුළු
      ගත් ව න මුගුරු ලෙළවා ඇදැ ඇදැ රවුළු
      සිත්මෙන බමන බබුරන් රඟ බල යහළු”

      සෑගිරියේ කීරාළ

      Like

  2. Pink Elephants බ්ලොග් එකේ සිංහල කමෙන්ට්ස් දාන්න බැරි ඇයි? සිංහල කවිවලට සිංහලෙන් අදහස් දාන්නත් පුළුවන් නම් හොඳයි නේද?

    Like

    1. හිතවත් මොහාන්,

      එවැනි ගැටලුවක් ඇති බව අපි ද නිරීක්ෂණය කළෙමු. එපිළිබඳ Pink Elephants වියුණුවේ හිමිකාරිනියට දැනුම් දෙන්නට බලාපොරොත්තු වෙමු.

      සංස්කාරක මණ්ඩලය,
      ⁣සාර්වජනික ක්ෂේත්‍රය.

      Like

  3. //Hashish, or hash, is a drug made from cannabis. It is consumed by smoking, typically in a pipe, vaporizer or joint, or oral ingestion. As pure hashish will not burn if rolled alone in a joint, it is typically mixed with herbal cannabis, tobacco or another type of herb for this method of consumption//
    https://en.wikipedia.org/wiki/Hashish
    // Origin of the Word “Hashshashin”
    Nobody knows with certainty where the name “Hashshashin” or “Assassin” came from. The most commonly-repeated theory holds that the word comes from the Arabic hashishi, meaning “hashish users.” Chroniclers including Marco Polo claimed that the followers of Sabbah committed their political murders while under the influence of drugs, hence the derogatory nickname. //
    https://www.thoughtco.com/history-of-the-assassins-hashshashin-195545

    Liked by 1 person

    1. මාතලන් මැතිඳුනි,

      ඔබගේ දායකත්වයට බොහෝ තුති.

      ඔබ පසුගිය දිනවල ඉතිහාසය සහ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ ආධානග්‍රාහි නො වූ ප්‍රායෝගික විවරණයක් කර තිබෙනු දුටුවෙමි. එපිළිබඳ මගේ පැසසුම ඔබට හිමි ය.

      සෑගිරියේ කීරාළ

      Liked by 1 person

  4. //පුළුල් ව සැලකීමේ දී සමස්තයක් ලෙස ගංජාවලින් මිනිසාට ශාරීරික ව සහ මානසික ව සිදු වන හානිය ඉතා ඉහළ ය.//
    වෛද්ය විද්‍යාත්මකව මෙයින් සිදු වන හානිය කුමක්ද ? මට ඒ පිලිබදව වැටහීමක් නැත. කරුණාකර පහදා දෙන්න.
    ඉතා අගනා වියුනුවකි. සැමට අවබෝධ වන ලෙස ඉතා සරලව ඇගේ කාව්‍ය සිතුවිලි අකුරු කර ඇත. බොහෝ කාලෙකින් එහි කවියක් පළ නොවී ඇති සැටියකි.

    Like

  5. “Unquestionably, this drug is is very useful to the artist, activating trains of association that would otherwise be inaccessible, and I owe many of the scenes in Naked Lunch directly to the use of cannabis.”
    ― William Burroughs

    ආගමික / ගුප්ත විද්‍යා දේවලදී යොදාගන්නා තවත් hallucinogenic ශාඛ වර්ග තිබෙනවා නේද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s