කෙටි විරාමයකට පසු යළි සාර්වජනික ක්ෂේත්‍රය

අනාගතයට අප ගෙන යන අභිනව ගරු උපදේශකත්වය

පසුගිය දින හැත්තෑ දෙක තුළ සාර්වජනික ක්ෂේත්‍රයේ ලිපියක් පළ වූයේ නැත. ඒ කෙටි විරාමයට හේතුව අපගේ සමීප හිතවත් පාඨකයෝ දනිති. සාර්වජනික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අපගේ ගුරු බන්‍ධුල කුදලාගමයන් දැඩි ලෙස ගිලන් වීම එම කෙටි විරාමයට හේතුව ය. සංස්කාරක මණ්ඩලය ලෙස අප මැයි මාසයට මාස කීපයකට පෙර සිට ම සාර්වජනික ක්ෂේත්‍රයේ ලිපි පළ කරමින් කටයුතු ඉදිරියට ගෙන ගියේ කුදලාගමයන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටිය දී ය. එතුමෝ ගිලන් ව සිට ද අප නිසි මඟ යොමු කළහ. සෑගිරියේ කීරාළයෝ අපට නොමඳ සහයක් දුන්හ. මැයි මස වන විට කුදලාගමයන්ගේ තත්ත්වය ඉතා තීව්‍ර විණි. කුදලාගමයෝ කෘතීම ශ්වසන යන්ත්‍රයකට ද සම්බන්ධ කරනු ලැබූහ. ඉනික්බිති අපගේ කාලය ගෙවුණේ එතුමන්ගේ සුවය පතා කළ යුතු කාර්ය සම්පාදනයට ය. කුදලාගමයෝ සති කීපයකට පෙර සුව ලබා සදම්ටනයේ තම නිවස වෙත පැමිණියහ. පසුගිය සති කීපය විවේක සුවයෙන් ගත කළ එතුමා දැන් පූර්ණ සුව ලබා සිටියි. සාර්වජනික ක්ෂේත්‍ර යළි අරඹන්නට කාලය පැමිණ ඇත. කෙටි විරාමයකට පසු යළි සාර්වජනික ක්‍ෂේත්‍රය මෙසේ ඇරඹෙන බව අපගේ හිතවත් පාඨකයන්ට මනතුටින් අපි දන්වා සිටිමු. 

බන්‍ධුල කුදලාගමයන් ගිලන් වන්නට පෙර ලියා අප වෙත බාර දුන් සුධීමත් මයුරවිල සම්භාවනා: අඤ්ජන වණ්ණ සුනීල සුකේස ධාතු බුදුරදුන්ගෙන් ලද තපස්සු සහ භල්ලුක පඨමෝපාසකයෝ මැයෙන් යුත් දීර්ඝ ලිපිය ද ජීවන ෆර්නැන්ඩො සම්භාවනා: මානවයාගේ අතීතය සහ ලෝහ මැයෙන් යුත් ඛණ්ඩ කීපයකින් සැදි ලිපි මාලාව ද Leopards of Lenama: The Man-Eaters of Sri Lanka – An Analysis of the Legends, A Book by Pradeep Arjuna Jayatunge මැයෙන් යුත් ග්‍රන්ථ විචාරය ද නීට්ටෑවෝ: ද්‍රව්‍යමය සාක්‍ෂ්‍ය කතිකාවට අභියෝග කරන විවාදජනක වූ අනර්ඝ ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් මැයෙන් යුත් ග්‍රන්ථ විචාරය ද ඇතුළු ලිපි මාලාවක් ඉදිරියේ දී පළ කිරීමට අප සියලු සංස්කරණ කටයුතු සිදු කර ඇත.

සාර්වජනික ක්ෂේත්‍රයේ කාර්යභාරය අඛණ්ඩ ව ඉදිරියේ දී පවත්වා ගැනීම සඳහා පූර්ව සූදානමක් ලෙස උපදේශක ධුරයට අනුප්‍රාප්තිකයකු පත් කර ගැනීම උචිත බව බන්‍ධුල කුදලාගමයන් අප වෙත දන්වා ඇත. අපගේ සමාරම්භක නිත්‍ය ලේඛකයන් වන (ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළින්) සෑගිරියේ කීරාළ, ධීරානන්‍ඳ ගුණහේරත්, වෝල්ටර් මඩුගල්ලේ සහ වික්‍රම වික්‍රමාදිත්‍ය වික්‍රමරත්න යන අයගේ අදහස වූයේ කුදලාගමයන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තරුණ ශාස්ත්‍රවන්තයකු පත් කර ගැනීම අනාගතයට වැඩදායක බව ය. වික්‍රමාදිත්‍යයන්  හැරුණු කළ අන් සියල්ලෝ දැන් විශ්‍රාමිකයෝ ය. වික්‍රමාදිත්‍යයන් ද තව වසර කීපයකින් විශ්‍රාම ගැනීමට නියමිත ය. එනිසා ඔවුන් සියලු දෙනා ඒකමතික ව තීරණය කර ඇත්තේ බන්‍ධුල කුදලාගමයන්ගේ ශාස්ත්‍රීය දෘෂ්ටිවාදයන් මත පදනම් ව, ඒවා සමතික්‍රමණය කර, අභිවර්ධනය කර සාර්වජනික ක්ෂේත්‍රය අනාගතයට මෙහෙය වන්නට සමත් තරුණ ශාස්ත්‍රවන්තයකු ගරු උපදේශක වශයෙන් පත් කළ යුතු බව ය. කුදලාගමගයන් ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන අතර තුර දී ම එතුමාගේ මාර්ගෝපදේශකත්වය ලබමින් අනාගත අනුප්‍රාප්තිකයා වශයෙන් සූදානම් වන්නට වෛද්‍ය විද්‍යාව, භාෂාසාහිත්‍යකලා, සමාජදේශපාලන විද්‍යා ආදී නා නා විධ විෂයන්හි බහුශ්‍රැත බහුපඨිත තරුණ ආචාර්යවරයකු හෙට දිනයේ දී සාර්වජනික ක්ෂේත්‍රයේ ගරු උපදේශක ලෙස පත් වන්නට නියමිත ය. 

සංස්කාරක මණ්ඩලය,

සාර්වජනික ක්ෂේත්‍රය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s