ආචාර්ය කුමාර කළුආරච්චි නම් සොඳුරු ශාස්ත්‍රවන්තයා සමඟ වර්ෂයක්

Sarasa.png
බී.ඩී.එස් (පේරාදෙණිය), පී.එච්.ඩී. (හොං කොං) නාමෝපලක්‍ෂිත දර්ශනසූරී කුමාර කළුආරච්චි සූරීන්

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මැ පැවැති 
බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවිති

ශාරිකාව
 

වමේ පැරණි හිතවතකුට එරෙහි ව ඔහුගේ ප්‍රතිවාදීන් විසින් අශ්ලීල ආලෝචනයක් ඔහුගේ වියුණුවේ පළ කරනු ලැබීම පිළිබඳ සංවාදයක් අදට වර්ෂයකට පෙර ඇති විණ. මම එම පැරණි හිතවතා වෙනුවෙන් දීර්ඝ ආලෝචනයක් ලියා ඔහුගේ වියුණුවේ පළ කළෙමි. සන්‍ධ්‍යාමානයේ දී එම වියුණුව යළි කිය වූ මම කිසියම් අන්වර්ථ නාමරේඛයකින් පැමිණි තැනැත්තකු මෙවැනි පැනයක් විමසා තිබෙනු දුටුවෙමි:

// ග්‍රාම්‍ය //

හරබර සිංහලෙන් ලියූ ඇනෝ ලොක්කාණෙනි…

ග්‍රාම්‍ය යන වචනය අපහාසාත්මක ව පාවිච්චියට සුදුසු වචනයක් ද? කරුණාකර එහි භාවිතයේ උපත සහ සාධාරණත්වය ගැන කියා දෙන්න පුළුවන් ද?

වමේ පැරණි හිතවතාගේ අශාස්ත්‍රීය, අසත්‍ය, අමනෝඥ කරුණුකාරණකුතර්ක පිරි වියුණුසටහන්වලට එරෙහි ව එදවස මා සමඟ නොනිල ශාස්ත්‍රීය සන්‍ධානයකට එළඹ සිටි විද්වත්, සුභාෂිත, නිර්නාමික, සුධීමතකු ඒ වන විට ද අදාළ පැනයට මාහැඟි සුපරිපූර්ණ පිළිතුරක් ආලෝචනයක් ලෙස එක් කර තිබිණි. එනිසා මම තවත් කිසිවක් එම පිළිතුරට එක් නො කළෙමි. එහෙත් එම පැනය විමසූ නාමරේඛය මගේ මතකයේ රැඳිණි. මම එදින සිට එම නාමරේඛයෙන් පළ වන ආලෝචන කෙරෙහි විමසිලිමත් වූයෙමි; එම ආලෝචනවල අන්තර්ගතයේ සමස්ත තර්කණ සාරය පිළිබඳ අවධානය යොමු කළෙමි. 

ලාංකීය සමාජ මාධ්‍ය ජාලයන්හි ඒකාධිකාරයක් පැවැත්වූවෝ එක්සත් ජාතික පක්‍ෂ හිතවාදීහු ය. එදවස රාජපක්‍ෂයනට සමාජ මාධ්‍ය ජාලයන්හි සැලකිය යුතු බලයක් නො තිබිණ. විශේෂයෙන් ම රාජපක්‍ෂයන්ගේ අනපේක්‍ෂිත මැතිවරණ පරාජයෙන් පසු රාජපක්‍ෂ හිතවාදීහු සමාජ මාධ්‍ය ජාලයන්හි පෙර කලට ද වඩා අපහසුතාවට පත් කරන ලදහ. පෙර කී අන්වර්ථ නාමරේඛයෙන් පැමිණි තැනැත්තා රාජපක්‍ෂයනට එරෙහි ව දසත නැඟෙන චෝදනාවනට ප්‍රතිචාර තම ආලෝචන ඔස්සේ ඉදිරිපත් කරන්නට වූයේ ය. ඔහුගේ ප්‍රතිවාදීහු ඔහුගේ තර්කවලට ප්‍රතිචාර දැක්වීම වෙනුවට ඔහුට එරෙහි ව පෞද්ගලික කලල්පතනයක් පමණක් ම සිදු කළහ; ඔහුට උසුළුවිසුළු කළහ; ඔහුට නින්දාපහාස කළහ; ඔහු වියුණු ලොවෙන් පිටමං කරවන්නට මාන බැලූහ. තමා දෙසට ඇදෙනා අප්‍රමාණ වූ බාධක-කම්කටුලු-දුක්ඛසෙය්‍යාදිය හමුවේ නොසැලෙන ඉන්‍ද්‍රකීලයක් සේ අකම්පිත ව වියුණු ලොව රැඳෙන මෙකී ධෛර්යවන්ත තැනැත්තාගේ ක්‍රියාකාරීත්වය දෙස මම මහත් උවමනාවෙන් මාසයක පමණ කාලයක් නිහඬ ව බලා සිටියෙමි. එම කාලය පුරා එම තැනැත්තාගේ වෘත්තීයභාවය සහ ශාස්ත්‍රවන්තභාවය පිළිබඳ මම බොහෝ දේ දැන ගතිමි. 

සැප්තැම්බරයේ එක් දිනක එම අන්වර්ථ නාමරේඛයෙන් පැමිණෙන තැනැත්තා තම ගුරුවරියක පිළිබඳ මනබඳනා ආලෝචනයක් එක් කර තිබිණ. එම ගුරු සිරිමතියෝ හැත්තෑව දශකයේ මුල සිට මා හැඳින සිටි, මා ලංකාවේ වාසය කළ සමයේ දී යම් කලක දෙහිවල ෆ්‍රේසර් අවන්‍යුහි මගේ අසල්වැසියකු වූ ෆේ.ගු. චීරකාලීන සන්සඛීහු ය. මම අතිමහත් ආනන්‍දයට පත් ව මගේ නිහැඬියා ව මෙසේ බිඳ දැමුවෙමි; අගෝස්තුවේ සය වැනි දින සිට සැප්තැම්බරයේ නව වැනි දින දක්වා එම ධෛර්යවන්ත තරුණයා කෙරෙහි මහද වැඩෙමින් පැවති ගෞරවාදරය මෙසේ පැවසීමි: 

අපි කාලයක සිට ඔබතුමන්ගේ හරබර ආලෝචන නිතොර කියවන්නෙමු. එහෙත් අපට අතිමහත් ආනන්‍දයක් දැනුණු දිනය නම් අද ය. උගතකු හා බුද්ධිමතකු වන ඔබතුමන් අපගේ චීරකාලීන සන්සඛී ගුරු… සිරිමතියගේ ශිෂ්‍යරත්නයක් බව දැන ගන්නට ලැබීම මහත් ප්‍රහර්ෂයකි. ඔබගේ ආලෝචනය විසින් අපගේ මතක හදවිල පියුම් පොබයවනු ලැබේ. මෙම කෙටි ආලෝචනය එකී හෘදරසායනීය විචිත්‍ර මතකයන් කීපයක් පිළිබඳ යි.

දෙදහස් දහසය වර්ෂයේ අගෝස්තු මස සය වැනි දින මා දැන හැඳින ගත් ඒ ධෛර්යවන්ත මාණවකයාණෝ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබා, දන්ත වෛද්‍ය විද්‍යා උපාධිය දිනා, හොං කොං සරසවියෙන් ජෛව රසායනය සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආචාර්ය උපාධිය දිනා, අන්තර්ජාතික ව සම්භාවනීය පර්යේෂණ පත්‍රිකා (හුදු සාහිත්‍ය විමර්ශන/සමාලෝචන නො වේ) මිණි මාලයක් තම විෂය ක්ෂේත්‍රයට සම්ප්‍රදානය කර, කලක් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය ධුරයක් ද දැරූ, නිසි සුදුසුකම් ලද, මානවහිතවාදී දන්ත ශල්‍ය වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි සූරීහු ය. සිංහල වියුණු ලොව සුධීමත් පාඨක ප්‍රජාව එතුමන් හඳුනන්නේ පසුගිය වර්ෂයක කාලය තුළ දී අතිමහත් පාඨක සම්භාවනාවට පත් වූ මල්ලේ පොල් වියුණුවේ අතිගරු සරසතුමා යන ආදරණීය නාමයෙන් ය. 

ආචාර්ය කළුආරච්චි සූරීන් සිංහල වියුණු ලොව මෑතක් වන තුරු ම පැවති ඒකාධිකාරය බිඳ දැමීමට කළ සුවිශේෂී ඵෙතිහාසික කාර්යභාරය ලාංකීය වියුණුකරණ ඉතිහාසයේ නොමැකෙන මතක සටහනකි. එම කාර්යභාරයේ ලා ඔවුන් පෑ ශූරවීරකම් ජනප්‍රවාදගත ය. මා මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ ආචාර්ය කළුආරච්චි සූරින් වෛද්‍ය විද්‍යා, භාෂාසාහිත්‍යකලා ඈ ශාස්ත්‍රීය විෂයන්හි පෑ සූරකම් ය. ඔවුන්ගේ දේශපාලන සම්ප්‍රදානය පිළිබඳ මා සන්මිත්‍ර සුධීමත් මයුරවිලයන් ඉදිරියේ දී සටහන් තබනු ඇත. 

ආචාර්ය කුමාර කළුආරච්චිහු සුභාෂිත, සුසංවාදී, සුධීමත්, සුදුර්ලභ ශාස්ත්‍රවන්තයෙක් වන්නාහ. ඔවුහු සිංහලයේ ද ඉංගිරිසියේ ද ප්‍රවීණ ය. විදග්ධ සිංහලය ද විදග්ධ ඉංගිරිසිය ද ඔවුනට මනා ව ප්‍රතිග්‍රහණය වේ. එලෙස ම විදග්ධ සිංහලයෙන් ද විදග්ධ ඉංගිරිසියෙන් ද තම අදහස් ප්‍රකාශනයට ද ඔවුහු සමත් වෙති. විදග්ධ භාෂණයේ සියුම් භාවයන් සමඟ ඔවුහු නිරායාස ව ඒකාත්ම වෙති. සිංහල වියුණුකරණයේ දී දේශපාලන සදයෝපහාසයට නිසි භාෂාවකින් ලේඛනයේ යෙදෙන ආචාර්ය කළුආරච්චිහු වියුණු ලොවෙන් පිටත දී ශාස්ත්‍රීය සංවාද මණ්ඩපයකට වන් කල ද විද්වත් ජන මුළුවක් අමතන කල ද අතිවිදග්ධ භාෂණයක් ම ව්‍යවහාර කරති. ආචාර්ය කළුආරච්චිහු මා සමඟ වියුණු ලොවෙන් පිටත දී සංවාද වන අතළොස්සක් වූ පිරිසකගෙන් ප්‍රමුඛයා ය. ඉලෙක්ට්‍රොනික තැපෑල ඔස්සේ ඔවුන් මා සමඟ කර ඇති සාකච්ඡා-සම්මන්ත්‍රණ-සංවාදාදිය මධුරමනෝහර ගද්‍යපද්‍ය මිණිමුතු මාලයකි. ශේක්ෂ්පියර්, මිල්ටන්, වර්ඩ්වර්ත්, බර්න්ස්, බයිරන්, කීට්ස්, ශෙලී, කෝල්රිජ්, එලියට්, ෆ්‍රොස්ට් වැනි බටහිර සාහිත්‍යයේ පතාක යෝධයෝ ආචාර්ය කළුආරච්චි සූරීන්ගේ ලිපි තුළ පටිසඤ්ජීවිත වෙති. 

ස්වයංඅපදාන සහ අපදාන කාව්‍ය පිළිබඳ ඔවුන්ගේ දැනුම සාරගර්භ ය. සේනානායකන්ගේ විනිවිඳිමි අඳුර ස්වයංඅපදානය, ගුණතිලකයන් ලියූ විමලසූරේන්‍ද්‍රයන්ගේ අපදානය, ශ්‍රී නේරුතුමන්ගේ An Autobiography – Toward Freedom ස්වයංඅපදානය, රිගින්ස් සහ සිල්වා ලියූ ජයවර්ධනයන්ගේ අපදානය පමණක් නො ව අරුණ පෙරේරාණන්ගේ වියුණු ස්වයංඅපදාන කාව්‍යය ද කියවා ඇති තරුණ ශාස්ත්‍රවන්තයකු සිංහල වියුණු ලොව හමුවීම ද අසිරියකි. අඩසිය වසක දිවි ගමනක් පැමිණ වුව ඔවුන්ගේ ඥාන පිපාසය තවමත් සංතෘප්ත ව නැත. ඔවුහු දැනුදු අතිශය කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කරමින් සිටිය දී ද නිරන්තර ව විශිෂ්ට කෘති පාඨනය කරති; ඒවා අධ්‍යයනය කරති; ඒවා පිළිබඳ වාදවිවාද, විචාරප්‍රතිචාර, සංවාදවිසංවාද කරති. ටී. ඩී. එස්. ඒ. දිසානායකයන් ලියූ JR Jayewardene of Sri Lanka පිළිබඳ මා කලකට පෙර සඳහන් කළ විට එම කෘතිය සොයා ගෙන කියවන්නට තරම් ආචාර්ය කළුආරච්චි සූරීහු ඥානගවේෂී වූහ. 

ආචාර්ය කළුආරච්චීන් සම්භාව්‍ය භාෂාසාහිත්‍යකලාදිය මනා ව හදාරා ඇති සේ ම තුමු ද අනර්ඝ නිර්මාණ සාහිත්‍ය සම්ප්‍රදානයක් සිදු කර ඇත. ඔවුහු පාඨක රසික සම්භාවනාවට පාත්‍ර වූ නවකතාකරුවෙක් ද කවියෙක් ද වෙති. ආචාර්ය කළුආරච්චීන්ගේ කාව්‍යකරණ සුරුකම් පිළිබඳ ඔහුගේ ප්‍රතිවාදිහු පවා සැක නො කරති. 

ඔවුහු භාෂාප්‍රේමියෙක් වන්නාහ. ඔවුහු දෙස-බස-රැස ළැදියෝ ය. එනිසා ම මයුරවිලයන්, සෑගිරියේ කීරාළයන් සහ මා එක් ව ගොඩ නැඟූ වියුණු ලොව හෙළ හවුලේ ආරම්භක නයුවකු ව ආචාර්ය කළුආරච්චිහු සුවිශාල කාර්යභාරයක් ඉටු කළහ. 

ආචාර්ය කළුආරච්චිහු නූතන විද්‍යාවන්ගේ වර්ධනාභිවර්ධන පිළිබඳ යාවත්කාලීන දැන්මෙන් සුපෝෂිත, කිසියම් ගැටලුවක් දෙස විෂයමූල කියවීමක් කළ හැකි ශාස්ත්‍රවන්තයෙක් වෙති. ආචාර්යතුමන්ගේ පාඨකයෝ නිරන්තර ව නා නා විධ ප්‍රශ්න එතුමන් වෙත යොමු කරති. ආචාර්යතුමෝ එම ප්‍රශ්නවලට ඉතා විදුහුරු පිළිතුරු නොලසා සපයති. ඔවුහු තමා අනුයන දේශපාලන දෘෂ්ටිවාදය තරමට ම තමා උගත් නූතන විද්‍යාවනට ද ළැදි ය. එහෙත් කිසි කලක දී ඔවුන් තම ශාස්ත්‍රීය ශික්‍ෂණය සහ දේශපාලන දෘෂ්ටිවාදය පටලවා ගෙන නැත. 

හින්දු සමයේ පෞරාණික ධර්මශාස්ත්‍ර ග්‍රන්‍ථයක් වන මනුස්මෘතියේ සිව් වැනි පරිච්ඡේදය මෙසේ පවසයි: 

සත්‍යං බ්‍රෑයාත් ප්‍රියං බ්‍රෑයාං න බ්‍රෑයාත් සත්‍යම් අප්‍රියම්
ප්‍රියං ච නානෘතං බ්‍රෑයාත් එෂ ධර්මඃ සනාතනඃ

(සත්‍ය පැවසිය යුතු ය; ප්‍රිය වූ සත්‍ය ම පැවසිය යුතු ය; අප්‍රිය වූ සත්‍ය නොපැවසිය යුතු ය. ප්‍රිය වූ අසත්‍ය ද නොපැවසිය යුතු ය. මෙය සනාතන ධර්මය යි.)

සත්‍ය ම අරමුණ කර ගත් බුදු සමය ‘අප්‍රිය වූ සත්‍ය නොපැවසිය යුතු ය‘, එය ‘සනාතන ධර්මයකි‘ යන අස්ථානයක නො පිහිටයි. බුදු සමය ‘අප්‍රිය වූ සත්‍ය‘ පිළිබඳ අනුයන්නේ ‘ඒකාන්ත නො වේ යන අස්ථානය ය. බුදුසමය වූ කලී සත්‍ය ගවේෂණයේ ශික්‍ෂාව යි; ප්‍රිය වුව ද අප්‍රිය වුව ද සත්‍යය ම විනා අසත්‍යයෙන් ඵල නැත. සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසපාළියේ ගහපතිවග්ගයේ අභයරාජකුමාර සූත්‍රයේ සදහන් පරිදි: අන්‍යයනට අප්‍රිය වූ ද අමනාප වූ ද චචන තථාගථයන් පවසති යි චෝදනාවක් අභයරාජකුමාරයා ලවා බුදුරජාණන් වහන්සේට එරෙහි ව නැංවීමට නිගණ්ඨයෝ ව්‍යවෘත වූහ. තථාගතයන් වහන්සේ අභයරාජකුමාරයන් අමතා මෙසේ පැවසූ සේක:

යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. 

(තථාගත තෙම යම් වචනයක් සිදු නො වූ, සත්‍ය නො වූ, අවැඩ ගෙන දෙන්නක් බව දනී ද; එම වචනය අනුන්ට අප්‍රිය වේ ද, අමනාප වේ ද; එසේ නම් තථාගත තෙම එබඳු වචනය නො කියයි.)

යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තම්පි තථාගතො වාචං න භාසති. 

(තථාගත තෙම යම් වචනයක් සිදු වූ, සත්‍ය වූ, අවැඩ ගෙන දෙන්නක් බව දනී ද; එම වචනය ද අනුන්ට අප්‍රිය වේ ද, අමනාප වේ ද; එසේ නම් තථාගත තෙම එබඳු වචනය ද නො කියයි.)

යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තත්‍ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණාය. 

(තථාගත තෙම යම් වචනයක් වනාහී වූ දෙයක් ය, සත්‍යයක් ය, අර්ථ පිණිස පවතින්නක් ය  බව දනී ද; එම වචනය ද අනුන්ට අප්‍රිය අමනාප වේ ද; එසේ නම් තථාගත තෙම එම වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි.)

යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. 

(තථාගත තෙම යම් වචනයක් නො වූ දෙයක් ය, අසත්‍යයක් ය, අවැඩ ගෙනදෙන්නක් ය බව දනී ද; එම වචනය ද අනුන්ට ප්‍රිය මනාප වේ ද; එසේ නම් තථාගත තෙම එබඳු වචනය ද නො කියයි.) 

යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං පියා මනාපා තම්පි තථාගතො වාචං න භාසති. 

(තථාගත තෙම යම් වචනයක් වූ දෙයක් ය, සත්‍යයක් ය, අවැඩ ගෙනදෙන්නක් ය බව දනී ද; එම වචනය අනුන්ට ප්‍රිය මනාප වේ ද; එසේ නම් තථාගත තෙම එබඳු වචනය ද නො කියයි.)

යඤ්ච තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණාය.

(තථාගත තෙම යම් වචනයක් වනාහී වූ දෙයක් ය, සත්‍යයක් ය, වැඩ ගෙනදෙන්නක් ය බව දනී ද; එම වචනය ද අනුන්ට ප්‍රිය මනාප වේ ද; එසේ නම් තථාගත තෙම එම වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි.)

තං කිස්ස හෙතු? අත්ථි, රාජකුමාර, තථාගතස්ස සත්තෙසු අනුකම්පා.

(එයට හේතු කවරේ ද? රාජකුමාරය, තථාගතයන්ගේ සත්ත්වයන් කෙරෙහි ඇති අනුකම්පාව ය.)

මහාකාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද දෙව්දත් අපායෙහි උපදින්නේ ය, දෙව්දත් නිරයෙහි උපදින්නේ ය,දෙව්දත් කල්පයක් නිරයෙහි සිටින්නේ ය,දෙව්දත් පිළියම් කළ නොහැක්කෙක් වන්නේ ය ඈ අප්‍රිය සත්‍ය නිසි තැන, නිසි කල පැවසූ සේක.  

කුමාර වියේ සිට ම බුදු සමයෙන් ශික්‍ෂණය ලද, බුදු සමයෙන් ආභාසය ලද ආචාර්ය කුමාර කළුආරච්චි සූරීහු ද නිබඳ ව සත්‍ය ම වෙත ආසක්ත වෙති; සත්‍ය ම අරමුණ කර ගනිති. සත්‍ය ප්‍රිය වුව ද අප්‍රිය වුව ද ඔවුහු සත්‍ය ම පවසති; අප්‍රිය වූ සත්‍ය නිසි කාලය බලා, නිසි ලෙස පවසති. ප්‍රිය වූ අසත්‍ය පවසා තම පාඨක සමූහයා ස්වප්න ලොවකට කැඳවා ගොස්, මුළා කර දැමීම ආචාර්ය කළුආරච්චීන්ගේ සම්ප්‍රදාය නොවන්නේ ය. ආචාර්ය කළුආරච්චීන් අනුයන සද්සම්ප්‍රදාය වරදවා කියවන ඇතැමෙක් ඇතැම් විට ආචාර්ය කළුආරච්චීන් සමඟ කෝප ව, උරණ ව, විරසක ව, වෛරී ව කුමාර කළුආරච්චි ශ්‍රී නාමයට පුද්ගලබද්ධ නවනින්දාපහාස කරති. විෂයනිශ්‍රිත සත්‍යමූල කියවීමකට පුද්ගලනිශ්‍රිත අසත්‍යමූල ප්‍රතිචාර දක්වන්නෝ තම ක්‍රියාවෙන් තම අඥභාවය ම ස්ඵුට කරති. ඔවුනට අනුකම්පා කරනු මිස වෙන කළ යුතු යමක් නැත. 

භාරතීය දර්ශන දැනුම බටහිර දර්ශන දැනුම සමඟ මුසු කරන්නට විශිෂ්ට සේවයක් කළ, දහනව වැනි ශතවර්ෂයේ දී භාරතයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ ස්වාමි විවේකානන්‍දයෝ තම විදුහුරු ලිපි එකතුවේ යම් තැනක ගුරුභක්තිය වූ කලී සියලු අධ්‍යාත්මික වර්ධනයන්ගේ පදනම බව පවසති (Guru Bhakti is the foundation of all spiritual development). ආචාර්ය කළුආරච්චි සූරීන්ගේ මා නිරීක්‍ෂණය කළ උත්තම ගුණාංගයක් වන්නේ ස්වකීය ගුරුදෙවිවරුනට දක්වන අප්‍රමාණ ගුරුභක්තිය ය; අසීමිත වූ ගෞරවභක්ත්‍යාදරය ය. ඔවුහු ගුරුදෙවියන් පිදුමට කවදත් පෙරමුණ ගන්නා ශිෂ්‍යරත්නයක් වන්නාහ. ඔවුහු තම වෘත්තියේ යෙදී සිටින මොහොතක වුව ද කාර්යබහුල, වගකීම්බර  වෘත්තියෙන් මඳ ඉසුඹුවක් ලද මොහොතක වුව ද තම ආදි ගුරුවරයකු වෙනුවෙන් ඉටු කළ යුතු කාර්ය සාධනයට කිසි කල පසුබට නො වෙති. තමා උසස් තත්ත්වයකට පත් වූ කල තමනට එම තත්ත්වයට එළඹෙන්නට උපකාර කළ ගුරුවරුන් අමතක නොකිරීම ශික්‍ෂිත මිනිසුන්ගේ ලක්‍ෂණයකි. 

ආචාර්ය කළුආරච්චි සූරීන් මගේ පුතණුවකු වැනි ය; එවයසට ද වඩා ළාබාල ය. එහෙත් මම ඔවුන් මගේ මිත්‍රයකු සේ සලකමි. ශතවර්ෂ කාලක් පමණ ළාබාල ශාස්ත්‍රීය සන්මිත්‍රයකු සමඟ වන මිත්‍ර සන්‍ථවය ශාස්ත්‍රීය වාජීකරණයකි. අරුණ පෙරේරාණන් වැනි මගේ පරම්පරාවට සමීප අතීතකාමියකු ද පිළියන්දළ ප්‍රදීප් අර්ජුන ජයතුංග වැනි ශාස්ත්‍ර සාගරය නිබඳ ව මන්‍ථනය කරන සුදුර්ලභ ශාස්ත්‍රකාමියකු ද ආචාර්ය කුමාර කළුආරච්චි සූරීන් වැනි බහුශ්‍රැත බහුපඨිත ශාස්ත්‍රවන්ත සුමිතුරකු ද නො වන්නට මා සිංහල වියුණුකරණයේ රැඳෙන්නේ නැත. සිංහල වියුණු අවකාශයේ දැන් දැන් සිදු වන විලම්බීත නෙත ගැටීම මගේ මේ නහිනදෙහින වයසට සුදුසු නැත. 

ආචාර්ය කුමාර කළුආරච්චි නම් සොඳුරු ශාස්ත්‍රවන්තයා සමඟ ගෙවුණු වර්ෂයක කාලය මධුර ය; මනෝහර ය; බුද්ධිගෝචර ය; භාවගෝචර ය. අතීතයේ එක් දිනයක අප පැවසූ ලෙස ම ‘long live our friendship!‘ යනුවෙන් දැනුදු මම පවසමි. 

මගේ සමකාලීන මිත්‍රයන්ගෙන් වර්තමානයේ ජීවමාන අතළොස්සක් පමණි. බොහෝ දෙනා කීර්තිශේෂභාවෝපගත ව වියෝවෙහි නොනිමි නිශා යාමයේ සැඟ ව ගොසිනි. ආචාර්ය කුමාර කළුආරච්චි නම් ශාස්ත්‍රවන්ත සුමිතුරාණෙනි, අතීත මිත්‍ර වියෝවේ දුක්ඛදෝමනස්සයන් නුඹගේ මිත්‍රත්වයේ වර්තමාන මතකය නිසා යම් පමණකට හෝ මැකී යයි. විලියම් ශේක්ෂ්පියර් තම සමීප මිත්‍රයා වූ සදම්ටනයේ අර්ල්වරයා අරබයා ලියුවේ ය යි සැලකෙන යථෝක්ත කාව්‍යය මම සඳම්ටනයට වී මේ සන්‍ධ්‍යා යාමයේ දී සිහි කරමි:

When to the sessions of sweet silent thought
I summon up remembrance of things past, 
I sigh the lack of many a thing I sought, 
And with old woes new wail my dear time’s waste:
Then can I drown an eye, unus’d to flow, 
For precious friends hid in death’s dateless night,
And weep afresh love’s long since cancell’d woe, 
And moan the expense of many a vanish’d sight: 
Then can I grieve at grievances foregone, 
And heavily from woe to woe tell o’er 
The sad account of fore-bemoaned moan, 
Which I new pay as if not paid before. 
But if the while I think on thee, dear friend,

All losses are restor’d and sorrows end.

බන්‍ධුල කුදලාගම,

සදම්ටනය. 

Advertisements

8 thoughts on “ආචාර්ය කුමාර කළුආරච්චි නම් සොඳුරු ශාස්ත්‍රවන්තයා සමඟ වර්ෂයක්

  1. මේ දවස් වල සරස තුමාගේ ග්‍රහ අපලයක්දෝ ලබල තියන හැඩයි, කැළෑ පත්තරත් ගහන්න පටන් අරගෙන කෙලින් කතා කරන්න බැරි උදවිය !

    මම බන්‍ධුල මහතාගේ ලිපි කියවන්න කමැතියි, එහි ගත යුත්තක් ඇති නිසා වගේම සිංහල ඉගෙන ගන්න පුළුවන් නිසා, නමුත් ඔබ ලියනා දේ වටහා ගැනීමට තරමක් අපහසුයි.

    ඉන් ලියමනේ අන්තර්ගතය හොඳ නැති බව නෙමෙයි මම කියන්නෙ, මා වැනි බොහොම සාමාන්‍ය සිංහල දැනුමක් ඇති අයට කියවා තේරුම් ගැනීමට අපහසු බව විතරයි !

    හැබැයි ඒක කියවන මගේ වරදක් මිස ඔබේ වරදක් නොවන බවත් කියන්න ඕන 😀

    Liked by 1 person

    1. ඔබතුමාට බොහෝ ස්තුතියි මෙහි පැමිණ මා ලියන දේ කියවීම පිළිබඳ. මම ඔබතුමාගේ අදහස් ගෞරවයෙන් බාර ගෙන මගේ අවධානයට යොමු කර ගනිමි.

      අතිගරු සරසතුමාට කිසියම් අපල කාලයක් එළඹ ඇති බවක් පෙනෙන මුත් එතුමා බාධක හමුවේ සැලෙන, උකටලී වන චරිතයක් නො වන බව මම දනිමි. එතුමනට එරෙහි ව නැඟී ඇති අස්ථානීය චෝදනා මම අවඥාව නම් කෙවිටෙන් ඔසවා අතීතය නම් කසළ වළ ලමි. අතිගරු සරසතුමාට එරෙහි ව එවැනි අස්ථානීය චෝදනා සහිත ලිපි ලියන්නට ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින ආලෝචන ඇතැම් වියුණුවක පළ වනු මා මින් ටික කලකට පෙර දැක ඇත. එපිළිබඳ වැඩිමනත් නො පවසමි. අස්ථානීය චෝදනාවනට ප්‍රචාරණය ලබා දීම නොනිසි බැවිනි.

      අතිගරු සරසතුමා කවරාකාර දේශපාලන දෘෂ්ටිවාදයක එළඹ සිටිය ද එය කිසි දිනක අපගේ ශාස්ත්‍රීය සහ පෞද්ගලික මිත්‍රත්වයට බාධාවක් වන්නේ නැත. මම සැම දා මගේ මිත්‍රයා වෙනුවෙන් පෙනී සිටිමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Liked by 1 person

  2. Dear Kanda,

    The reason for your dissatisfaction is well explained by Mr. Jackson Anthoney as follows:

    Unfortunately, we are the victims of post 70’s Sri Lankan education system.

    Liked by 2 people

  3. //සිංහල වියුණු අවකාශයේ දැන් දැන් සිදු වන විලම්බීත නෙත ගැටීම මගේ මේ නහිනදෙහින වයසට සුදුසු නැත. //

    මගේ වයස ඔබතුමාගේ වයසට අඩු නමුදු ඒ විලම්බීත නෙත ගැටීම මමද අප්‍රිය කරමි. ටික කලකට ඉහත නම් සමහර ඒවා ඉලංගරත්නයන්ගේ විලම්බීත මෙන්ම මා රසවින්ඳ නමුත් දැන් ඒවා පිළුනු හෝ කුණුවී ඇති සේ පෙනේ.

    කිසිවෙකුගේත් දේශපාලන දෘෂ්ඨි ඔවුන් සමග පෞද්ගලික, ශාස්ත්‍රීය හෝ විනෝදාංශ අතින් මිත්‍රත්වයක් ගෙන යාමට මා බාධාවක් කරගන්නේ නැත. ( කොහොමත් මට ඇත්තේ වැඩියෙන් අකමැති හා අඩුවෙන් අකමැති ලාංකික දේශපාලකයින් නිසාත්, දේශපාලනයට වඩා කැමති විෂයයන් ගණනාවක් ඇති නිසාත් දේශපාලනය ගැන ආවේගයන් මට ඇති නොවෙන තරම්ය. එය නරුම ස්වාභාවයක් ලෙස සමහරු දකිතත් මා කුමක් කරම්ද? )

    ආචාර්ය කුමාර කලුආරච්චි පෞද්ගලිකව හොඳ මිතුරෙක් හා අගනා උගතෙක් බව මම දනිමි. එයට අමතරව ඔබතුමාට මා හඳුන්වා දීම ගැන මම ඔහුට ඉතා කෘතඥවෙමි.

    Liked by 1 person

      1. Some time ago I enjoyed reading certain anonymous comments because they were informative and/or witty. However, in the recent past the anonymous comments have been vicious, mendacious attacks on people for political or personal reasons. It doesn’t affect me much because I am not a blogger and have much more material than blogs to read. But, I think blogs have been very much more damaged than benefitted from anonymous comments. Sarasa’s blog is one such blog.

        Liked by 1 person

    1. Thank you, Pra Jay. I have just seen your comment, and it is a great pleasure reading from you. I am increasingly keeping back from the blogosphere, at least from the Sinhala version. It is becoming disgusting, and I have better things to do in the remaining short time of my life.

      Look, Pra Jay, weblogs are innately informal, and they lose their gist when they become formal. The formality, even if it appears as a blessing angel, paves the way to be assimilated by the establishment. Then, the beautiful diversity of idiosyncrasies fades away into wrong missions. Sinhala blogosphere has already become a victim of that catastrophe, perhaps irreversibly.

      I do not consider blogging seriously. It had been a good recreational activity at its best, but I doubt whether it is at least a pleasing recreation at present with all these nonsense happening around. Civilised people do not engage in procreation at domains reserved for recreation.

      Even if blogging existed in my youth decades ago, I do not think I would have taken it so seriously. Nobody is going to mention blogging as a remarkable academic or professional qualification in their curricula vitae in the academia. If one’s success at IELTS is considered the greatest achievement (and the best evidence of one’s command of English), blogging might be a qualification. Of course, the birth certificate is also a certificate if one does not have anything else to forward.

      Yea, you are right. One’s political affiliations are immaterial for friendship. I verily believe it is futile, irrational, and, moreover, silly to quarrel over political ideologies at the expense of friendship. Is it not cruel to keep a person apart merely on their political affiliations?

      I did not intend to say we need to give up our political ideologies to have lasting friendships. We need to have mutual respect for the contrary thoughts of others. I surely know Dr Kaluarachchi has immense respect for antithesis. He is certainly not a believer of Marxism, yet he has often been scholarly to read what old Marxists write. He is certainly not a follower of neoliberalism, yet he has often been patient to read what thoughtful neoliberals write.

      Dr Kaluarachchi has never used an abusive language. He always uses a comically witty dialect well-tailored to the context. He has used thrusts of jibes and touches of sarcasm against his political opponents; that is true. However, he has never used slanders and libels to retaliate his political opponents. Dr Kaluarachchi has occasionally made criticisms that appear to be personal. However, if they are personal, they are personal with many political implications.

      By the way, Pra Jay, a small dose of jibe and sarcasm is revitalising in politics. Isn’t it? Look at our great Brexit leader Theresa May. She is destroying the daydreamer in Jeremy Corbyn:

      (May had not been known as a great speaker until she became the PM. However, since then, she has become a formidable speaker.)

      There has not been a single sentence in Dr Kaluarachchi’s work, on his weblog, maliciously referring to the wives or children of his political opponents. In contrast, Dr Kaluarachchi’s opponents, while preaching morality, did everything in the most uncivilised manner to sabotage his endeavours. The blog mafia had cornered him for a long time, and as one would expect from any cornered tiger, the rebound response would be a bit reactionary in addition to be profound. Still, I should say, he did his best to be objective as much as possible.

      He has been the live wire in the Sinhala blogosphere for at least the last one year or so, and without him, the Sinhala blogosphere will become so monotonous. So Monotonous, may I say, as much as it happened to be in the years before Dr Kaluarachchi’s arrival.

      I shall continue my rejuvenating discussions with people like you and him via other channels, even if I were to leave this weblog. I thoroughly enjoy reading from you, Pra Jay. You are truly erudite, and that per se guarantees a close companionship with you. Your penchant for archaeology, anthropology, literature, and history (both Ceylonese and English) consolidates the companionship. You know, we old people cannot be won by politics or illustrated boasting. We value only the scholarship and good attitudes, even in personal relationships. You are, without any doubt I say, gifted and blessed with both qualities. Keep up your high standards as long as you live.

      Bandula Kudalagama

      Like

      1. @BK,
        Thank you for the little deserved praise. You, as always, are too kind.

        //Civilised people do not engage in procreation at domains reserved for recreation. //

        :-D, ( an abbreviated expression of amusement/laughter. Note – I didn’t use +++++. 😀 )

        I replied your email at length. Please read when free.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s